වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මා සැමවිට ම දුලානි අනුරාධා තෝරාගන්නේ ඇයි?

මා සැමවිට ම දුලානි අනුරාධා තෝරාගන්නේ ඇයි?

සුගත් සමරකෝන් ‘අපේ කාලයේ පටාචාරා’ ගැන කියන කතාවක්...

සිනමාවට බෙහෙවින් ආදරය කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සුගත් සමරකෝන්ගේ නවතම චිත්‍රපටය ‘අපේ කාලයේ පටාචාරා’මේ මස 09 වැනිදා (හෙට) සිට එල්. එෆ්. සී. මණ්ඩලයේ සිනමා ශාලා තිස්එකක තිරගත වීමට නියමිත ය. ‘අමල් බිසෝ’, ‘දේශපාලුවා’, ‘වීර පුරන් අප්පු’, ‘කොමාන්ඩෝ දියසේන’, ‘උතුරේ රාහුල හිමි, ‘සාගරයක් මැද්දේ, ‘රාජා හෝ මා හෝ’ ආදී වේදිකා නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කරමින් සිය කලාවේ ආගමනය ඇරැඹි සුගත් සමරකෝන් සිනමාවට පිවිසෙන්නේ ‘වියරු මිනිසා’ චිත්‍රපටය සමඟිනි. ‘අපේ කාලයේ පටාචාරා’ ඔහුගේ සිවුවැනි චිත්‍රපටයයි. මේ දිග හැරෙන්නේ ඔහුගේ අතීත ජීවිතය හා නවතම චිත්‍රපටය පිළිබඳත්, සිනමාව පිළිබඳත් ‘සරසවිය’ට කළ සොඳුරු කතාබහකි.

රත්නපුරේ කුඹුරුගමුව ග්‍රාමයේ ඉපදී හැදී වැඩුණු සුගත්ට තිබුණු ගොතය සිය පාසල් සමය ඔහුගෙන් උදුරා ගැනීමට තරම් සමත් වන්නේ නොසිතූවිරූ අයුරෙනි. ඒ නිසා ම කොළොම්පුරවරයට පා නඟන ඔහු නවාතැන් ගන්නේ ඇවරිය වත්තේ සුමිත්‍රාරාමයේ ය. එහි උන් යටියන රත්නසාර හිමියන්ගේ මඟ පෙන්වීම මත අකුරු කිරීමට පෙලඹෙන සුගත් දෙවන වරටත් හෝඩිපොත කියවන්නේ සත්වසරකට පමණ පසුව ය. එතැන් පටන් ‘සකස්කඩය’, ‘බුද්ධ ගජ්ජය’ ඇතුළු පොතපත කියැවීම පුරුද්දක් කරගත් ඔහු තරුණ ගැටයකු කියවා අවසන් කරන අවධියේ වූ පොතපත ද කියවා අවසන් කරන්නේ මහත් අභිරුචියෙනි. ඒ ඔහුට මුල් කාලයේ නො ලද අධ්‍යාපනයට පාඩමක් උගැන්වීමට මෙනි. සුගත් ලැබුවේ පිරිවෙන් අධ්‍යාපනයක් වුවද, ඔහුගේ සිත නැවතුණේ කරළිය මත රඟ දැක්වුණු සුගතපාල ද සිල්වාගේ ‘දුන්න දුනු ගමුවේ’ වේදිකා නාට්‍යය අසල ය.

ඔබගේ කලාවේ ආගමනය සිදුවන්නේ මාස හයක් තරම් කාලයේ දී නේද?

පිරිවෙන් අධ්‍යාපනයක් ලැබුවත් කලාවට තිබුණු කැමැත්ත මට එන්නේ ජානවලින් කියලයි මා සිතන්නේ. මගේ තාත්තා ඒ කාලයේ පන්සල්වල කියන බණ කතාවෙන් පසුව වේදිකා ගත කරන ආලවක දමනයේ යක්ෂයා ලෙසයි රඟපෑවේ. එහි සිටි හත්ථාලවක කුමාරයාගේ චරිතය රඟපෑමට අරගෙන තිබුණේ මාවයි. ඒ වනවිට මට වයස මාස හයක්.

සුගතපාල ද සිල්වාගේ ‘දුන්න දුනු ගමුවේ’ වේදිකා නාට්‍යයයි ඔබට වේදිකා නාට්‍ය කලාවට පිවිසෙන්නට පාර කියන්නේ?

මට වේදිකා නාට්‍යයක් ලිවීමට පාර කියන්නේ ඒ වේදිකා නාට්‍යය නැරැඹීමෙන් ලැබුණු උද්දාමයයි. ඒ අනුවයි මගේ පළමු වේදිකා නාට්‍යය වූ ‘අමල් බිසෝ’ වේදිකා ගතවන්නේ. එහි රිචාඩ් වීරක්කොඩි, සොමී රත්නායක, ආනන්ද වික්‍රමගේ, නිහාල් සිල්වා, කුමාරි පෙරේරා, ශ්‍රියානි ෆොන්සේකා (නිළි රැජන මාලනී ෆොන්සේකාගේ නැඟණිය) යන ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් රඟපෑවා. ඒ වගේ ම ඒ වේදිකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ දී සම්මාන සහතික හතරක් දිනා ගැනීමටත් සමත් වුණා.

දෙවැනි වර ඔබ රංගන ශිල්පියකු බවට පත්වන්නේ ඔබගේ ම වේදිකා නාට්‍යය වූ ‘අමල් බිසෝ’ නිර්මාණය ඔස්සේ ද?

‘අමල් බිසෝ’ වේදිකා නාට්‍යයේ වේදිකා ගතවීමට ඔන්න මෙන්න තියන කාලයේ දී පවා එහි එක් චරිතයක් රඟපෑමට ප්‍රවීණ ශිල්පීන් කිසිවකුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ මෝඩ ගමරාළගේ චරිතය රඟපෑමට සිදුවුණේ මටයි. අවසානයේ රාජ්‍ය නාට්‍ය උලෙළේ දී ඒ චරිතයට හොඳම රඟපෑම වෙනුවෙන් සම්මාන සහතිකයකුත් හිමිවෙනවා.

රංගන ශිල්පියකු වීමට සිහින මවන ඔබ පළමුව පණ පොවන්නේ අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවටයි. ඔබගේ රංගන සිහිනය සැබෑ වන්නේ දෙවනුව ද?

මගේ ‘දේශපාලුවා’ වේදිකා නාට්‍යය එදා වේදිකා ගතවුණේ කිරිබත්ගොඩ වයි.එම්.බී.ඒ. ශාලාවේදියි. එහි ප්‍රධාන චරිතය කළ ආනන්ද වික්‍රමගේ හදිසියේ අසනීප වීම නිසා ඒ චරිතය රඟපාන්නට සිදුවුණේ මටයි. මගේ රංගනය දුටු නාට්‍ය නැරැඹීමට පැමිණි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ඔහුගේ ‘අධිෂ්ඨානය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට මට ආරාධනා කරනවා. එහි රඟපෑ චරිතය සඳහා එකල පැවැති ඕ.සී අයි.සී සම්මාන උලෙළේ දී මට සම්මානයක් පවා ලැබුණා.

‘අධිෂ්ඨානය’ චිත්‍රපටයේ රඟපෑම නිසා සිතේ ඇති වූ කැමැත්තයි ඔබව සිනමාවට කැඳවාගෙන පැමිණෙන්නේ?

වේදිකාවන් ඇරැඹි මගේ කලා ගමන නවතින්නේ සිනමාවෙන්. මා ‘වියරු මිනිසා’ චිත්‍රපටයේ පිටපත ලියා අධ්‍යක්ෂණය කරමින් රඟපාන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. මේ සඳහා මා සරසවිය සම්මාන උලෙළේ දී නිර්මාණශීලී හොඳම කුසලතා සහභාගිත්වය වශයෙනුත් සම්මාන ලබනවා. ඒ සම්මානයයි මට මෙතෙක් දුර පැමිණෙන්නට පාර කිව්වේ.

කාලයක් ඔබ විදෙස් ගතවී සිටිනවා. වසර ගණනකට පසුව පැමිණ යළිත් ඔබ සිනමාවට පිවිසෙන්නේ සිනමා නිර්මාණයක් වූ ‘විජය - කුවේණි’ අධ්‍යක්ෂණය කරමිනුයි?

මා වසර ගණනක් ජීවත් වුණේ එංගලන්තයේ. එහිදී සිනමාව ගැන බොහෝ දේ හැදෑරීමට මට හැකියාව ලැබුණා. ඒ ලැබුණු අත්දැකීම් සියල්ල ම එකතු කරගෙනයි මා ‘විජය - කුවේණි’ අධ්‍යක්ෂණය කරන්නේ. ‘ඇහැළේපොළ කුමාරිහාමිත්’, ඉදිරි දිනකදී තිරගත වන ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයත් සිනමා ප්‍රේක්ෂකයා හමුවට පිවිසෙන්නේ ඉන්පසුවයි.

ඔබ විදෙස් ගතවී සිටි කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ කලාව ඇතුළේ විවිධ වෙනස්කම් රැසක් සිදුවෙනවා?

ඒ මොන වෙනස්කම් සිදුවුණත් ලංකාවට පැමිණි විගස ම මා මගේ ඇරියස් එක අර ගත්තා.

මෑත කාලයේ බිහි වූ ඔබගේ චිත්‍රපට සියල්ලට ම පාදක වී ඇත්තේ ඵෙතිහාසික වටිනාකමක් තිබෙන කතා පුවත්. ඒ ඇයි?

මේ කතා පුවත් කිහිපය සිනමාව නැඟීමේ අදහස මගේ සිතේ පිළිසිඳ ගන්නේ අද ඊයේ නොවෙයි. මා විදේශ ගත වී සිටින විටයි ඒ අදහස මගේ සිතේ ඇති වන්නේ. ඒ කාලයේමයි මා මේ තිරරචනා ලියා අවසන් කරන්නේ. නිෂ්පාදකවරයකු හමු වූ විගස ඒ නිර්මාණ චිත්‍රපටවලට නැඟුවා. ඊළඟ පැමිණෙන නිර්මාණ මේ නිර්මාණවලට වඩා වෙනස් ම ස්වරූපයක් ගනීවි.

‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයත් ඒ නමේ තිබෙන තරමට ම වෙනස්කම් සිදු වී නැහැ.

මෙහි අතීත කතාවත් යනවා. ඒ කතාවට සමගාමීව වර්තමාන කතාවකුත් මා නිර්මාණය කළා. එහෙමනම් කොහොම ද වෙනස් කතාවක් නොවන වග පවසන්නේ.

ඔබගේ නිර්මාණ ත්‍රිත්වයේ ම ප්‍රධාන නිළිය වන්නේ දුලානි අනුරාධායි. මේ නිර්මාණ සියල්ලේ ප්‍රධාන චරිත නිරූපණය සඳහා ඔබ ඈව ම තෝරා ගත්තේ කලා ක්ෂේත්‍රයේ නිළියන්ගේ හිඟයක් තිබෙනවා ද?

අපට නළු - නිළියන් ගොඩක් ඉන්නවා. නමුත් ඈ මගේ නිර්මාණවල රඟපෑ චරිතවලට සාධාරණයක් ඉටුකළා. අද වනතුරුත් කිසිවකු ඈ ඒ චරිතවලට නොගැළපෙන බවත්, ඇගේ රඟපෑමේ අඩුලුහුඬුකමක් ගැනවත් මට පවසලා නැහැ. එහෙමනම් ඇයි මා, ඈව මගේ නිර්මාණවලින් ඉවත් කරන්නේ. අනෙක් කාරණය නම් මා දන්න රංගන ශිල්පීන් සමඟ කටයුතු කිරීම මට පහසුයි. ඔවුන් මාව මෙන්ම මා ඔවුන්ගේ රංගන ප්‍රතිභාව කොතරම් ද කියලත් දන්න නිසා ඔවුන් සමඟ වැඩ කිරීම මට පහසුයි. සාරාංගත් බොහොම දක්ෂ රංගන ශිල්පියෙක්. චිත්‍රපටයට රංගනයෙන් සහභාගි වුණු ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළු අනෙක් සියලු ම දෙනා දක්ෂ ලෙස සිය කාර්ය අවසන් කළේ බොහොම මහන්සියෙන්.

චිත්‍රපටයේදී යොදා ගන්න සමහර පසුතල මේ පසුතල යැයි යනුවෙන් සිනමා ප්‍රේක්ෂකයාට දැනෙන්නට ගන්නවා. එවැනි අවස්ථා ගැන සෑහීමකට පත්විය නොහැකියි නේද?

ඔව්. ඒ කාරණය මා පිළිගන්නවා. එහෙම වුණත් මෙහෙම දෙයක් තිබෙනවා. අප චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ අඩු අයවැයකින්. අඩු කොපි ගණනකුයි මුද්‍රණය කරන්නේ. ඒ නිර්මාණය සියල්ලන් ම නරඹන්නේත් නැහැ. නමුත් අමුද්‍රව්‍යවලට යන වියදම එක සමානයි. ඒ නිසා චිත්‍රපටයක් කරනවා කියන්නේ අවදානම් වැඩක්.

චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී වඩාත් වැදගත්කමක් හිමිවන විශේෂ ම පුද්ගලයා වන්නේ නිෂ්පාදකවරයායි. ඔහු ඔබව සොයාගෙන එනවා ද? නැතිනම් ඔබ ඔහුව සොයාගෙන යනවා ද?

මෙහි නිෂ්පාදක ජගත් විශ්ව කුමාර මගේ ‘ඇහැළේපොළ කුමාරිහාමි’ හා ‘විජය - කුවේණි’ චිත්‍රපට නැරැඹූ රසිකයෙක්. ඔහු මා කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ විශ්වාසය කොතරම් ද කියනවා නම් ලබන වසරේ තවත් නිර්මාණ කිහිපයක් ම ඔහු නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

රූගත කිරීම්වලදී මුහුණදීමට සිදුවුණු ත්‍රාස්‍යජනක සිදුවීම් මොනවාද?

මෙහි පටාචාරාගේ වැඩිමහල් පුතු ලෙස රඟපාන සහීෂ සුපසන් දිවාකර පුතු ගිලෙන දර්ශනය රූපගත කිරීමේදී අප මුහුණ දුන්නේ බියකරු සිදුවීම් පෙළකටයි. එහිදී ඔහු ගිලෙන අයුරු සැබෑ ආකාරයෙන් ම ගැනීමට අපට උවමනා වුණා. ඒ සඳහා සහීෂ පුතුගේ මවත්, පියාත් අපට දුන්නේ පුදුම සහයෝගයක්. ඔවුන් ඒ අදහසට විරුද්ධ නොවී සිය දරුවා වෙනුවෙන් වතුරේ කිමිදිලා සිටියා. පුතු ගිලෙනවාත් සමඟ ම උඩට ගත්තා. ඒ ගිලීමේදී ළමයාට මොනවා හරි වුණා නම් එය ලෙහෙසි පහසු කාරණයක් වන්නේ නැහැ.

ඔබගේ බොහෝ නිර්මාණවලට මූලික වී තිබෙන්නේ දේශපාලනමය කාරණායි. එවැනි නිර්මාණ කිරීමට විශේෂ වූ හේතුවක් තිබෙනව ද?

අපට දේශපාලනයෙන් තොරව ජීවත් විය නොහැකියි. මගේ නිර්මාණවලට දේශපාලන කාරණා බලපෑම් කිරීමේ ආරම්භය සැකසුණේ 71 කැරැල්ලෙන්. එකල ඇතිවුණු විප්ලවයත් සමඟ, ඒත් සමඟ ම පැමිණි නන්දා මාලිනීගේ ‘පවන’ වගේ කැසට්වලින් ඇසුණු ගීතත් සමඟ අපේ සිත්වල ඇති කළේ මානසික ප්‍රබෝධයක්. විප්ලවීය අදහස් රැසක්. ඒ නිසයි මගේ නාට්‍යවලට දේශපාලනය ඇතුළත් වුණේ. නමුත් අද නාට්‍ය කලාව ගමන් කරන්නේ වෙනස් ම මාර්ගයකයි. එදා ‘උතුරේ රාහුල’, ‘මරාසාද්’ වගේ නාට්‍ය නැරැඹූ අය අද ඇත්තේ නැහැ. අද තරුණ පරපුරට එවැනි නිර්මාණ දිරවන්නේ නැති බවක් පෙනෙනවා. කනගාටුයි කියන්නට මිනිසුන්ගේ රසඥතාව පිරිහීමට ලක්වෙමිනුයි පවතින්නේ. ඉතා ම පහත් රුචිකත්වයට ප්‍රේක්ෂකයන්ගේ සිත් හැඩගස්වමිනුයි තිබෙන්නේ.

එවැනි රුචිකත්වයක් ඇති වී තිබෙන්නේ වේදිකා නාට්‍ය මඟින් ම පමණක් ද?

විශේෂයෙන් ම ටෙලි විෂනය අද ඒ කටයුත්තේ පුරෝගාමී මෙහෙවරක් කරනවා. අර්ථ ශූන්‍ය, අන්තර්ගතයේ ගුණාත්මක බවක් නැති, හරසුන්, බොළඳ නිර්මාණ ගොඩක් ටෙලි විෂනය මඟින් විකාශය වන අයුරු අපට දැකිය හැකියි. ඒ අතර හොඳ ටෙලි නාට්‍ය කිහිපයකුත් නැතිවාම නොවෙයි. නමුත් වැඩිපුර තිබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව පහළට ඇද දමන නිර්මාණයි. එවැනි නිර්මාණ නිසා ප්‍රේක්ෂකයන් සැබෑ නිර්මාණවලින් ඈත්වන බවකුයි පෙනෙන්නේ. ඒක කනගාටුදායක කාරණයක්.

ඔබ ඔය පවසන්නේ අපට අනන්‍යතාවක් නැති බව ද?

මීට කලකට පෙර අපේ කියලා ගීත කලාවක් තිබුණා. ගොක්කොළ කලාවක් තිබුණා. නැටුම් කලාවක්, රූකඩ කලාවක් තිබුණා. අද වනවිට ඒ සියල්ල පැත්තකට වීසි කරලා. ඒවායේ නියැළෙන අයවත් අධෛර්ය කරන තත්ත්වයකට ඇවිල්ලා. අපේ අය විදේශ අනුකරණවල වහලකු බවට පත්වෙලා. මේ අය පිටරටකට ගියාට පස්සේ ඒ රටවල ඉන්න අය, අපේ අය දෙස බලන්නේ පිස්සන් යැයි සිතමින්. ඔවුන් පවසන්නේ ඔබලාට අනන්‍ය වූ යමක් අපට පෙන්වන්න යනුවෙන්. ඒ නිසා ලෝකයේ හඳට යන විද්‍යාඥයන් බිහිකරන රටවල වුණත් තමන්ගේ රටට, ඉතිහාසයට, සංස්කෘතියට ගරු කරනවා. ආදරය කරනවා. එවැනි දේ ක්‍රියාත්මක කිරීමට රජය පවා සහය දෙනවා. නමුත් අපේ රටවල්වල එහෙම තත්ත්වයක් නිර්මාණය වී නැහැ.

අපේ රටේ සිනමාවෙත් ඇති වී තිබෙන්නේ මේ තත්ත්වය ම ද?

අපේ සිනමා කර්මාන්තය හරියට අම්මා, අප්පා නැති දරුවකු වගේ. මා බොහොම සන්තෝෂ වෙනවා, ඒ සරසවිය සම්මාන උලෙළ නැවත පැවැත්වීම ගැනයි. නිර්මාණකරුවන්ව තව තවත් නිර්මාණ කිරීමට පොලඹවන්නේ එවැනි සම්මාන උලෙළවල් මඟින් ලබාදෙන සම්මානයි.

අපේ සිනමා කර්මාන්තය හරියට අම්මා, අප්පා නැති දරුවකු වගේ යැයි ඔබ පවසන්නේ ඇයි?

අද අපේ සිනමාව ගැන සොයන්න, බලන්න කවුරුවත් නැහැ. අද අපට වඩා දුප්පත් රටවල්වලත් සිනමා ශාලා ඩිජිටල් වෙලා. ඒත් අපේ රටේ තවමත් තිබෙන්නේ 50හා 60 දශකයේ ප්‍රොජෙක්ටර්මයි. පෞද්ගලික ශාලා හිමියන් නම් මේවා ටික ටික වෙනස් කරමින් යනවා. ඒත් අනෙක් ශාලාවලට මොකද වෙන්නේ. චිත්‍රපටයක් කළා කියලා ඒක තිරගත කරන්න දින නියමයක් නැහැ. පෝලිමක් නැහැ. මේවා ගැන කියන්න කෙනෙකු නැහැ. සොයන්න කෙනෙකු නැහැ. ඒ නිසා මෙවැනි තත්ත්වයක තිබෙන සිනමා කර්මාන්තයකට අම්මා, අප්පා නැති දරුවකු යැයි පැවසීම වැරැදිද?

තවමත් ඔබගේ සිතේ බොහෝ කාලයකට පෙර ඇතිවුණු නළු උණ සුව වී නැති ද?

මෑතක මා රංගනයේ යෙදුණේ මගේ පුතා අධ්‍යක්ෂණය කළ ‘ජුදාස්ට එරෙහිව ජුදාස්’ කියන කෙටි චිත්‍රපටයේ. එහි ජුදාස් ලෙස රඟපෑවේ මමයි. මා සිතන්නේ එය කතාබහට ලක්වන කෙටි චිත්‍රපටයක් වේවි.

මේ වනවිටත් ඔබ තවත් නිර්මාණ කිහිපයකට ම සූදානමක් පවතිනවා ද?

ලබන වසරේ ‘ජුදාස්ට එරෙහිව ජුදාස්’ කියන කෙටි චිත්‍රපටය තිරගත කිරීමත්, මේ වනවිට තිරරචනය ලියා තිබෙන ‘ත්‍රයිලෝක පත්‍රම්’ හා ‘කුවේණිගේ දරුවෝ’ චිත්‍රපටයත් නිර්මාණය කිරීමත් සඳහායි මගේ අවධානය යොමු වී තිබෙන්නේ. ‘ත්‍රයිලෝක පත්‍රම්’ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වේවි යැයි මා සිතනවා. ඒ වගේ ම ‘මහා රාවණා’ හා ‘ඊඩඥ ඒදබඪඳභඥ ඹ්ධමඥප’ යන නිර්මාණත් ඉදිරියේ දී නිර්මණ බවට පත්කිරීමටයි මා සිතාගෙන සිටින්නේ. මා මිය යන්නට පෙර මේ නිර්මාණ පහ අවසන් කිරීමයි මගේ බලාපොරොත්තුව වන්නේ. ඒත් සමඟ ම මේ නිර්මාණවලට නිෂ්පාදනයෙන් දායක වන ජගත් විශ්ව සමඟ සම නිෂ්පාදනයෙන් සහයෝගය දැක්වීමට කවුරු හෝ සිටිනවා නම් ඒ අයට අප සමඟ අත්වැල් බැඳ ගැනීමටත් ආරාධනා කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

සෑම නිර්මාණයක ම මෙන් ඔබගේ පුතුත් රංගනයේ නියැළෙනවා. වර්තමානයේ පටන් ම ඔහුව පුරුදු පුහුණු කරන්නේ ඔබගෙන් පසුව ඒ ස්ථානයේ තැබීමට ද?

සංජය සමරකෝන් වගේ ම මගේ අක්කාගේ පුතු සමන්ත වීරකෝන් යන දෙදෙනා ම දක්ෂ දරුවන්. ඔවුන් මේ නිර්මාණ කටයුත්තට බොහොම මහන්සි වුණා. මගෙන් පසුව ඔවුන් දෙදෙනා මේ කාර්යයන් කරගෙන යාවි.

සිනමාව පිවිසීම නිසා ඔබ වේදිකාව අමතක කළා ද?

මගේ ආරම්භය සනිටුහන් වන එතැන මා කිසිම දවසක අමතක කරන්නේ නැහැ. ලබන වසරේ පෙබරවාරි මාසයේ 18 වැනිදා මගේ ‘දේශපාලුවා’ නාට්‍යයත්, මාර්තු මාසයේ ‘මහසෝනා’ වේදිකා නාට්‍යයත් වේදිකා ගතවීමට නියමිතයි. මේ නිර්මාණවල පාලිත සිල්වා, සනෝජා බිබිලේ වැනි නළු - නිළියන් රංගනයෙන් සහභාගි වනවා. මේ දවස්වල එහි පුහුණු වීම් කටයුතුයි සිදුවන්නේ.