වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

ඔයා තීරණයක් ගන්න සන්දේශ්

අවට විසිරෙන්නේ සිහිල් සුළඟකි. ජලාශයක සමීපයේ ඇති සුන්දර පරිසරයක සන්දේශ්ගේ රිය නවතා ඇත. අහස උසට ඉදිවුණු දැවැන්ත ගොඩනැගිලි සමූහයක් ජලාශයට ඔබ්බෙන් දකින්න ලැබෙයි.

සන්දේශ් හා මිහිරි සිටියේ රියට හේත්තු වීගෙනය. සන්දේශ් කටහඬ අවදි කළේ සුළු මොහොතක් නිහඬව ගෙවී යාමෙන් අනතුරුවය.

'කීයද මල්ලිගේ වයස?'

'දැන් අවුරුදු පහළොවක් වෙනව. ඒ වුණාට අවුරුදු පහක හයක ළමයෙක් කරන වැඩ තමයි කරන්නෙ'

නොමේරූ බුද්ධිය සහිත එවැනි ළමයින් කොතෙකුත් දැක තිබුණත් මිහිරිගේ මල්ලිව දකිනතුරු එවැනි ළමයින් පිළිබඳ හැඟීමක් මෙතරම් තදින් සන්දේශ්ට හිතට කාවැදී තිබුණේ නැත. ඔහුට කල්පනා කරන්නට බොහෝ දේවල් තිබිණ. එහෙත් ඔහු හැඟීමකින් තොරව ජලාශයේ සුළඟට පෙරළෙන කුඩා දිය රැලි දෙස නෙත් හෙලා සිටියේය.

'මට තියෙන ලොකුම ප්‍රශ්නය ඕක තමයි සන්දේශ්. ඒක මට ඔයාට නොකිය ඉන්න බැහැ. කවද හරි කියන්න වෙනව. මල්ලි ඉපදිලා අවුරුදු හතරකට විතර පස්සෙ තමයි තාත්තා නැති වුණේ. මල්ලිගෙ ඔය අසනීප නිසා තමයි තාත්තගෙ ලෙඩෙත් වැඩි වුණේ'

සන්දේශ්ගේ දෑස යොමුව තිබුණේ ඈත එල්ලයක් කරා වුවත් ඔහු මිහිරි පවසන දේට හොඳින් ඇහුම්කන් දෙමින් සිටියේය.

'මල්ලිව මෙහෙම හරි හදාගන්න අම්මයි මායි නොවිඳපු දුකක් නෑ. තාත්තා මැරෙන වෙලාවෙත් කිව්වෙ මල්ලිව කොහේටවත් දෙන්න එපා. කොහොම හරි හොඳින් බලාගන්න කියලා. ඒ හින්දයි සන්දේශ් මං ඔයාට කිව්වෙ මල්ලි මගේ ළඟ තියාගන්න වෙයි කියලා'

මිහිරිගේ කටහඬ දැන් වඩාත් හැඟීම්බර බැව් සන්දේශ්ට වැටහෙයි.

'අම්මටත් මල්ලිව බලාගන්න එක ලේසි නෑ. අම්මත් එක්ක හුඟක් වෙලාවට එයා රණ්ඩු. මට තමයි කීකරු. මං කියන දෙයක් තමයි අහන්නෙ. මගේ ආදරේ නැති වුණොත් මල්ලිට මොනව වෙයිද කියල මටත් හිතාගන්න බෑ.

දිගු සුසුමක් පිට කළ සන්දේශ් මිහිරිගේ මුහුණ දෙස බැලීය. ඇයගේ දීප්තිමත් දෙනෙත් කඳුලින් තෙත් වී ඇති බවක් සන්දේශ් දුටුවේය. ඒ සමඟම ඇගේ හිස පහතට නැඹුරු විය.

සන්දේශ් ඈත බලාගෙනම අත යොමා ඇයව තම ගතට සමීප කර ගත්තේය.

නිවසට පැමිණි පසුවත් සන්දේශ්ට මිහිරිගේ වදන් වරින්වර ඇසෙන්නට විය.

'ඔයා තීරණයක් ගන්න සන්දේශ්. ඔයා මොන තීරණයක් ගත්තත් මං කිසි දෙයක් හිතන්නෙ නෑ. මං ඔයාගෙන් වෙන් වුණත්, මට මල්ලිගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න බැරිවෙයි සන්දේශ්'

වඩාත්ම සන්දේශ්ගේ මතකයේ රැඳී තිබුණේ මිහිරිගේ ඒ වදන් පෙළය. කිසි දිනෙක නොතිබූ බරකින් ඔහුගේ සිත පිරී තිබුණි. තමා ඇසුරු කරන බොහෝ අවස්ථාවල, විශේෂයෙන් අම්මාගෙන් දුරකතන ඇමතුම් ලැබෙන විට මිහිරිගේ මුහුණේ ඉරියව් මෙන්ම හැසිරීම් රටාවන් ද වෙනස් වූ අයුරු පිළිබඳ හේතු කාරණා සන්දේශ්ට වැටහෙන්නේ දැන්ය. ආබාධිත එකම සහෝදරයා නිසා ඇය අප්‍රමාණ දුකක් තම සිත තුළ පොදි ගසාගෙන සිටින බැව් සිතෙන විට ඔහුගේ සිතට ද දැනෙන්නේ මහා සංවේගයකි.

පියකරු ඇඳුමකින් සැරසී සිනාසෙමින්, වේග හින්දි රිද්මයකට අනුව අස්වාභාවික රැඟුමක නිරත වෙමින් සිටි මිහිරිගේ සහෝදරයා යළිත් ඔහුගේ මතකයට නැඟුණි. එවෙලේ සන්දේශ් එතැනින් ඉවත් වූයේ ඔහුගේ බොළඳ ක්‍රියාකාරකම් දෙස මොහොතක් වේලා බලා සිටීමෙන් අනතුරුවය.

වැඩ අවසන් කොට හවස් වරුවේ නිවසට පැමිණීමෙන් පසුව නාන කාමරයට වැදී උණු වතුරින් හොඳින් ස්නානය කර, සුදු සරමක් හැඳ, නිරුවත් උඩුකයින් යුතු වූ නිවසේ සඳළුතලයේ ඇති සුපුරුදු පුටුවට බර වී මොහොතක් ගත කිරිම සන්දේශ්ට පුරුද්දක් වී තිබුණි. එහෙත් වෙනදා සිතේ තිබූ සැහැල්ලුව අද ඔහුගේ සිතේ නොවීය.

'මට ඔයාගෙන් වෙන් වුණත් මල්ලිගෙන් වෙන් වෙලා ඉන්න බැරි වෙයි' මිහිරි එසේ කියන්නේ දැඩි සංවේගයකින් මෙන්ම අධිෂ්ඨානයකින් බැව් සන්දේශ්ට තේරුම් ගන්නට අපහසු නැත. ඇය තමා හඳුනාගෙන දැනට අවුරුද්දක පමණ කාලයක් වුවත් ඇය හා සොයුරා අතර ඇසුර හා බැඳීම අවුරුදු පහළොවකි. එහෙයින් එය තමන්ගේ අවුරුද්දක ඇසුර හා බැඳීමට වඩා බලවත් බැව් සන්දේශ්ට වැටහේ.

වර්තමානය කෙසේ වෙතත් අනාගතය ගැන සිතන විට තරමක ව්‍යාකූල තත්ත්වයක් සන්දේශ්ගේ සිතට පැන නැගේ. සියලු අයහපත් කාරණා අමතක කොට හෝ ගණන් නොගෙන හෝ පෙර පරිද්දෙන්ම මිහිරි සමඟ මිහිරි ඇසුරක් පවත්වාගෙන යා නොහැකිද? මිහිරිගේ සොහොයුරා ගැන අනුකම්පාවෙන් සිතනවා හැරෙන්නට තමා වෙන කුමක් කරන්නද? පසු දිනෙක මිහිරි මුණ ගැසුණු මොහාතක ඔහු ඇයට යෝජනාවක් කළේ ඒ අනුකම්පාව සිත් පෙරදැරි කරගෙනය.

'දවසක අපි මල්ලිත් එක්ක කොහේ හරි යං'

එවිට මිහිරි සන්දේශ් දෙස බැලුවේ තරමක විමතියෙනි.

'කොහේද?'

'දුර ඈතක නෙවි, මේ කොළඹ කොහෙ හරි'

එදින සන්දේශ් ගැන මිහිරිට ඇති වූයේ වෙනදාටත් වඩා ස්නේහයකි. මල්ලිත් සම්බන්ධව මෙවැනි ආරාධනාවක් ඇය මෙතරම් ඉක්මනින් ඔහුගෙන් බලාපොරොත්තු වූයේ නැත.

මිහිරිගේ සොයුරාගේ නම එරංගය. එක් සැඳෑවක සන්දේශ් එරංගව හා මිහිරිව ඔවුන්ගේ නිවසින් තම රියට නංවා ගත්තේය. රිය තුළ පසුපස ආසනයේ දොර කවුළුවට බර වී අවට විසිතුරු නරඹමින් එරංග සිටියේ අප්‍රමාණ සතුටකිනි. ඔහු මෙලෙස එළිමහන් ගමනක යෙදෙන්නේ බොහෝ දිනකට පසුවය. මේ ගමන මිහිරිට ගෙන දුන්නේ ද නැවුම් සතුටකි. කුමන මොහාතක හෝ මල්ලී සතුටින් සිටිනු දැකීම ඇයගේ සිතටත් අප්‍රමාණ සතුටකි. මෙම අවස්ථාව ලබා දුන් සන්දේශ් දෙස ඇය බැලුවේ ස්තූති පූර්වක දෙනෙතිනි.

'කොහෙද යන්නෙ අපි?'

'කොහේ හරි ඔය කොළඹ ලස්සන තැනකට යං'

'මල්ලි හරි සන්තෝසෙන් ඉන්නෙ'

'හ්ම්'

'එයාට වැඩිය මෙහෙම එළියට යන්න එන්න හම්බ වෙන්නෙ නෑනෙ'

'ගෙදර ඉන්න ගියාමත් කම්මැලි ඇති'

'කම්මැලි නං මදෑ. හොඳ හොඳ රණ්ඩුත් අල්ලනව'

බේරේ වැව අසල මාවත පසෙක රිය නැවතූ සන්දේශ් ඉන්පසු වැව මැද ඇති කුඩා බිම් කඩක් යා කරන විසිතුරු පාලම මතට මිහිරි හා එරංග සමඟ ගොඩ වුණේය. එරංග පාලම මතින් ගමන් කළේ දැඩි ප්‍රමෝදයකිනි. ළඟින්ම පෙනෙන සීමා මාලක විහාරය දර්ශණීය දසුනකි. වැවේ තැනින් තැන පීනන, තටු ගසන සුදු හංසයින් දෙස බලමින් පාලම මත සතුටින් දුව පනින මල්ලී දෙස මිහිරි බලා සිටියේ අප්‍රමාණ වූ සෙනෙහසකිනි. නමුත් මේ වයසට ඔහු හැසිරිය යුත්තේ මෙලෙස නොවේ යන ක්ෂණික හැඟීමක් ද පැන නැගී සියුම් සංවේගයක් ද ඒ සමඟම ඇය තුළ ඇති විය.

පාලම හා වැව මැද ඇති දැකුම්කළු බිම් තීරුවේ වැඩි වශයෙන් දකින්න ලැබුණේ එකිනෙකාට තුරුළු වී සිටින පෙම්වතුන් හා පෙම්වතියන්ය. වරෙක එරංග දිව ගොස් එක් තරුණියකගේ වරලසින් ඇද්දේය. එවිට තරුණිය බිය වී පසෙකට පැන්නේය. ඔහුගේ අස්වාභාවික හැසිරීම තේරුම් ගත් ඇයත් තරුණයාත් ඉන්පසු සන්සුන් වනු පෙනිණ. ඔහුගේ ක්‍රියාව දුටු මිහිරි තරමක තැති ගැන්මකට පත්ව සිටියාය. එහෙත් සන්දේශ් නම් එයින් කිසියම් සියුම් විමෝදයක් ලැබුවේය.

වැව මැද බිම් පෙදෙසේ මඳ වෙලාවක් සැරිසැරීමෙන් අනතුරුව සන්දේශ් රිය ගමන් කර වූයේ නිදහස් චතුරස්‍ර භූමිය වෙතය. සතියේ දවසක් වුවත් සැඳෑව ගත කිරීම සඳහා සෑහෙන පිරිසක් භූමියේ රැස් වී සිටියත. එයිනුත් බොහෝ පිරිසක් සිටියේ දිවීම්, ඇවිදීම් ඇතුළු ව්‍යායාම් කාර්යයන්හි නිරත වෙමින්ය.

තරමක් දුර ඇවිදීමෙන් පසු මිහිරි හා සන්දේශ් සිමෙන්තියෙන් සැදූ බංකුවක් මත වාඩි වූහ. චතුරස්‍ර භුමියේ ඇති කෙටි තාප්පයක් මතට නැග ගත් එරංග දෑත් දෙපසට වනමින්, ගත සමබරව තබා ගැනීමට උත්සාහ දරමින් ඒ මත කිහිප වරක් එහාටත් මෙහාටත් ගමන් කරන්නට පටන් ගත්තේය. ඉන් තවත් සුළු මොහොතකට පසු ඔහු අසළ තිබුණු ගලින් නිම කල රූපයක් මත වාඩි වී ගත දෙපැත්තට පද්දවමින් සතුටක් ලබන්නට විය.