වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මගෙන් පස්සේ පරම්පරාව බුද්ධගජ්ජය, සකස්කඩය කියවිය යුතුයි

මගෙන් පස්සේ පරම්පරාව බුද්ධගජ්ජය, සකස්කඩය කියවිය යුතුයි

භාෂිණී සමරසිංහ

ශ්‍රී එෆ්. එම් ගුවන්විදුලියේ කළමනාකාරිනියක ලෙස කටයුතු කරන භාෂිණී සමරසිංහ අප කවුරුත් හඳුනන්නේ නිවේදිකාවක ලෙසිනි. කුමන තනතුරක් දැරුව ද නිවේදිකාවකගේ භූමිකාව අමතක නොකළ භාෂිණී වර්තමානය වනවිට බෙහෙවින් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නියකි. ‘තරුවක් සමඟ වරුවක්, ‘රෝස මාවත’ ඇගේ හඬ මුසු වූ වැඩසටහන් කිහිපයකි. සිය නිවේදන වෘත්තියත්, ජීවිතයත් පිළිබඳ සරසවිය ඈ සමඟ කළ කතාබහකි.

* මේ ගෙවෙන ජීවිතය ගැන මොනවගේ හැඟීමක් ද තිබෙන්නේ?

ඇත්තට ම ඒක බොහොම කාර්යබහුලයි. එහෙම කියලා ඒ ගැන ම හිත හිත ඉන්නවාට වඩා මම වැඩ කරන්න කැමැති කෙනෙක්. දවසේ සියලු කටයුතු නිසි අයුරෙන් කිරීමෙනුයි මා සතුටට පත්වන්නේ.

* ඔබ සාමාන්‍යයෙන් දවස ආරම්භ කරන්නේ කීයට ද?

පාන්දර හතර හමාර වනවිට මා අවදි වෙනවා. ඒ පුරුද්ද මට ඇතිවුණේ මගේ අම්මා නිසයි. නිවෙසේ කටයුතු අවසන් කළාට පස්සේ මා නිවෙසෙන් පිටත් වෙන්නේ උදේ හයටයි. පුතාව පාසලට ඇතුළත් කිරීමෙන් පසුවයි මා රැකියා ස්ථානයට පිවිසෙන්නේ.

* රැකියා ස්ථානයෙන් සවස පැමිණි පසුව ඔබට විවේකයක් ලැබෙනවා ද?

හවස නිවෙසට පැමිණියාට පස්සේ මොන විවේකයක් ද? පුතාව පන්තිවලට අරගෙන යෑමයි මගේ පළමු රාජකාරිය වන්නේ. ඒ එක්ක ම මමත් මේ දවස්වල පන්ති කිහිපයකට ම සහභාගි වෙනවා.

* ඒ කියන්නේ ඔබ තවමත් පන්ති යනවා?

මේ දවස්වල මා නීති උපාධිය සඳහා සූදානම් වෙනවා. ඒ වගේ ම නර්තනය පිළිබඳ පන්තියකට සහභාගි වෙනවා. පුතා පන්ති කිහිපයකට ම සහභාගි වන නිසා ඒ සියලු කටයුතු අවසන් වුණාට පසුවයි මා නිවෙසට පැමිණෙන්නේ. එතැන් පටන් නින්දට යනතුරුත් නිවෙස කටයුතුවල නියැළෙන විට දවස අවසන්.

* සතියේ දවස් හතේ ම භාෂිණී වැඩ වගෙයි?

සමහර දවස්වලට ඉරිදා දවස විවේකය සඳහා වෙන්කර ගන්න අවස්ථා තිබෙනවා. ඒ වගේ වෙලාවට මමත්, පුතත්, අම්මාත්, තාත්තාත්, මහත්තයත් විවේකය ගත කරන්නේ ගම්පහ නිවෙසෙයි. කොළඹ අවිවේකී පරිසරයෙන් ඈත්වෙලා ගහකොළත් එක්ක, කුරුල්ලන්ගේ හඬ අසමින් ඒ ගෙවෙන පැය කිහිපය ජීවිතයට ලැබෙන ඔසුවක් වගෙයි.

* පුතා සමඟ ගෙවන ජීවිතය බොහොම සුන්දර ද?

පුතා සවේන් අධිකාරී. එයාට දැන් අවුරුදු හතක්. රාජකීය විද්‍යාලයටයි පුතා පාසල් යන්නේ. පුතයි මගේ ජීවිතය ම වන්නේ.

* පුතා ඔයා වගේ නිවේදනයට දක්ෂයෙක් ද?

පුතාට හොඳට කතා කරන්න පුළුවන්. ඒ වගේ ම ඔහුට හොඳට ගී ගයන්නත් පුළුවන්. නටන්න, ක්‍රීඩා කරන්නත් පුතා බොහොම දක්ෂයෙක්. ඒ අතර විවිධ රූපවාහිනිවල හඬ කැවීම් සඳහාත් සහභාගි වෙනවා. ඉගෙන ගන්නත් දක්ෂයි. මේ වගේ විශේෂ දක්ෂතා රැසකින් යුතු සවේන් පුතා මගේ පණ වගෙයි.

* ඔබගේ කටයුතුවලට පුතාගෙන් කිසිම කරදරයක් එල්ල වෙන්නේ නැහැ?

පුතා උදේ ම අවදි වෙනවා. ඒ අවදි වෙලා උදේ ම එයාගේ සීයා, ආච්චී වගේ පොත් කියවීමයි කරන්නේ. පාසල් යන්නෙත් බොහොම කැමැත්තෙන්. පුතාගේ කටයුතු කරගන්නේ පුතාමයි. ඔහු වස බබෙක් නොවෙයි. හැබැයි පුතා දඟ බබෙක්. එහෙම වුණත් පුතාගෙන් මට කිසිම කරදරයක් නැහැ.

* මේ අවිවේකය ඔබට කරදරයක් නොවෙයි ද?

මේ අවිවේකයට මා පුරුදු වුණේ කුඩා කාලයේ පටන්මයි. ඒ නිසා ඒ ගැන මම වැඩිපුර හිතන්නේ නැහැ. මොකද කුඩා කාලයේ පටන් ම මට දවස දීර්ඝයි. ඒ කාලයේ මා පාසල අවසන් වුණු හැටියේ ම එන්නේ ගුවන්විදුලියටයි. ගුවන්විදුලියේ දවසේ ම ගත කරමින් අම්මාත් සමඟ නිවෙසට යද්දි හොඳට ම රෑ වෙනවා. ඒ තත්ත්වය මා රැකියාවක් සඳහා යනතුරුත් ඒ විදියට ම ගෙවුණා.

* ඒ ඔස්සේ ලැබෙන පන්නරය ද නිවේදිකාවක් වීමට ඔබට පාර කියන්නේ?

මගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගතවුණේ ගුවන්විදුලි පරිසරයේ. අවුරුදු තුනේ වගේ කුඩා කාලයේදියි මා හඬ කැවීම්වලට සහභාගි වුණේ. අම්මාගෙන් හා තාත්තාගෙන් ඒකට ලැබුණෙත් අපූරු සහයෝගයක්. ළමාපිටියට සහභාගි වීම මඟින් මා මගේ දක්ෂතා හඳුන ගත්තා. කුඩා වයසේ ම මට ගුවන්විදුලියේ සහන නිවේදිකාවක් වීමට අවස්ථාව සැලසෙනවා. ඊට පස්සේ ‘සවන’ ගුවන්විදුලියට රැකියාව සඳහා යනවා. මා සිතන්නේ නිවෙසේ නිර්මාණය වූ ඒ පරිසරයයි මාව නිවේදිකාවක් කරන්නේ.

* වර්තමානයේ සිටින නිවේදිකාවක විදියට එදා හා අද අතර වෙනස ඔබ දකින්නේ කොහොම ද?

අම්මා හා තාත්තා බොහොම ගවේෂණාත්මක චරිතයි. එදා ඔවුන් හොඳ සාහිත්‍ය දැනුමක්, භාෂා දැනුමක් සමඟයි නිවේදන කාර්යයට එළැඹුණේ. ඔවුන්ගේ හඬේ තිබුණේ අපූරු පෞරුෂයක්. ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීම සඳහා තිබුණු ශක්තිය ඔස්සේ ඔවුන් ඇතිකර ගත් පිළිගැනීම ආදී දේවල් මා ඒ කාලයේ දැක්කා. ඒ ඔස්සේ ඔවුන්ගේ හා අපේ අතර තිබෙන වෘත්තිමය දක්ෂතාවල වෙනසක් මා දුටුවා. නමුත් අද එහෙම නැහැ. වර්තමානයේ පරපුර තාක්ෂණය පැත්තෙන් එදා අයට වඩා ඉන්නේ දියුණු තත්ත්වයකයි. එදා අපේ අම්මා කිහිපදෙනෙකුගේ උදවු ඇතිව කළ වැඩසටහන අද මා මැදිරියේ දී කරන්නේ තනියෙන්. එහෙම වුණත් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපට තිබෙනවා.

* ඔවුන් එදා කළ වැඩසටහන් අදටත් ඔබ ශ්‍රවණය කරනව ද?

ඇත්තෙන්ම ඔව්. දැනටත් මා ඒ වැඩසටහන් අහන්නේ බොහොම කැමැත්තෙන්. විශේෂයෙන් ම තාත්තා නිවේදන කටයුතු කළ ‘රේඩියෝ සඟරාව’ වගේ වැඩසටහනක් ඊට අපූරු නිදසුනක්. ඒවා මඟින් අදටත් ඕනෑ තරම් දේ ඉගෙන ගන්නට අපට හැකියි. ඒ හඬවල තිබෙන පෞරුෂය, අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය අද අපේ හඬවල්වල ඇත්තේ නැතිතරම්. අද අප ඒ හඬ හසුරු වන්නේ වර්තමානයට උචිත අයුරෙන්.

* වර්තමානයේ සිටින බොහෝ නිවේදක, නිවේදිකාවන්ගේ වාග්කෝෂය හැසිරවීම සම්බන්ධයෙන් නැඟෙන්නේ චෝදනාවක්?

මෙහෙමයි, අද සමහරු සිංහල හා ඉංග්‍රීසි කියන භාෂා දෙක ම මිශ්‍රණයකින් යුතුව කතා කරන බව ඇත්තයි. මා නම් කැමැති සිංහල භාෂාවට ප්‍රමුඛත්වය ලබාදීමටයි. අපට තිබෙන්නේ සුන්දර භාෂාවක්. නිර්මාණශීලී භාෂාවක්. ගුවන්විදුලියේ දී නිවේදකයා සිදුකරන්නේ වචන මඟින් මිනිස්සුන්ගේ සිතේ රූප මැවීමයි. ඒ රූප මැවීමේ කලාව හඬෙන් ප්‍රගුණ කළ තැනැත්තායි නියම නිවේදකයා හෝ නිවේදිකාව බවට පත්වන්නේ.

* මේ වෘත්තියට පිවිසෙන නව පරම්පරාවට ඔබගෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?

මගෙන් පස්සේ පරම්පරාව මා බුද්ධගජ්ජය, සකස්කඩය කියවලයි වැඩසටහන්වලට අරගන්නේ. විශේෂයෙන් ම මා සිංහල භාෂවට මූලිකත්වය ලබාදෙනවා. ඒ වගේ ම හොඳ පොතපත සොයාගෙන කියැවීමට මා ඔවුන් ව යොමු කරනවා.

* ඔබගේ ජීවිතයේ ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොම ද?

මේ ලෝකයේ ජීවත් වනවිට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විවිධ හැල හැප්පීම් ඇති වෙන්න පුළුවන්. අප ගනුදෙනු කරන්නේ මිනිස්සුත් එක්ක නේ. ඒ නිසා සාමාන්‍යයෙන් මා ජීවිතයට පැමිණෙන නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ බොහොම ඉවසීමෙන්. ඒ සඳහා හොඳ ඉවසීමක් මට තිබෙනවා. පැමිණෙන දුක, සැප දෙස මධ්‍යස්ථව බැලීමේ හැකියාවක් මට තිබෙනවා.

* ප්‍රවීණ නිවේදිකාවක් වුණු පාලිත සමරසිංහ හා රත්නා සමරසිංහ යන ඔබගේ මව හා පියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?

ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය නැත්නම් මගේ කටයුතු නිසි ආකාරයෙන් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මටත් වඩා අම්මත්, තාත්තාත් ආදරේ ඔවුන්ගේ මුනුබුරාටයි. ඒ නිසා පුතාගේ බොහෝ කටයුතුවලදි ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය අපමණයි. ඒ වගේ ම අපේ නිවෙසේ නැවතිලා ඉන්න පුංචිත් මට බොහොම උදවු කරනවා. පුතාට ලැබිලා තිබෙන්නේ බොහොම අපූරු ආච්චි හා සීයා කෙනෙක්.

* ඔබ එහෙම පවසන්නේ ඇයි?

කුඩා කාලයේ මමත් මගේ ආච්චිත් එක්ක ගතකළ කාලයක් තිබුණා. ඒ කාලයේ මට ලැබුණේ බොහොම සාම්ප්‍රදායිකව සිතන ආච්චි කෙනෙකු සමඟ ජීවත් වෙන්නයි. ඒ නිසා මට සිදුවුණේ මගේ සිතුම් - පැතුම්වලට වඩා ආච්චිගේ සිතුම් - පැතුම් සමඟ ජීවත් වන්නයි. ඒත් මගේ අම්මා එහෙම නැහැ. ඈ මුනුබුරාව නිසි අයුරෙන් අවබෝධ කරගෙනයි සිටින්නේ.පුතාට ගේම්එකක් සෙල්ලම් කරන්න අවශ්‍ය නම් ඇයත් ඒකට හවුල් වෙනවා. මේ නිසා පුතාට ලැබිලා තිබෙන්නේ මොඩන් ආච්චි කෙනෙක් හා සීයා කෙනෙක්. ඒ වගේ ම පුතාගේ කටයුතුවලට පුංචිත් උදව් කරන බවත් මතකයට නැඟීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

* ඔබගේ සැමියා පිළිබඳත් යමක් කියමු?

මගේ මහත්තයා රසික අධිකාරියි. මා ඔහුව හඳුනන්නේ ළදරු පාසල් යන කාලයේ දී පටන්. ඊට පසුව සවන ගුවන්විදුලියේදියි ඔහුව මට මුණ ගැසෙන්නේ. ඉන් පසුවයි අප අතර ඇතිවන ආදර සම්බන්ධය එක්තැන් වීමෙන් අවසන් වන්නේ. මගේ කටයුතුවලට ඔහුගෙන් ලැබෙන සහයෝගය අපමණයි. ඔහුත් රාජකාරී කටයුතු සමඟ කාර්යබහුලයි. ඒ නිසා අපි දෙන්නා දෙන්නාව තේරුම් අරගෙනයි ජීවත් වන්නේ.