වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මම මටම ගුරුවරයෙක් වුණා

මම මටම ගුරුවරයෙක් වුණා

කුමාරසිරි පතිරණ

සිතින් පතා ඉන්නම්, පුංචි පුතු මගේ, ඉන්නම් ඉතිං මා සදාකල්, සැමදා ඔබ ළඟ ඉන්නම්, පිපි මල් මිටක්, මුතුමල් කුමාරි ආදී අතිශයින් ජනාදරයට පත් ගීත රැසක් රසිකයින්ට තිළිණ කළ ප්‍රවීණ ගායක කුමාරසිරි පතිරණගේ සංගීත කලා ජීවිතයට වසර විසි පහක්. ඒ නිමිත්තන් හෙට 9 වැනිදා සවස 7.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී කුමාරසිරි පතිරණ ලයිව් ඉන් කොන්සට් පිවිතුරු හද ළඟ නමින් ප්‍රසංගයක් පැවැත්වේ. අශෝක් පීරිස්, මහින්ද බණ්ඩාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් සංගීවත් වන පිවිතුරු හද ළඟ නිලාන් මලිගැස්පගේ නැටුම් අංගයන්ගෙන් විචිත්‍රවත් වන අතරේ තිලක් කුමාර රත්නායකයන්ගේ කථනයෙන් හැඩ වේ.

තම කලා ජීවිතයට වසර විසි පහක් පිරීම නිමිතිකොට කුමාරසිරි පතිරණ සරසවිය හා කෙරෙන කතාබහකි මේ.

* සංගීත දිවියේ විසිපස් වසරක් ගෙවා ඔබ අද පිවිතුරු හද ළඟ නතර වී තිබෙනවා?

මට හිතුණා මේ විසිපස් වසර සැමරීමට මගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වන්න.එදාට මම රසික හදවත් ආදරයෙන් වැළඳ ගත් ගීත තිහක් පමණ ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය රසිකයන්ට එදාට මම ආරාධනා කරනවා මගේ ගී රස එකම තැනකදී රස විඳින්න මාත් සමඟ එකතු වෙන්න කියලා.

* පැමිණි විසිපස් වසර දෙස ආපසු හැරිලා බලමුද?

මගේ කලා දිවියේ ආරම්භය පාසල. ඒ වෙන කොට මම වයස අවුරුදු දහතුනක පාසල් ශිෂ්‍යයෙක්. 1976 පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලය ප්‍රථම වරට පැවැත් වූ ගායනා තරඟයෙන් කණිෂ්ට අංශයෙන් ප්‍රථම ස්ථානය ලැබුවේ මම. මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඒ වෙන කොට පාසල් ඉතිහාසයේ කිසිවකුත් ගායන අංශයෙන් මෙවැනි ජයග්‍රහණයක් ලබා තිබුණේ නැහැ. ඒ නිසා මම පාසල් ඉතිහාසයට එක් වුණේ ඒ පාසලෙන් බිහි වූ ප්‍රථම ගායකයා විදියට.

* ඔබේ ගායන දිවියේ ගුරුවරයා වුණේ?

කිසිවකුත් නැහැ.මම මටම ගුරුවරයෙක් වුණා කිව්වොත් නිවැරැදියි. මම හිතන්නේ මා තුළ මෙය උපතින් ගෙනා හැකියාවක්. අපේ පවුල් පසුබිම තුළ තිබුණේ ටීටර්, නාඩගම් කලා පසුබිමක්.

* ගුරුවරයෙක් නොමැතිව ඔබ සංගීතය සොයා පිය නැඟුවා?

මම පොඩි වුණාට හොඳට සිංදු කියනවා කියන මතය බොහෝ දෙනා තුළ තිබුණා. ඒ හැකියාව මා තුළ තිබුණ නිසා කවුරුත් මාව එලෙසින් අගය කළා. මට මතකයි මම ගිටාරය අතට අරන් පත්තරවල පල වී තිබූ සංගීත කෝඩ් ආශ්‍රයෙන් ඉගෙන ගත්ත හැටි. පත්තරයේ පළ වී තිබූ කෝඩ් මම දැක්ක ගමන් ඒවා ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් මා තුළ තිබුණා. ඒ නිසාම මම ගුරුවරයෙකුගේ සහාය සොයා ගියේ නැහැ.

* මම හිතන්නේ ඔබ පොළොන්නරුවෙන් බිහි වන්නේ වාදකයෙක් ගායකයෙක් ලෙසින්?

පොළොන්නරුවෙන් බිහි වූ මුල්ම වාදක මණ්ඩලයේ ඩ්‍රම්ස් වාදක ශිල්පියා වුණේ මම. ඒ වෙන කොට මම වයස අවුරුදු දාසයක පාසල් ශිෂ්‍යයෙක්. 'සුපර් ෆ්‍රෙන්ඩ්ස්' නමින් ප්‍රථම වරට පොළොන්නරුවෙන් බිහි වූ වාදක මණ්ඩලයේ ඩ්‍රම්ස් වාදක ශිල්පියා හැටියට මට හොඳ පිළිගැනීමක් එවකට පොළොන්නරුවේ ඇති වුණා.

* ගුරුවරයෙක් නොමැතිව සංගීතයේ ඇසූ පිරූ තැන් සොයා යන ඔබට ඩ්‍රම්ස් වාදනයේදී ගුරුහරුකම් ලබන්න කවුරුන් හෝ උදව් කළාද?

නැහැ ඒකත් මගේ සහජ හැකියාව. කුඩා කළ පටන් මගේ පුරුද්දක් තිබුණා කෝටු කෑලි දෙකක් අතට අරන් ඩ්‍රම් ගහන ආකාරයට කෝටු දෙකෙන් තට්ටු කරන්න. මම මියුසිකල් ෂෝ බලන්න ගියහම ගිහින් නවතින්නේ ඩ්‍රම් ගහන තැන. මමත් කුඩා ළමයෙක් නිසා ස්ටේජ් එක ළඟින් අයින් කරන්න කවුුරුවත් උත්සාහ කරන්නෙත් නැහැ. ඒ නිසා මට හොඳට ඩ්‍රම් ගහන හැටි ෂෝ එක ඉවර වෙනකන් බලා ඉන්නවා. අතින් විතරක් නෙවෙයි කකුලෙනුත් ඩ්‍රම් ගහන හැටි මම දෑසින් දැක්කේ ඔය ස්ටෙජ් ළඟ ඉන්න කොට. මගේ වැඩේ ගෙදර ඉන්න කොට අර මම දකින දේ කෝටු කෑලි දෙකක් අරගෙන තට්ටු කරමින් කරන එක. ඔය අතරේ මගේ අයියා කෙනෙකුගේ යාළුවෙක් නිතර අපේ ගෙදර ආව ගියා සිරිල් කියලා. එයා පොළොන්නරුවේ සංගීත කණ්ඩායමක් හදන්න සැලසුම් කරමින් හිටියා. දවසක් එයා මගෙන් ඇහුවා මල්ලි අපේ බෑන්ඩ් එකට ඩ්‍රම් ගහන්න එන්න පුළුවන්ද කියලා. හැබැයි ඒ වෙන කොට මම ඩ්‍රම්ස් ගහලා තිබුණේම නැහැ. මට හොඳ අවබෝධයක් තිබුණා සිංදුවකදී මාරු වෙනහැටි ගැන. කොහොම හරි පොළොන්නරුවෙන් එවක බිහි වූ මුල්ම සුපර් ෆෙන්ඩ්ස් සංගීත කණ්ඩායමේ මංගල ෂෝ එකට තමයි මම ඩ‍්‍රම්ස් සෙට් එකක වාඩි වුණේ. එදා ෂෝ එකේදී මුලින්ම සිංග් කළේ අක්ක කෙනෙක්. එදා ඇය මුලින්ම ගායනා කලේ ඉන්ද්‍රානි පෙරේරාගේ එක දවසක් . . . ගීතය. ඒ තමයි මම මුලින්ම ඩ්‍රම්ස් වාදනය කළ මුල්ම ගීතය වුණේ. එදා මුළු ප්‍රසංගයේදීම මම ගීතවලට ඩ්‍රම්ස් වාදනයෙන් එක් වුණේ හොඳ පුරුදුකාරයෙක් ලෙසින්. මුල්ම ප්‍රසංගයෙන්ම ඩ්‍රම්ස් වාදනයට ප්‍රතිචාර ලබමින්ම නැගලා ගියා.

* සුපර් ෆෙන්ඩ්ස් වාදක මණ්ඩලයේ ඩ්‍රම්ස් වාදකයා සේම ගායකයකු ලෙසත් ඔබ කටයුතු කිරීම පාසල් අධ්‍යාපනයට බාධාවක් වුණේ නැද්ද?

බොහෝ විට අපේ බෑන්ඩ් එක ඒ කාලේ සෙල්ලම් කළේ මංගල උත්සව, ප්‍රිය සම්භාෂානවල. එළිවෙනකන් තිබුණ සංගීත සංදර්ශන මහා පරිමාණයෙන් තිබුණේ නැහැ. අධ්‍යාපනයයි, සංගීතයයි මම පටලවා ගත්තේ නැහැ. මට මතකයි මම අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරය ලියන්න ගියෙත් ෂෝ එකක් කරලා.

* වාදකයෙක්, ගායකයෙක් ලෙස පොළොන්නරුව ප්‍රදේශයේ ඔබ ජනප්‍රිය වෙන කොට ඒක පුද්ගල ප්‍රසංගයක් කරා ඔබ යොමු වෙනවා?

මට අවශ්‍ය වුණා ජනප්‍රියත්වය තුළ රැඳී සිටීමට. ඒ නිසාම මං ඒක පුද්ගල ගී ප්‍රංගයක් කළා 'කුමර ගීත්' කියලා. මගේ මුල්ම ඒක පුද්ගල ගී ප්‍රසංගය වුණෙත් මේක. එහිදී මා සම්පූර්ණයෙන් මේ ප්‍රසංගය වෙන් කළේ හින්දි ගායනයන් වෙනුවෙන්.

* ඔබේම ගීත කලාවක් වෙනුවෙන් යොමු වෙන්න හිතන්නෙත් ඔය වකවානුවේ?

මගේම කියලා ගීතයක් ගුවන් විදුලියෙන් අහන්න මට ලොකු ආශාවක් ඇති වුණා. මම ඒ කාලේ ප්‍රසිද්ධ ගී පද රචකයන්ට විවෘතව ආරාධනා කළා මට ගී පද රචනා ලියලා දෙන්න කියලා. ඒත් කාගෙන්වත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

* ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වුණේ ඔබ ඇලට නාන්න යනකොට කියලා කියන්නේ ඇත්තද?

ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. එතකොට මට වයස අවුරුදු විසි හතරක් විතර ඇති. ගුවන් විදුලි ගායකයෙක් වීමේ සිහිනයෙන් පසුවන වකවානුවක්. දවසක් මම ඇලට නාන්න බයිසිකලයෙන් යන කොට එක පාරට මගේ සිතට ආවා පද මාලාවක්. ඒ තමයි සිතින් පතා ඉන්නම් කියන ගීතයේ පදමාලාව. මම ඔය පද ටික මුමුණමින්ම නෑවා. ඉක්මනින් ගෙදර ඇවිත් හිතට ආපු පදවැල ලියාගෙන ලියාගෙන ගියා. ඒ වෙලාවෙම මගේ ගිටාරය අතට ගත්තා. තනුවකුත් දැම්මා. කැසට් එකක් අරගෙන රෙකෝඩ් කරලත් දැම්මා. ඔය ආකාරයට තමයි මගේ මුල්ම ගී පද රචනය මගේ අතින්ම මුලින්ම ලියවුණේ.

* ගුවන් විදුලියේ සරල ගී ගායන පරික්ෂණයෙන් සමත්වීම දැඩි අවශ්‍යතාවයක් වුණා එවක ගුවන් විදුලියෙන් ගීතයක් ප්‍රචාරය කර ගැනීමට?

ඔව්. අපේ ගී නිර්මාණ කීපයක් කරලා පරික්ෂණ මණ්ඩලයකට මුලින්ම යොමු කරන්න ඕනෑ. ඒක සමත් වුණොත් සරල ගී පරික්ෂණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම ලිව්ව සිතින් පතා ඉන්නම් ගීතයට අමතරව තව ගීත තුනක් පසුව ලිව්වා. පුංචි පුතු මගේ, ඔබට ලියන මුල්ම ලිපි, සඳ සේ උදා වී මහදේ රැඳේවි . . . මේ ගීත හතර මම මුලින්ම රෙකෝඩ් කරලා ගුවන් විදුලියට ඉදිරිපත් කළා. මට මේ සඳහා ගොඩක් උදවු කළා මගේ මිත්‍රයකු වූ අශෝක පීරිස්. ගුවන් විදුලි පරීක්ෂණයෙන් මාව සමත් වුණා. මගේ ගීත ප්‍රචාරය සඳහා අනුමැතිය ලැබුණා. මට ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායකයෙක් ලෙස සරල ගී පරීක්ෂණයෙන් සමත් වෙන්න ලැබුණා.

* ඔබේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරයවීමත් සමඟ පෙළොන්නරුවට සීමා වෙලා හිටිය කුමාරසිරි වටා රට පුරා රසිකයෝ ගොඩ නැඟෙන්න පටන් ගන්නවා?

සිතින් පතා ඉන්නම් . . . පුංචි පුතු මගේ . . . ගීත දෙක හරහා මම මුළු රට පුරාම ජනප්‍රිය වෙන්න වැඩි කලක් ගියේ නැහැ.

* ඔබේම සිංදු කොච්චර විතර මේ වන විට නිර්මාණය වෙලා ඇතිද?

සිංදු 250 ක් විතර. මගේ ගීත නිර්මාණවල තියෙන විශේෂත්වය තමයි ගීයේ පද රචනය, ගායනය, තනුව මගේ වීම.

* ඔබ ගායනා කළ සියලු ගීතවල පද රචකයා, තනු නිර්මාණය ගායනය සියල්ල ඔබේ කියලද කියන්නේ?

ගී නිර්මාණ දෙසිය හතළිහක විතර සියල්ල මගේ. මම ගායනා කරන ගීතවලින් දහයක විතර තනුව වෙන අයගේ.

* ගායනයෙන්, පද රචනයෙන්, තනු නිර්මාණයෙන් පොහොසත් ඔබ කාගේ තනු නිර්මාණ වෙනුවෙන්ද ගීත ගායනා කළේ?

අශෝක පීරිස්, නවරත්න ගමගේ, එච්. එම්. ජයවර්ධන, ස්ටැන්ලිපීරිස්, නිහාල් ගම්හේවා.

* ඔබේ ජනප්‍රියත්වයත් සමඟ සුපර් ෆ්‍රෙන්ඩ්ස් සංගිත කණ්ඩායමෙන් ඔබ සමුගන්නවා?

ජනප්‍රිය වෙන්න වෙන්න මට ෂෝ වැඩි වශයෙන් ගාලා ආවා. ඒවාට සහභාගි වෙන්න මම නිතර කොළඹ රැඳී සිටිය යුතු වුණා. ඒ නිසා මට තියෙන අපහසුතාවයන් නිසා වාදක කණ්ඩායමට සමු දුන්නා.

* එදා වගේම අදත් ඔබට රසික ඉල්ලීම් එපරිද්දෙන්මද?

ඒකෙ වෙනසක් නැහැ. ලංකාවේ වගේම පිටරට රසිකයොත් මට හොඳ ඉල්ලුමක් ඇති කරලා තියෙනවා. මේ වෙන කොට මම වෙනත් රටවල ෂෝ 43 වෙනුවෙන් විදේශ ගත වෙලා තියෙනවා. ලෙබනන්වල මාස එක හමාරක් නැවතී ඉඳලා 2000 වසරේදී මම ෂෝ එකක් කලා හිරු සඳු පවා හඬාවි කියලා.

* ඔබට වැළඳුණු අසනිපයක් හේතුවෙන් වසර ගණනාවක් ඔබ කලා ක්ෂේත්‍රයෙන් ඈත් වී ඉන්නවා?

1995 ඉඳලා 2000 වසර වෙනකන් මම අවුරුදු පහක් රූමැටික් ආතරයිටීස් රෝගය හැදිලා කලාවෙන් ඈත් වෙලා හිටියා. එහෙම වුණා කියලා මගේ රසිකයන්ගේ ඉල්ලීමේ අඩුවක් සිදු වුණේ නැහැ. වසර පහක් නිහඬව ඉඳලත් ඔවුන් මාව ආයෙත් වැළඳ ගත්තා.

* ඔබේ ගීත ඇතුළත් මුල්ම සී ඩී තැටිය නිකුත් වෙන්නේ?

1997 දී සන්ෆ්ලවර්ස් 1 - 2, සී ඩී එකෙන්. ඊට පස්සේ ගැලැක්සීස් 1, පිපිමල් මිට, ඔච්චරම ආදරයක්, ආදරයක් ඇවිදින්, සිතට ආපු ආදරේ, සිල් සුවඳක්, මගේ දේවි ආදී බොහොමයක් ගීත ඇල්බම් නිකුත් වුණා.

* අද ප්‍රසංග කලාව ගැන මොකද හිතෙන්නේ?

මේ වෙන කොට ප්‍රසංග සඳහා ගායක ගායිකාවන් වෙත තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. අද ඒ තැන අරන් ඉන්නේ බෑන්ඩ් එක. අද මියුසිකල් ෂෝ එකකට වැඩිම වුණොත් ගායක ගායිකාවන් පහක් විතර තමයි සහභාගි කර ගන්නේ. බෑන්ඩ් එක තමයි වැඩි වෙලාවක් සිංදු කියන්නේ. මේ තත්ත්වය ප්‍රසංග වේදිකාවෙන් ජිවත් වූ ගායක ගායිකාවන්ට මරු පහරක්. හැබැයි සංවිධායකයොත් අද මේ ක්‍රමයට හුරු වෙලා. ඒ ඔවුන්ට ලාබදායි නිසා.

* ගායකයෙක්, ගී පද රචකයෙක්, තනු නිර්මාපකයෙක් පමණක් නොවෙයි ඔබ දක්ෂතා පෙන්වා ඇත්තේ. ග්‍රන්ථකරණයටත්, තිර පිටපත් රචනයටත් ඔබ දක්ෂ කලා ශිල්පියෙක්?

පිවිතුරු හද ළඟ කියලා මම නවකතාවක් ලිව්වා. ඒක පාදක කරගෙන ස්වර්ණවාහිනියෙන් කොටස් 250 ක ටෙලි නාට්‍යයක් විකාශය වුණා. සේපාලිකා කියලා ලබන අවුරුද්දේ මම තිර නාටක කීපයක් ලියන්න මේ වන විටත් කටයුතු කරමින් ඉන්නේ. මගේම අතින් ඇන්ද චිත්‍ර සමඟ ළමා කතා පොත් විස්සක් මම වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ළමයින් වෙනුවෙන්ම මම සෙල්ලම් ගේ, පුංචි බලු රාලේ, අම්බලමේ පිනා, පිනුම් අප්පු, රාජු අපේ අලි පැටියා, හා හා මං හාවා නමින් ඩී. වී. ඩී හයක් නිර්මාණය කළා. මේ නිර්මාණ දරුවන්ට රස විඳින්න සලස්සනවා නම් ඇත්තෙන්ම හොඳ දෙයක්.