වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

සරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේ දී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි වැඩසටහන සඳහා අප පිවිසියේ ගම්පහ පුරවරයට ය. ගම්පහ නයෝමි සිනමා ශාලාවේ දී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථක ය. බොහෝදෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකයට පිවිස තම රංගන ගමනට මඟක් පාදා ගැනීමේ අභිලාශයෙනි. ඒ වග ඔවුන්ගේ මුහුණුවලින් මොනවාට පැහැදිලි විය. කලා ලොවේ දිගු ගමනක් යෑමට අවස්ථාව උදා කරන මේ ඉඩහසර වෙන්වන්නේ ඔවුන් වෙනුවෙනි.

රුවන් සෙනෙවිරන්න
SMBGP 15

රංගනය සිය ජීවිතය කරගැනීමට සිතාගෙන සිටින රුවන් සෙනෙවිරත්න තිළිණ අලහකෝන්ගේ ‘විලංගු’ වේදිකා නාට්‍යයේ වගේ ම හර්ෂ උඩකන්දගේ ‘උලත් එකයි පිළත් එකයි’ චිත්‍රපටයේත් රඟපෑව තරුණයෙක්. මේ වනවිට විසි වයස් කාණ්ඩයේ සිටින ඔහුට නිර්මාණ කිහිපයකට රංගනයෙන් සහභාගි වීම පිළිබඳ තිබෙන්නේ සතුටක්. ඔහු ‘යන් ඩ්‍රාර්මා ටීම්’ එකෙත් සාමාජිකයෙක්. සබරගමු පළාතේ බෙලිගල ග්‍රාමයේ උපත ලද රුවන් සෙනෙවිරත්න රංගනයෙන් ඉදිරි ගමනක් යන්නයි සිතාගෙන ඉන්නේ. ඔහු වැඩිපුරම කැමැති අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රසන්න විතානගේයි.


ජගත් කුමාරගේ
SMBGP 13

ගණේමුල්ල, කුඩාබෙල්ලන පදිංචි ජගත් කුමාරගේ වයස අවුරුදු හතළිස් දෙකක්. ඔහුගේ සිතේ මෙතෙක් රංගනයේ නියැළෙන්නට බොහොම ආසාවක් තිබුණත් ඒ සඳහා ඉඩක් ලැබුණේ නැහැ. පාසල් වේදිකාවේ හොඳ රංගන ශිල්පියකු වුණු ජගත් කුමාර ඒ අතීතය සිහිපත් කළේ සිනාමුසු මුහුණෙන්. ඉදිරි දිනයක ජගත්ගේ රංගන සිහිනය සැබෑකර ගැනීමට සිතාගෙනයි ඔහු සරසවිය මොඩ්ල් බෑන්ක් එකට ගොඩවැදුණේ. ඔහු වඩාත් කැමැත්තක් දක්වන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ උදයකාන්ත වර්ණසූරිය හා ඉන්දික ෆර්ඩිනැන්ඩුයි. ඔවුන්ගේ අලුත් නිර්මාණයකට දායක වීමට ජගත් ඉන්නේ බොහොම කැමැත්තෙන්.


අමන්දා ශනාලි
SMBGP 14

අමන්දා ශනාලි රංගනයට බෙහෙවින් ආදරය කළ තරුණියක්. ඈ කොළඹ 02, දුම්රිය තට්ටු නිවාස සංකීර්ණයේ ඉඳලා ගම්පහ තිබුණු මොඩ්ල් බෑන්ක් එකට පැමිණියේ රංගනයට තිබුණු ආදරය නිසාමයි. වයස අවුරුදු විසිදෙකක යුවතියක් වුණු අමන්දාට මේ වනවිටත් රංගනයෙන් නිර්මාණ කිහිපයකට ම දායක වීමට අවස්ථාව උදාවුණේ වාසනාවට වගේ. ඒ ‘දඩකෙළි අරණ’, ‘කාසිවත්ත’ කියන ටෙලි නාට්‍යවල. ඒ විතරක් නොවෙයි ළඟදිම තිරගත වීමට නියමිත ‘ජය ශ්‍රී මැතිඳු’ චිත්‍රපටයෙත් අමන්දා චරිතයක් රඟපෑවා. රංගනයෙන් ඉදිරිගමනක් පතන ඈ වඩාත් ආදරය දක්වන රංගන ශිල්පිනය වන්නේ ශ්‍රියාණි අමරසේනයි. රංගන ශිල්පියා වන්නේ රවීන්ද්‍ර රන්දෙණියයි.


‍හල්වල හොඳගේ ජයලත්
SMBGP 16

ගම්පහ ප්‍රදේශයේ පදිංචි හල්වල හොඳගේ ජයලත්ගේ වයස පනස් තුනක්. හැදල චිත්‍රාගාරයේ සවුන්ඩ් අංශයේ සහය ශිල්පියකු ලෙස සේවය කළ ජයලත් හිරු රූපවාහිනියේ විකාශය වූ ‘සදිසි’ වැඩසටහනේ රඟපාලා තිබෙනවා. රංගන කටයුතුවලට සහභාගි වෙමින් සිය ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න කැමැති ඔහු ආදරය කරන රංගන ශිල්පියා වන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකායි.