වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රටවිරුවෝ

රටවිරුවෝ

චමෝදි පියුමිකා, කීර්ති ඩයස්, චාන්දනී ස්වර්ණලතා, ලහිරු මධුසංඛ, වාසනා චතුරංගනී, අනෝමා චන්ද්‍රා ද සිල්වා මෙවර ගායනයෙන් සහ නර්තනයෙන් රටවිරුවෝ රියල් ස්ටාර් වේදිකාව විචිත්‍රවත් කරන්න සූදානම්.

විදෙස් සේවයේ නියුතු අපේ රටේම සොයුරු සොයුරියන්ට සිය කලා හැකියාවන් එළිදක්වන්න ඉදි වූ රටවිරුවෝ රියල් ස්ටාර් පිළිබඳ දැන් ඔබට අමුතුවෙන් පහදා දෙන්න අවශ්‍ය නැහැ. ලෙබනනයේ සිට ගෙනන මෙවර වැඩසටහන ලබන ඉරිදා රාත්‍රී 10. 00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබට නරඹන්න පුළුවන්.

මුල්ම තාරකාව චමෝදි පියුමිකා රටවිරුවෝ වේදිකාවට එක්වන්නේ නර්තන අංශයෙන්. කුඩා කාලයේ පටන් නර්තනයට විශේෂ ඇල්මක් දැක් වූ ඇය පාසල් කාලයේ දී විෂයක් ලෙසත් නර්තනය හැදෑරූ අයෙක්. නුගේගොඩ පදිංචි චමෝදි පියුමිකා ලෙබනනයේ ගෘහ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේදී.

කීර්ති ඩයස් මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. 1979 වසරේ සිට විදෙස් සේවයට එක්ව ඇති ඔහු දැනට ලෙබනනයේ ට්‍රයිකෝ කාගෝ ආයතනයේ සේවයේ නිරතව සිටියි. පාසල් අවදියේ සිටම සංගීතයට උනන්දුවක් දැක්වූ කීර්ති ඩයස්ට සිය ගායන හැකියාවන් එළිදක්වන්නට ලැබෙන්නේ මෙවර ලෙබනනයේ පැවැත්වෙන රටවිරුවෝ රියල් ස්ටාර් වේදිකාවෙනි.

නුවර පදිංචි චාන්දනී ස්වර්ණලතා රටවිරුවෝ වේදිකාවට එක්වන්නේ ගායන තරුවක් ලෙසයි. කුඩා කාලයේ සිටම ගායනයට විශේෂ උනන්දුවක් දැක් වූ ඇය පාසල් තරගාවලියන්හි දී සිය දක්‍ෂතා දක්වන්නටත් සමත්ව තියෙනවා. චාන්දනී ස්වර්ණලතා ලෙබනනයේ විදෙස් සෙවයට එක්වන්නේ 2011 වසරේ සිටයි.

ලහිරු මධුසංඛ බණ්ඩාර මෙවර රටවිරුවෝ වේදිකාව මියුරු ස්වරයෙන් ගීතවත් කරන්න සූදානම්. කුඩා අවදියේ සිටම ඔහු ගායනයට මෙන්ම නර්තනයටත් විශේෂ දස්කම් දක්වන්නෙක්. නුවර පදිංචි ලහිරු මධුසංඛ ලෙබනනයේ විදෙස් සේවයට එක්වී ඇත්තේ පසුගිය වසරේදී යි.

වාසනා චතුරංගනී රටවිරුවෝ වේදිකාවට එක්වන මීළඟ තරුවයි. ඇය සිය ගායන හැකියාවෙන් ලෙබනනයේ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. පාසල් කාලයේ දී විෂයක් ලෙස සංගීතය හැදෑරූ වාසනාට අද රටවිරුවෝ වේදිකාව හරහා සිය දස්කම් පෙන්වන්න අවස්ථාව උදාවෙලා. දෙහිවල පදිංචි ඇය විදෙස් සේවයට එක්වෙලා තියෙන්නේ 2000 වසරේ දී.

අනෝමා චන්ද්‍රා ද සිල්වා ලෙබනනයේ රටවිරුවෝ වේදිකාව ඔස්සේ සිය ගායන හැකියාවන් දක්වන්න සූදානම්. කහටගස්දිගිලියේ පදිංචි අනෝමා විදෙස් සේවයට එක්වන්නේ 1994 වසරේ සිටයි. සහජයෙන් ලද ගායන හැකියාව වගේම ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේත් හැකියාවන් ගෙන් යුතුයි.