වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑම ආරම්භ කළේ ඈඬියාවකින්

රඟපෑම ආරම්භ කළේ ඈඬියාවකින්

- ශාක්‍යා

මං තමයි මලීගේ දුව

පාසලේදී මට කතා කරන්නේ බබී ආච්චියි, හීන් එකී කියලයි

සාරදී?

ඔව්, ඒ මං තමයි.

කවුද මේ සාරදී?

මලීගෙ දුව. එයා ඉන්නෙ අත්තම්මා ටෙලි නාට්‍යයේ.

මොකක්ද සාරදීගෙ ඇත්ත නම?

ශාක්‍යා තීක්ෂණී ජයතිලක.

එතකොට පදිංචිය?

අනුරාධපුරයේ. ෂූටිං දවස්වල පිළියන්දල නැන්දා කෙනෙකුගෙ ගෙදර නවතිනවා.

පාසල?

අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහ විදුහල.

කීවැනි වසරෙද ඉගෙනුම ලබන්නේ?

අට වසරේ.

ශාක්‍යා දුවට ඇයි රඟපාන්න හිතුණේ?

නිල්මිණි තෙන්නකෝන් නැන්දා රඟපානවා දැකලා.

එතකොට මුලින්ම අවස්ථාව ලැබුණේ?

මං දිමුතු චින්තක මහතාගේ රංගන පාසලේ ඉන්නවා. ඔහු තමයි මට මුලින්ම අවස්ථාවක් දුන්නේ. ඒ හැන්දෑව ටෙලි නාට්‍යයේ.

‘හැන්දෑවේ’ නිල්මිණි තෙන්නකෝන් ප්‍රධාන චරිතය මැව්වේ?

මට පුදුම හිතුණා. ඇයගේ මිනිබිරියගේ චරිතයයි මට ලැබුණේ.

කැමරාවට මුලින්ම මුහුණ දුන් දවස මතකද?

ඔව්. හොඳට මතකයි. අඬන්න තිබුණේ. මං හොඳටම ඇඬුවා. කඳුළු එනකම්ම ඇඬුවා.

හිතේ බයටත් එක්කද ඇඬුවේ?

නැහැ, නැහැ. නාට්‍යයේ හැටියට මගේ මවට රඟපාන කෙනාට බබෙක් හම්බුවෙන්න ඉස්පිරිතාලේ ගෙනියද්දි ඒ දුකටයි මං අඬන්නේ. මගේ නැන්දා කෙනෙක් හිටියා. එයාට මං ගොඩක් ආදරෙයි. නැන්දට බබෙක් ලැබෙන්න ඉස්පිරිතාලේ ගෙනි යනකොට මං හොඳටම ඇඬුවා. නාට්‍ය ඒ දර්ශනය කළේ අර ඇත්ත සිද්ධිය හිතේ මවාගෙනයි.

කවුරුවත් කියලා නැද්ද ඉස්කෝලෙ යන කාලයේ රඟපාන්න එපා කියලා?

එහෙම ප්‍රකාශයක් නොඅසන්න මං වාසනාවන්තයි.

රඟපාන්න ආවාම පාසලේ වැඩ ටික කොහොමද කර ගන්නේ?

බොහෝවිට ෂූටිං තියෙන්නේ සෙනසුරදා, ඉරිදා දවස්වලනේ. බැරි වෙලාවත් සතියේ දවසක කොළඹ එන්න වුණොත් යාළුවො මගේ වැඩ ටික කරලා දෙනවා.

අත්තම්මා රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දකීම් මොනවද තියෙන්නේ?

එක පාරක් තිබුණා පල්වෙලා ගඳ ගහන කුඹුරක් මැදින් දුවන දර්ශනයක්. ඒක මං කොහොම හරි අමාරුවෙන් කළා. පස්සේ හොඳට නෑවා. තව දවසකදී ඒදණ්ඩකින් යන දර්ශනයක් තිබුණා. එතන හරියට මදුරුවෝ. එදා මදුරුවන්ට තල තල රූගත කළ අන්දම නම් අමතක වෙන්නේ නැහැ කවදාවත්.

ඉස්කෝලෙදි යාළුවො විහිළු කරන්නේ නැද්ද?

මොකද නැත්තේ. සමහර අය මට හයියෙන් හීන් එකී කියලා කෑගහලා කොණ්ඩෙන් ඇදලා දුවනවා. සමහරු නාට්‍යයේ බබී නම අරගෙන බබි ආච්චි කිය කියා මගේ කේන්ති අවුස්සනවා. ඒ නම් දෙකෙනුත් මාව හඳුන්වා දෙනවා අත්තම්මා නාට්‍යයේ.

දර්ශන තලයේදී ඔබ දුලීකා මාරපනගේ කේන්ති අවුස්සනවාලු නේද?

ඒ බොරුවට. මං දුලීකා නැන්දට ‘බතලි’ කියලා විහිළු කරනවා. එතකොට බොරු කේන්තියකින් මට ‘කෙට්ටිච්චි’ කිය කියා මගේ පස්සෙන් එනවා.

දුලීකා නැන්දා ගැන තවත් යමක් කියමු. මොකද ඔබ ඇයත් සමඟ නිරන්තරයෙන් රඟපාන නිසා?

ඇය මට නිතරම උපදෙස් ලබා දෙනවා. ඊළඟට තියෙන්නේ සංවේදී දර්ශනයක් නම් මං හිනා වෙවී හිටියොත් ඇය ඇවිත් මට දොස් නඟනවා. ඇය කියන්නේ රඟපාන්නට පෙර විනාඩි දෙක තුනකට කලින් ඒ චරිතෙ ජීවත්වෙන්න කියලා. මං දුලීකා නැන්දගේ උපදෙස් හිස් මුදුනින්ම පිළිගත්තා.
ශාක්‍ය රඟපෑ ඇති අනෙකුත් නිර්මාණ:

මහ පොළව අපේ නෙවෙයි, මුතු පිහාටු, දම්සාරි, මිතුරු මිහිර (ඉදිරියේදී විකාශයවීමට නියමිතයි)

චිත්‍රපටය: අබා

ශාක්‍යාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

ඉංජිනේරුවරියක් හෝ නිළියක් වෙනවා.

මොනවද ඔබේ අනෙකුත් කලා හැකියාවන්?

මට හොඳට සිංදු කියන්න පුළුවන්. චිත්‍ර අඳීන්නත් පුළුවන්. නටන්නත් පුළුවන්.

පවුලේ විස්තරත් කියමු?

මගේ අම්මා කුමාරි ජයසිංහ. ඇය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා. අම්මා තමයි මගෙත් එක්ක හැම තැනටම එන්නේ. ඒ සඳහා ඇයගේ රැකියා ආයතනයෙන් ලැබෙන්නේ හොඳ සහයක්. තාත්තා අබේරත්න ජයතිලක. ඔහු ව්‍යාපාරිකයෙක්. මට අයියා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා.

කාටද තුති පුදන්න තියන්නේ?

අත්තම්මා නාට්‍ය කණ්ඩායමේ හැමෝටමත්, මට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.