වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අපිට අවශ්‍ය සේවයක් කරන්න විතරයි කෙටි චිත්‍රපට සඳහා දිගු මඟක් තනන ‘සංරචන’ කණ්ඩායමේ තරුණ හඬ

අපිට අවශ්‍ය සේවයක් කරන්න විතරයි කෙටි චිත්‍රපට සඳහා
දිගු මඟක් තනන ‘සංරචන’ කණ්ඩායමේ තරුණ හඬ

කලාව, සිනමාව පිළිබඳ හදාරන්න ඒ ඔස්සේ නව නිර්මාණ එළි දක්වන්න අවස්ථාව දැනුම සකසා දීම ඔවුන්ගේ වෑයමයි. එහි පළමු පියවර වුණේ දීප ව්‍යාප්ත කෙටි චිත‍්‍රපට උළෙලක් ප්‍රාදේශීය මට්ටමෙන් ආරම්භ කිරීමයි. ඒ වෙනුවෙන් පෙළ ගැසුණේ අපූරු තරුණයන් පිරිසක්. එහි සාර්ථකත්වයත් සමඟ ඉදිරියට යන මේ කලාකාමී තරුණ එකතුව ගැන කතා කරන්නයි මේ වෑයම. බුද්ධික හසිත නවරත්නගේ ප්‍රධානත්වයෙන් යුතුව සිසිර ජානක කුමාර සහ ෂර්ලි සමරසිංහ එකතුව ‘සංරචන සිනමා පදනම’ මඟින් තමයි මේ සියලු දේ සිදු වෙන්නේ. සංරචන සිනමා පදනමේ සභාපති බුද්ධික හසිත නවරත්න තමයි අද අපේ කතාබහට එකතුª වෙන්නේ.

බුද්ධික ඔබ ඇතුළු පිරිස මේ වනවිටත් ප්‍රාදේශීය වශයෙන් කෙටි චිත්‍රපට උළෙලක් පවත්වා අවසන්. මුලින්ම ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න කැමැතියි?

පසුගිය ජනවාරි 19 වැනිදා දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට උළෙලක් ප්‍රාදේශීය මට්ටමෙන් අපි පැවැත් වූවා. වෙනස සිනමා පදනම සමඟ එක්ව ‘සල රූ’ නමින් වූ ඒ සඳහා උතුරු නැගෙනහිර ඇතුළුව සෑම පළාතකින්ම කෙටි චිත්‍රපට නිර්මාණ 120 කට අධික සංඛ්‍යාවක් ලැබුණා. මම, සිසිර, ෂර්ලි අපි හැමෝම එකමුතු වෙලා තමයි මෙය සිදු කළේ.

කෙටි චිත්‍රපට උළෙලක් වුණත් මෙය විශාල කාර්යභාරයක්. මේ සඳහා විශේෂ වූ හේතුවක් එහෙම තියෙනවද?

කෙටි චිත්‍රපට කලාව වගේම සිනමාව පිළිබඳ තියෙන කැක්කුමට තමයි මෙය අපි ස්වේච්ඡාවෙන් මෙය කරන්නේ. අපි වගේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන නවකයන්ට ඉදිරියට යන්න අවස්ථාව ලබාදීම වගේම ඔවුන්ගේ නිර්මාණ ඇගයීමට ලක් කිරීම තමයි බලාපොරොත්තුª වෙන්නේ.

කොහොමද මෙවැනි කටයුත්තක් සංවිධානය කෙරෙන්නේ?

කිසිම ආධාරයක් නොමැතිව තමයි අපි මෙය සංවිධානය කරන්නේ. අපි අපේ පෞද්ගලික හිතවත්කම් මත තමයි මේ සඳහා මූල්‍ය පහසුකම් සොයා ගත්තේ. ප්‍රසන්න විතානගේ, ඉනෝකා සත්‍යාංගනී, ස්ටැන්ලි හෙට්ටිආරච්චි, අශෝක හඳගම, සුනිල් ටී. ප්‍රනාන්දු, පද්මසිරි කොඩිකාර, රන්ජන් සිල්වා මෙයට ගොඩක් උදව් කළා. එය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

‘සල රූ’ කෙටි චිත්‍රපට උළෙලට ලැබුණු ප්‍රතිචාර ගැනත් සඳහන් කරමු?

ඒ පිළිබඳ ගොඩක් සතුටුයි. පළමු උළෙලටම චිත්‍රපට 120 ට වැඩි ප්‍රමාණයක් ලැබුණා. හැම චිත්‍රපටයක්ම වගේ විවිධ කෙටි චිත්‍රපට උළෙලවල් නියෝජනය කරලා තිබුණා. ඒ අතර අන්තර් ජාතික මට්ටමට ගිය නිර්මාණ පවා ඇතුළත් වුණා. මේ හැම නිර්මාණයක්ම සල රූ කෙටි චිත්‍රපට උළෙලට එකතු වුණේ අපි කෙරෙහි ඒ නිර්මාණකරුවන් තැබූ විශ්වාසය නිසා. එයට මම ප්‍රශංසා කරනවා. මේ වන විට අපට ජාතික මට්ටමෙන් කෙටි චිත්‍රපට උළෙලක් පවත්වන්න පවා ආරාධනා ලැබිලා තියෙනවා.

මෙරට කෙටි චිත්‍රපට කෙරෙහි උනන්දු තරුණ පිරිසක් සිටින බව ඔබ කී දෙයින් පැහැදිලියි. මම කැමැතියි දැනගන්න මේ සඳහා ඉදිරිපත් වූ නිර්මාණ ගැනත්?

ගොඩක් අය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණා. අපේ රටේ තරුණ පිරිසේ උනන්දුව ගැන මෙයින් අපට හොඳට පැහැදිලි වුණා. තියෙන පහසුකම්වල හැටියට පුළුවන් උපරිමයෙන් කටයුතු කර හොඳ නිර්මාණ ඉදිරිපත් කර තිබූ බව විශේෂයෙන් කියන්න කැමැතියි.

අද ක්ෂේත්‍රතයේ කෙටි චිත්‍රපටයට හිමි තැන ගැන ඔබේ අදහස?

ගොඩක් තරුණ තරුණියන් අද මේ පිළිබඳ ලොකු උනන්දුක් දක්වනවා. නමුත් ඒ හැමෝටම ඒවා එළි දක්වන්න ලැබෙන අවස්ථා තමයි අඩු. අපේ මේ උත්සාහයත් එවැනි අයට සවියක්වීමයි. අපේ කෙටි චිත්‍රපට උළෙල සමඟින් රූපවාහිනි නාලිකා කිහිපයක්ම ජයග්‍රාහි කෙටි චිත්‍රපට විකාශයට එකඟ වෙලා තියෙනවා. ඒ වගේම අද වනවිට ග්‍රාමීය ප්‍රදේශ මට්ටමෙන් මේ පිළිබඳ කතාබහට ලක් වෙනවා.

අලුතෙන් මේ පිළිබඳ උනන්දුවක් දක්වන අය ඉන්නවා නම්?

සිනමාවට කෙටි චිත්‍රපටයට කැමැති දක්ෂතා ඇති අයට අපිත් සමඟ එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉදිරියේදී ප්‍රාදේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් ජාතික මට්ටම දක්වා මෙය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කෙටි චිත්‍රපට උළෙලට ප්‍රථමව අපි කැමරාකරණය, අංග රචනය, පිටපත් රචනය, අධ්‍යක්ෂණය වැනි අංශ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළු ප්‍රාදේශීය වශයෙන් පැවැත්වූවා. එය ඉදිරියටත් එලෙසම ක්‍රියාත්මකයි. ඊට අමතරව අපි ‘සංරචන’ තෛ‍්‍රමාසික සිනමා සඟරාවක් එළි දක්වනවා. ඒ තුළිනුත් ක්ෂේත්‍රයට අදාළ බොහෝ දේ දැනගන්න අවස්ථාව තියෙනවා.

ඉදිරි පියවර ගැනත් සඳහන් කළොත්?

‘සල රූ’ මීළඟ කෙටි චිත්‍රපට උළෙල ලබන අවුරුද්දේ මුල පවත්වන්න සූදානම්. ඊට අමතරව පළමු කෙටි චිත්‍රපට උළෙලේදී ජයග්‍රහණය කළ කෙටි චිත්‍රපට විශ්විද්‍යාල මට්ටමෙන් පෙන්වන්නත් අපි කටයුතු සූදානම් කරල තියෙනවා. එය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කරන්න නියමිතයි.

සංරචන සිනමා පදනම කෙටි චිත්‍රපටයට පමණක් සීමා වෙනවාද?

කෙටි චිත්‍රපට වගේම වෘත්තාන්ත සිනමාවටත් එළැඹිමට අපි බලාපොරොත්තුª වෙනවා. ඒ තුළින් සම්භාව්‍ය හා වාණිජ සිනමාවන් එක් වූ සමගාමී සිනමාවක් නිර්මාණය කිරීම තමයි අරමුණ. එහිදී සිනමාවේ උන්නතිය වෙනුවෙන් යමක් කිරීම තමයි අපි මූලිකවම බලාපොරාත්තු වෙන්නේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න කැමැති අයට?

‘සංරචන සිනමා පදනම’ ,අංක 68, ධර්මපාල මාවත,

රත්නපුර යන ලිපිනයෙන් හෝ 0773744009 / 0453460511 දරණ අංකවලින් වැඩිදුර තොරතුරු දැනගෙන අපිත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.