වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




බෝම්බයක්! බෝම්බයක්! කාවිංග සොයාගන්න අලිජරමරයක්

බෝම්බයක්! බෝම්බයක්! කාවිංග සොයාගන්න අලිජරමරයක්

නාලන් මෙන්ඩිස් අලුත්ම ‘අංගනා’ ගැන කතා කරයි

‘අංගනා . . .’

නාලන් මෙන්ඩිස්ගේ අලුත්ම නාට්‍යය ජූනි මාසයේ 04 වැනිදා රාත්‍රී 8.30 ට, ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. මේ ලිපිය ඒ නිමිත්තෙන්.

පුංචි තිරය දෙස බොහොම ආශාවෙන් ඔබ බලාගෙන ඉඳීවි. ඒත් ඒ පිටු පස්සේ කතා බොහෝමයි. ‘අංගනා’ කියන්නෙත් ඒ වගේ රස මුසු දෑ මෙන්ම අකරතැබ්බයන්ගෙන් පිරුණු ටෙලි නාට්‍යයක්. ඒ පිළිබඳ වන මතකය අවධි කරන්නට අප හා කතා බහට එක්වුණේ නාලන් මෙන්ඩිස්.

කාලය ගෙවිලා ගියා. ඉසුරු සංග්‍රාමය අවසන් වෙලා වැඩි කාලයක් නෑ. ඒ විතරක් යැ. ලැබුණු ප්‍රතිචාරත් ඒ වගේමයි. ඒ අතරදි නාලන්ගේ සිතට ආවේ අපූරු අදහසක්. ‘රොමියෝ ජුලියට්’ ප්‍රේම වෘත්තාන්තය. ශේක්ෂ්පියර්ගේ ලෝක ප්‍රසිද්ධ මේ ප්‍රේම වෘත්තාන්තය ලංකාවට ගළපන්න ඇත්නම්. ඔහුට හිතුණේ එහෙමයි.

‘කවුද පිටපත ලියන්නේ?’

නාලන්ට එහෙම හිතුණා. එකපාරක්, දෙපාරක්, තවත් කිහිපවතාවක්ම.

‘උදය ශාන්ත කුමාරසිංහ’

බොහොම පොතපත කියවලා තියෙන කොලු ගැටයා. මිනිහ තමයි මේකට කෙනා.

නාලන්ගේ කීම උදය බාර ගත්තේ ඉස්මුදුනින්ම. ‘අංගනා’ පිටපත ලියැවුණේ එහෙමයි.

කවුද මේකට ගන්න නළු - නිළියෝ?’

ඊළඟට නාලන් කල්පනා කළා. ‘අංගනා’ හැඩ කරන්නට මේ මේ අය ගන්න ඕනෑ. ඒ විදියටයි සුපුරුදු විදියට ප්‍රවීණ රංගන ශිල්පීන් ‘අංගනා’ට මුණ ගැසුණේ. ඒ අතර ලකී, මොරීන්, බිමල්, යශෝධා, ප්‍රියා, කමල්, ගාමිණී, ලියෝනි, රෙබෙකාත් හිටියා. ඒ වගේම හිටියේ නවක නළු - නිළියෝ කිහිපදෙනෙකුත් රුවන්ගි, හර්ෂ, වත්සලා, කාවිංග, විශ්ව ලංකා, මධූ, සුජීව, නෙතු, නිරෝෂන්, සංගීතා, චිරන්ත, පබසරා, චින්තක එකමුතුව අපූරුයි.

‘අංගනාගේ’ වැඩ ඇරැඹුණේ මේ අතරදි. ඒ පළමු අදියර.

රේස් කාර් පදින කොලු ගැටව් දෙන්නෙක්. පරම්පරා දෙකක් නියෝජනය කරන්නක්. ඒ විතරක්ද කාලයක් පැවතගෙන එන බද්ධ වෛරයක්. ටික කාලයකට හර්ෂත්, විශ්වත් වෛරය අමතක කළා. දෙන්නම ළං වුණා. නිරතුරුව මතක් කළේ රේස් කාර් පදින්න හොඳ ධාවන පථයක්.

‘මේකට හොඳම තැන පන්නල’ හර්ෂ කිව්වා.

‘ඔව් ඔව්’

විශ්ව කිව්වේ හිනාවෙවි.

‘උඹගේ නවාතැන ඒ ගමේ නිසා අවසර ගන්න අමාරු වෙන එකක් නෑ’

හර්ෂ විශ්වට කිව්වේ ඌණ පූර්ණය සම්පූර්ණ කරමින්. ටක්කෙටම හරි. විශ්වට අවසරය ලැබුණා. ඒ කාරණය හරි වුණත් ඔවුන් ඉදිරියේ පෙළ ගැසුණේ ගැටලු පෙළක්.

‘ආරක්ෂිත ඇඳුම්’

මෝටර් රථ ශූරයකුගේ ඇඳුමක්. විශ්වට නම් එකක් ලැබුණා. ඒත් හර්ෂට. හර්ෂටත් එකක් ලැබුණා.

‘ඒ ඇඳුම අඳීන්න හර්ෂ වගේ දෙන්නෙක් ඕනෑ’

ඇඳුම අතට ගත්ත හර්ෂට නාලන් කිව්වා.

‘ඒකත් ඇත්ත’

අදහස සහාය අධ්‍යක්ෂ කණිෂ්ක බණ්ඩාරගෙන්.

‘මේ ඇඳුම කොහොම හරි සොයා ගන්න ඕන’

කලා අධ්‍යක්ෂ ජනක අකුරම්බොඩ කල්පනාවක. මේ එක්කම ආවේ ආරංචියක්.

‘කුරුණෑගල පැත්තේ තියෙනවලු’

ඒ ආරංචිය දුන්න සංජීව රත්නායක තමයි හැමෝම හැඩ වැඩ කරන්නේ. මේ අතර කට්ටියක් පන්නල ඉඳලා කුරුණෑගලට ගියා. මෝටර් රථ ආරක්ෂිත ඇඳුම සොයගෙන.

මීළඟ අදියරේ වැඩ ආරම්භ කළෙත් පන්නලෙන්. හැමෝම පන්නලට ගියා. බලාපොරොත්තු රැසක් හිත පුරවගෙන. ඒත් ඒක එහෙම වුණේ නෑ.

‘මුරුගසං වැස්සක්’

කුලරුවන් ගමගේ කැමරාවට ඇහැ ළං කළා. ඒ මුරුගසං වරුසාව වත් පුංචි තිරයට ගේන්න. අවසානයේ ඒ වැස්ස නාලන්ලට වගේම ලංකාවටම කරදරයක් වුණා. කට්ටිය ගිය පයින්ම ආපස්සට ආවා.

තවත් දවසක් උදා වුණා. එදා රූපගත කිරීම තිබුණේ කොන්ක්‍රිට් පුරවරයෙන් මඳක් ඈතක කොට්ටාව ප්‍රදේශයේ. වරින් වර වරින්වර නිතරම නැවතුම්.

‘මේක මොන කරදරයක්ද?’

ඒ වචන ටික නාලන්ගේ කටින් පිටවුණා. ඉවසල බැරිම තැන. චූන් පාන් වෑන් එකේ හඬ හැමෝටම කරදරයක් වුණේ එහෙමයි.

ඒ විතරක්යැ, තවත් බොහෝදෙනාට ඒ හඬ කරදරයක්. ඒ බව එයාලා අදවත් දන්නේ නෑ.

මීළඟට තවත් දවසක්. රූගත කිරීම්වලට තෝර ගත්ත නිවෙස ළඟ අලි ජරමර. හතර පැත්තෙම ශබ්ද. එක පැත්තක සිමෙන්ති අනන හඬ. අනෙක් පැත්තේ සිවිලිමක් ගහනවා. ඊළඟට ගෙයක් කඩනවා. අනිත් නිවෙසක වහලය ගහනවා. මේ ශබ්ද අතර රූගත කිරීම් කෙරුණා.

‘දෙබස් පටිගත කිරීම් කරන්න වෙන්නේ වෙනමම’

නාලන්ගේ හඬ හැමෝම අතර ඇති කළේ නිශ්ශබ්දතාවයක්. මේ වගේ අකරතැබ්බ රාශියක් මැදයි ‘අංගනා’ රූඟත කළේ.

ඊළඟට කාර් රේස් පටලැවිල්ලක්. තරගකරුවෝ ධාවන පථය අමතක කළා. මහ පාරේ වාහන දෙක ඉදිරියට ඇදුණේ වේගයෙන්. විදුලි වේගයෙන්.

‘අද යන්නම තියෙන ගමනක් වගේ’

හැමෝම කිව්වා. වාහනය නැවතුණේ ඉද්ද ගැහුවා වගේ. වාහනයෙන් බැස්සේ කොලු ගැටව් කිහිප දෙනෙක්.

‘රණ්ඩුවක් වගේ’

ඒක දැක්ක කෙනෙක් ඔවුන්ට ළං වුණා.

‘මේ සටන හැබහින්ම තියෙන්න ඕන’

නාලන්ගේ හඬ ස්ථිරයි. කියන පරක්කුවෙන් හර්ෂත්, විශ්වත්, කාවිංගත් ගුටි කෙළියක. කාවිංගට හොඳ කම්මුල් පාරක්. දින කිහිපයකට හැමෝටම නිවාඩුවක්.

ඒ වගේම තවත් සටනක්. ගල්බෝර දමන ගල්වළක් ළඟ. හර්ෂ, විශ්ව වගේම කාවිංග. විශ්වගේ පහරකට හර්ෂ බිමට වැටුණා. ඒ සැනින් කාලිංගත් විශ්වත් දරුණු සටනක. දෙන්නම වැටුණේ මඩ වළකට. හරියටම මඩ කරියො දෙන්නෙක් වගේ.

‘කරන්න දෙයක් නෑ සටන ඉදිරියට’

අධ්‍යක්ෂවරයාට ගොඩක් සතුටුයි. ඒ ඔහුගේ අදහස ඒ අයුරින්ම ඉටු වුණාට. සටන දිගටම ගියා.

‘මොනව කරන්නද ගහගමු’ කාලිංගත්, විශ්වත් තීරණය කළා. මේ අතර නැඟුණේ අමුතු ශබ්දයක්.

‘බෝම්බයක් . . . බෝම්බයක්’

කවුදෝ කෑගැහුවා. ඒ සද්දයට වඩා වේගයෙන් කාවිංගත් කෑගැහුවා. ඒ විතරක්ද? කාවිංග සොයා ගන්න කරන්න වුණු ජරමරය දන්නේ සෙට් එකේ අය විතරයි. ගල්බෝරයක් කළ හදියක්.

මෙන්න මේ විදියට අදියර තුනකින් ‘අංගනා’ රූගත කළා.

‘මුළු කතාවම ෂූට් කරලා ඉවරයි. ජූනි මසේ 04 වැනිදා ඉඳලා ‘අංගනා’ නරඹන්න ඔබට පුළුවන්’

‘අංගනා’ තිරයට ගෙනෙන නාලන් මෙන්ඩිස් කිව්වේ ඔබ හැමට ආදරෙන්, අපෙන් සමුගන්නා ගමන්.