වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කැට කිරිල්ලී අරගෙන ප්‍රීති රන්දෙනිය ඇවිත්

කැට කිරිල්ලී අරගෙන ප්‍රීති රන්දෙනිය ඇවිත්

දොරට වැඩුම – 04 වැනිදා

දවසක් තිස්ස අබේසේකර මහතා ‘පුංචි ආච්චි’ යොවුන් නවකතාව බලලා හරිම ලස්සනයි මේක. චිත්‍රපටයකට හොඳයි කියලා කිව්වා. මගෙන් පොතකුත් ඉල්ලාගෙන ගිහින් සුමිත්‍රා පීරිස් මහත්මියට පෙන්වලත් තිබුණා. තිර පිටපත ලියන්න හිටියේ තිස්ස අයියා. ඔහුගේ අභාවය නිසා එය මඟ හැරුණත් සුමිත්‍රා පීරිස් මහත්මිය කිව්වා හොඳ නිෂ්පාදකයෙක් හමු වුණොත් ඒක කරමු කියලා.

ප්‍රීති රන්දෙනිය විසින් රචිත නවකතාව ‘කැට කිරිල්ලී’ ලබන ජුනි 04 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘බී’ කමිටු ශාලාවේදී දොරට වැඩීමට නියමිතයි. කිවිඳියක, ලේඛිකාවක ලෙස ග්‍රන්ථකරණයට ආධුනික නොවූ ප්‍රීති රන්දෙනිය ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න නම් අවැසි වන්නේ නැහැ. ඇය ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනියගේ ප්‍රිය බිරිඳයි. කැට කිරිල්ලී ඇය විසින් රචිත නවතම නවකතාවයි.

‘කැට කිරිලල්ලි’ ගැන කියමින්ම මේ කතාබහ ආරම්භ කරමු?

මෙය සත්‍ය සිදුවීමක් වටා ගෙතුන පවුල් සංස්ථාව ගැන කියවෙන කතාවක්. ඥාතීන් ගොඩක් සිටින පවුලක ආදරය, රැකවරණය යටතේ හැදුන වැඩුන ගැහැනු දරුවෙක් විදෙස්ගත වුණාට පසුව මුහුණ දෙන සිදුවීම් පෙළක් සමඟින් ගෙතුන කතාවක් මෙහි ඇතුළත්.

මේ කතාව ‘කැට කිරිල්ලී’ ලෙස නම් කරන්න විශේෂ වූ හේතුවක් ඇති නේද?

ඔව්. කැට කිරිල්ලි කුඹුරුවල ගොයම් අස්සේ කූඩු හදල එහි බිත්තර දැමූ පසු ඒ තුළින් බිහි වෙන පැටව් ගොයම් කපන කාලය එන විට පියාඹලා යනවා. නමුත් ඒ පැටවුන් ගොඩක් ඈතට පියාඹලා ගියොත් වෙනත් කරුල්ලන්ගේ ගොඳුරු බවට පත් වෙනවා. විවිධ අනතුරුවලටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ උන්ට ඒ පරිසරය නුහුරු නිසා. මේ කතාවේ මිණි මුතුª නම් තරුණියත් ඒ වගේ සිදුවීම්වලට තමයි මුහුණ දෙන්නේ. ලංකාවේ පරිසරයට හුරුවෙලා හැදුන ඇය අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූ පසු නුහුරු අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ආදරයෙන් හැදූ වැඩූ ගැහැනු දරුවෙක් සමාජයට යොමු කිරීමේදී දෙමාපියන් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෑ කියන පණිවිඩය තමයි මෙයින් කියවෙන්නේ.

ඔබ මීට පෙර රචනා කළ කෘතිවලටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා?

මුල්ම නවකතාව ‘මහ ගෙදර’ කෘතියයි. ඊට පසුව ‘පුංචි ආච්චි’ නම් යොවුන් නව කතාවත් ‘චිත්තානුපස්සනා’, ‘ළඟදීම තිරගත නොවේ’ නවකතාත් කවි පොත් තුනකුත් ඊට අමතරව තව ළමා කතා පොත් විස්සක් විතර රචනා කරලා තිියෙනවා. පුංචි ආච්චි කෘතිය පස් වතාවක් මුද්‍රණයෙන් පිට වුණා. ඒ වගේමයි හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.

කුඩා ළමුන් වෙනුවෙන් වැඩිපුර ලියනවා නේද?

මං පොඩි ළමයි වෙනුවෙන් ලියන්න ගොඩක් කැමැතියි. මට කුඩා ළමයි හිතන විදියට හිතන්න පුළුවන්. ඇත්තටම ළමුන් වෙනුවෙන් ලියන එක මට විශාල සතුටක්.

ඔබ කුඩාකාලයේ කවි පදවැල් ලියූ මතකය සිහිපත් කළොත්?

මට මතකයි ඒ කාලේ වනිතා විත්ති පත්තරේ චිත්‍ර කාතවට ළමුන්ට කතාවක් ලියලා එවන්න අවස්ථාව දීලා තිබුණා. දවසක් මමත් එයට කතාවක් ලියලා යැව්වා. එහි හොඳම කතා පහ ලියලා එවපු නම් අතරේ මගේ නමත් තිබුණා. එදා ලොකුª සතුටක් දැනුණා. මගේ කතාවත් ලස්සන ඇති කියලත් හිතුණා. ඒත් මං ඒක කාටවත් පෙන්නුවේ නම් නැහැ. ඒ වගේමයි මම ඒ කාලේ තිබුණු සිංදුවල ලස්සන වචන පොත්වල ලියනවා. ‘බුදු සාදු බුදු සාදු මම සමන් වැලක් වෙන්නම්’ ගීතයට ගොඩාක් කැමැතියි. පුංචි කාලේ මට ඇත්තටම එහෙම වෙන්න හිතුණා. ඒ මතකය හැමදාම තියෙනවා. හරිම සුන්දරයි.

ඔබ වැඩිපුරම ලියන්න උනන්දු වෙන්නේ?

විවාහ වුණාටත් පසුවයි. පුතා ලැබිලා ඉන්න කාලේ තමයි වැඩිපුරම ලියන්න උනන්දු වුණේ. ඒ කාලේ ගොඩක් කවි ලිව්වත් කාටවත් පෙන්වන්න උනන්දුවක් තිබුණේ නැහැ. සරසවිය හිටපු කර්තෘ ඒ. ඩී. රංජිත් කුමාර මහත්මයා අපේ ගෙදර ආ දවසක මට කිව්වා නිකං ගෙදර ඉන්න නිසා මොනවා හරි ලියන්න කියලා. ඒ වෙලාවේ මම කිව්වා දැනටමත් මම කවි ලියනවා කියලා. එතකොට එතුමා කිව්වා කීපයක් සරසවියටත් එවන්න කියලා. එකක් පළ වුණාම හැමෝම කතා කරලා සුබපැතුවා.

ඔබ අතින් ලියවුණ ගීතත් අද බොහෝ ජනප්‍රියයි?

මේ වන විට සිංදු 50 ක් විතර ලියලා තියෙනවා. සමිතා ගායනා කරන ‘පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි පොද’ සහ රූකාන්ත – චන්ද්‍රලේඛා ගායනා කරන ‘බිසවුනි ප්‍රමිලා’ ගීත බොහෝ ජනප්‍රියයි. ගීත ලියලා තියෙනවා. දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කවුරු හරි ඉල්ලුවොත් ලියලා දෙනවා.

චිත්‍රපට, ටෙලි නාට්‍ය තිරපිටපත් ලියන්න අදහසක් එහෙම නැද්ද?

එහෙම අදහසක් නම් තිබුණේ නැහැ. දවසක් තිස්ස අබේසේකර මහතා ‘පුංචි ආච්චි’ යොවුන් නවකතාව බලලා හරිම ලස්සනයි මේක. චිත්‍රපටයකට හොඳයි කියලා කිව්වා. මගෙන් පොතකුත් ඉල්ලාගෙන ගිහින් සුමිත්‍රා පීරිස් මහත්මියට පෙන්වලත් තිබුණා. තිර පිටපත ලියන්න හිටියේ තිස්ස අයියා. ඔහුගේ අභාවය නිසා එය මඟ හැරුණත් සුමිත්‍රා පීරිස් මහත්මිය කිව්වා හොඳ නිෂ්පාදකයෙක් හමු වුණොත් ඒක කරමු කියලා.

මේ කටයුතුª සඳහා ආදරණිය සැමියා සහ පවුලේ අයගෙන් ලැබෙන සහාය ගැනත් කියමු?

මේ පොතෙත් බරපැන දරන්නේ රවී. ඔහු තමයි හැම දේම පිළිිවෙළට සංවිධානය කරන්නේ. මම පොත ලිව්වා විතරයි. මේ හැමදේම සංවිධානය කරන්නේ රවී අතින්. ඒ වගේමයි දරුවොත් මට ගොඩක් උදව් කරනවා. සමහර සිදුවීම්, මම නොදන්න බොහෝ දේ ඔවුන් මා සමඟ බෙදා ගන්නවා. ඒවා මට ගොඩක් ප්‍රයෝජනවත්.

ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් සටහනක් තබමු?

තවත් නවකතාවක් රචනා කරන්න සූදානම් වෙනවා. එයත් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් තමයි ලියැවෙන්නේ.


කිවිඳියක, නවකතාකාරියක හා ලේඛිකාවක වන ප්‍රීති රන්දෙනියගේ නවතම නවකතාව ‘කැට කිරිල්ලී’ කෘතිය මෙම මස 04 වැනිදා අඟහරුවාදා පස්වරු 4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘බී’ කමිටු ශාලාවේදී දොරට වඩී.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සහභාගිත්වයෙන් කලඑළිවන මෙම උළෙලේ මුලසුන හොබවනු ලබන්නේ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් විසිනි. ‘කැට කිරිල්ලී’ නවකතාව සහ ප්‍රීති රන්දෙනියගේ ලේඛන කලාව’ යන මැයෙන් පාතේගම ඥාණිස්සර හිමියන් ද කැට කිරිල්ලී තුළින් නිරූපණය වන අද්‍යතන පවුල් සංස්ථාව යන මැයෙන් ජැක්සන් ඇන්තනී ද, ‘නිර්මාණ ලෝකය තුළ කාන්තාවන්ගේ දායකත්වය සහ මෙම නවකතාව’ යන මැයෙන් අනෝජා වීරසිංහ ද දේශන පවත්වති. සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම සහ දිල්හානි ඒකනායක යන රංගන ශිල්පිනියන් නවකතාවේ තෝරාගත් ඇතැම් පිටු කියවීමට නියමිතය.