වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

චිත්‍රපටයක මංගල දර්ශනයෙන් පසු කිසිවෙකු එම චිත්‍රපටයෙහි අඩුපාඩු නොකියන්නේ ඇයි?

සුජාතා ගුණවර්ධන - කඩවත

මේකනේ සුජාතා කාපු බීපු තැන්වල වමාරන සිරිත හොඳ සිහියෙන් කරන්න කාටද පුළුවන් .

කොරියාවේ යුද්ධයක් ඇති වුවහොත් නැවැත්වීම සඳහා සාම නියෝජිත ලෙස ලංකාවෙන් යෑමට සුදුසු කවුද?

චාමර ප්‍රේමනාත් – පිළියන්දල

අතුල රන්සිරිලාල් මහත්තයාව.

ශිවාජි ගනේෂන් – මාලිනී ෆොන්සේකා රඟපෑ ‘පයිලට් ප්‍රේම්නාත්’ චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂ කවුද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

අධ්‍යක්ෂ ඒ. සී. තිරුලෝක චන්දර්, නිෂ්පාදක ඩී. එම්. චන්ද්‍රසේන

‘අනෝකි ආදා’ චිත්‍රපටය ගැන කාර්මික විස්තරයක් කරන්න.

ගයානි දර්ශා - රඹුක්කන

‘අනෝකි ආදා’ නමින් චිත්‍රපට දෙකක් නිපදවී තිබෙනවා. එකක් මෙහෙබුබ් විසින් ද අනෙක කුනාල් කුමාර් විසින් ද අධ්‍යක්ෂණය කළා. ඔබට මින් කවර ‘අනෝකි ආදා’ චිත්‍රපටයේ විස්තර ද ඕනෑ?

චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයකු වන ටී. සෝමසේකරන්ගේ චිත්‍රපට මොනවාද?

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා- කළුබෝවිල

සැඩ සුළං, සරදම්, අවිශ්වාසය, පිරිමියෙක් නිසා, වෙන ස්වර්ගයක් කුමටද, සුබසරණ සැප සිතේ, සමාජ සතුරෝ යන චිත්‍රපට සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කළා. මෙයින් පිරිමියෙක් නිසා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාත්, වෙන ස්වර්ගයක් කුමටද කිංස්ලි රාජපක්ෂත් සම අධ්‍යක්ෂණය කළා.

හින්දි සිනමාවේ දුෂ්ට චරිත රඟපෑ ප්‍රාන් නළුවාත්, සිංහල සිනමාවේ දුෂ්ට චරිත රඟපෑ ඩොමී ජයවර්ධනත් යන දෙදෙනාගෙන් දක්ෂතම නළුවා කවුද?

එච්. එල්. තිලකසිරි ද සිල්වා

මේ දෙදෙනාම එක වගේ දක්ෂයි කියලයි මගේ හැඟීම තිලකේ.

බොහෝ නිෂ්පාදකවරු සිනමාව අතහැර යන යුගයක 2014 වර්ෂය සදහා සුනිල් ටි. ප්‍රනාන්දු මහතා චිත්‍රපට පහකටම තම නිෂ්පාදන දායකත්වය ලබාදීම ඔබ දකින්නේ කෙසේද?

චන්දන වන්නිආරච්චි - දෙහිඅත්තකණ්ඩිය

ලංකාවේ වෘත්තීය චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදියට විවිධ මාදිලියේ චිත්‍රපට නිපදවීමට සුනිල් ගන්න උත්සාහය පැසසුමට ලක්විය යුතුයි. වෙනත් ව්‍යාපාරවලින් විශාල ලෙස ලාභ ලැබීමට හැකියාව තිබියදීත් චිත්‍රපටවලට ඔහු ලබාදෙන නිෂ්පාදන දායකත්වය ඊටත් වඩා ප්‍රශංසා කළ යුතු කරුණක්.

චිත්‍රපටයක් තිරගත වී අවසන් වූ පසුව එම චිත්‍රපටයේ පිටපත අයත් වන්නේ චිත්‍රපට සංස්ථාවටද? නැත්නම් ඒ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාටද? පැහැදිලි කරන්න.

එල්. එම්. ඥාණා කුමාරි – ආසිරි මාවත, කළුබෝවිල.

නිෂ්පාදකට.

රැඳී සිටියාට ස්තුතියි කියා සමහර රූපවාහිනි නාලිකාවල සඳහන් වන්නේ, ඒ අයට අප ගැන විශ්වාසයක් නැති නිසා ද?

සුජාතා ගුණවර්ධන – කඩවත

ඔව්. ඇත්තටම වැඩක් නැතුව ටෙලිවිෂනය ඉදිරිපිට කාලය ගත කරන අය ගැන කොහොමටවත් විශ්වාස තියන්න බෑ.

විජය කුමාරතුංග, ශිරානි නුගේරා රඟන ‘ගිම්හානේ ගී නාදේ’ චිත්‍රපටයේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කාගේද?

සුදත් නිශන්ත – මීගමුව

ධර්ම ශ්‍රී කල්දේරාගේ.

සිංහල දෙබස් කවා මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය කළ මනුෂ්‍යත්වය’ චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කියා දෙන්න.

තිලකරත්න විල්වල – කෑගල්ල

එය ‘ඉන්සානියත්’ කියන හින්දි චිත්‍රපටයයි. ඉන්දියාවේ සිසිල් බී. ඩිමෙල් ලෙස ප්‍රචලිත දක්ෂ දෙමළ සිනමාකරුවකු වන එස්. එස්. වාසන් එහි අධ්‍යක්ෂවරයායි.

දිලිප් කුමාර්, බීනා රායි, දේව් ආනන්ද් සෝබනා සමරත් එහි චරිත නිරූපණය කළා. දිලිප් හා දේව් එකට රඟපෑ එකම චිත්‍රපටයත් මෙයයි.