වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




3 5 වැ ඩි ද ම දි ද

3 5 වැ ඩි ද ම දි ද

සිරිපැරකුම් ප්‍රදර්ශනයේ ඇති වියවුල කුමක් ද?

ආචාර්ය සෝමරත්න දිසානායක

චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා විසින් නිකුත් කළ නව නියෝගයක් නිසා ඇති වූ පිටපත් 35 සීමාවේ අර්බුදය තාමත් විවාදාත්මක අදියරක තිබුණ ද, එය රජයේ සම්මත නීතියක් වන්නේ නම් ඉදිරි සිනමා කටයුතුවලදී අපි ඊට අනුගතවීමට බැඳී සිටින්නෙමු. නීතිය පැනවීමට පෙර නිමැවුම් කටයුතුª නිමා කර තිබූ ‘සිරිපැරකුම්’ චිත්‍රපටය මෙම නීතියට අදාළ නොකළ යුතුය යන සරල තර්කය අමාත්‍යාංශ ලේකම්තුමා සහ අමාත්‍යතුමා මඟින් ජනාධිපතිතුමා දක්වා ගෙන යාමට සිදු වූයේ සභාපතිතුමාගේ මට්ටමින් ඊට නිසි විසඳුමක් නොලද නිසාය.

මෙම කරුණ කෙටියෙන් පැහැදිලි කර මහාචාර්ය සුනිල් ආරියරත්න,ආචාර්ය සෝමරත්න දිසානායක, ජස්ටින් බෙලගමගේ, සරත් වීරසේකර (පා. ම.) ගයාන් රණධීර, සුගත් සමරකෝන්, රේණුකා බාලසූරිය, සුනිල් ටී. ප්‍රනාන්දු සහ ආචාර්ය රෝහණ වීරසිංහ යන අයගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිපිය විමසා බලා, සිරිපැරකුම් චිත්‍රපටය මෙම නීතියෙන් නිදහස් කළ යුතු බව ජනාධිපතිතුමා විසින් පිළිගෙන, අමාත්‍යාංශයට උපදෙස් දී තිබිණ. සාධාරණත්වයේ නාමයෙන් ගත් එම තීරණයට අතිගරු ජනාධිපතිතුමා, ගරු අමාත්‍යතුමා සහ ගරු ලේකම්තුමා ගත් තීරණයට අපි කෘතඥ වන්නෙමු.

රජයට දොස් නැඟීමට හා රජයට විරෝධය දැක්වීමට කුමන හෝ කරුණක් සොයමින් සිටින පිරිසකට ඒ සඳහා නිර්මාණය කරගෙන ඇති අලුත්ම කාරණය වන්නේ සිරිපැරකුම් චිත්‍රපටය මුදාහැරීමට ජනාධිපතිතුමා ඇතුළු රජයේ මැදිහත්වීමය. මෙහිදී ජනාධිපතිතුමා කර ඇත්තේ පුද්ගලික හිතවත්කමක් මත කිසිවකුට උදව් කිරීමක් නොව, අතැඹුලක් සේ පැහැදිලි, සරල කාරණාවකදී නිවැරදි, සාධාරණ තීරණය ගැනීමයි. මෙහි ඇති යථාර්ථය තේරුම් ගැනීමට අකමැති එක්තරා පිරිසක් ජනාධිපතිතුමාගේ මෙම තීරණයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබීම කනගාටුවකි. විවිධ පිරිස් විසින් දියත්කර විවිධ මාදිලියේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් දෙස බලන විට මෙය පුදුමයක් ද නොවේ.

චිත්‍රපට නිෂ්පාදනය ගැන හසරක් නොදත් සභාපතිතුමාගේ විෂය නොදන්නාකම නිසා එසේ වීම පුදුමයක් නොවේ. නමුත් සිනමාවේ නිරත, චිත්‍රපටයක් නිපදවීමේ බරපතළකම සහ අවධානම ගැන දැන සිටිය යුතු සිනමාකරුවන් පිරිසක් ද සභාපතිතුමාගේ මතයට එකතු වී සිටීම විමසා බැලිය යුතු කරුණකි.

ඇතැම් විට මෙම පිරිසේ කිසිවකුටවත් දැවැන්ත පිරිවැය යොදන චිත්‍රපටයක පිරිවැය ගැන හෝ එම පිරිවැය ගැනීම සඳහා කුමක් කළ යුතු ද යන්න ගැන පලපුරුද්දක්, අත්දැකීමක් නොමැති වීම මෙසේ වීමට හේතුª වූවා විය හැක.

තමන්ගේ චිත්‍රපටවල පිරිවැය ප්‍රමාණයට හා තමන්ගේ චිත්‍රපටවලට සිටින ප්‍රේක්ෂක ප්‍රමාණයට සියලුම සිනමාකරුවන් සීමා විය යුතු යැයි ඔවුන් සිතුවා විය හැක. නැතහොත් තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර තුළින් මෙම ගැටලුව දෙස බැලුවා ද විය හැක.

පහත සඳහන් කරුණු දෙස මැදිහත් සිතින් නැවත වරක් සිතා බලන මෙන්ම මගේ සහෝදර සිනමාකරුවන්ගෙන් ඉතා සෙනෙහසින් ඉල්ලා සිටිමි.

1. බොහෝ චිත්‍රපට වසර ගණනාවක් පුරා ප්‍රදර්ශනය නොවී ගොඩ ගැසී තිබීමට හේතුව ඇතැම් චිත්‍රපට පිටපත් 35 ට වඩා මුදා හැරීම ද? පිටපත් 35 ට උපරිමයට සීමා කිරීමෙන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳේද?

2. අධික පිරිවැයක් දරා නිපදවන ‘බ්ලොක්බස්ටර්’ ගණයේ චිත්‍රපට පිරිවැය පිටපත් 35 කින් පියවා ගැනීමට නොහැකි බව ඔබ දන්නේද?

3. නීතිය ගෙන ඒමට පෙර අධික පිරිවැයක් දරා නිපැයූ සිරිපැකුම් චිත්‍රපටයට ද නව නීතිය අදාළ කර නිෂ්පාදකයින්ට පිරිවැය පියවා ගැනීමට නොහැකි වුවහොත් ඔබ සතුටු වන්නේද?

4. සිරිපැරකුම් චිත්‍රපටයට පිටපත් 35 වඩා මුදාහැරීමෙන් පාඩුවක් අසාධාරණයක් වන්නේ කුමන සිනමාකරුවාටදැයි නම් වශයෙන් හිතා බලන්න.

5. සිරිපැරකුම් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂිත කිසිම සිනමාහලක සාර්ථකව ප්‍රදර්ශනය කරන කිසියම් චිත්‍රපටයක් නවතා දැමීමක් සිදුවනවාද?

6. තිරගත කිරීමට අපේක්ෂිත චිත්‍රපටයක් අවහිර කිරීමක් සිරිපරකුම් චිත්‍රපටය නිසා සිදුවනවාද?

7. ඔබගේ විරෝධය අනුව සිරිපැරකුම් චිත්‍රපටය පිටපත් 35 කට සීමා කළහොත් ප්‍රදර්ශනයට සූදානම්ව සිටින අනිකුත් සිනමා ශාලා 20 ට සිදු වන්නේ කුමක්ද? එම සිනමා ශාලාවල පෝලිමේ තිබෙන වෙනත් චිත්‍රපටයක් පෙන්වනවාද?

8. එම සිනමාශාලා ඉඳහිට හෝ ලාබයක් ලබා, තම සිනමා ශාලාවල පාඩුව පියවා ,නොවසා, පවත්වාගෙන යන්නේ මෙසේ වසරකට එක් වරක් හෝ ලැබෙන ආකර්ෂණීය චිත්‍රපටයක් නිසා බව ඔබ දන්නේද? එසේ ආකර්ෂණීය චිත්‍රපටයක් නොලැබ ගියහොත් ඔවුනට සිදුවන පාඩුව ඔබ සතුටු වන්නේද?

9. පිටපත් 35 සීමාව දිගටම පැවතියහොත් ඔවුනට කිසි දිනක අලුත් චිත්‍රපටයක් නොලැබී යන නිසා ඔවුන්ගේ සිනමාශාලා වැසී යාමේ අවධානමක් තිබෙන බව ඔබ දන්නේද? එසේ වැසී ගියහොත් දේශීය සිනමාවේ වර්ධනය දැකීමට කැමති ඔබ සතුටු වන්නේද?

10. එම දුරබැහැර ප්‍රදේශවල සිටින සිනමා ප්‍රේක්ෂකයින්ට අලුත් චිත්‍රපටයක් තම ප්‍රදේශයේ සිනමාහලක නැරැඹීමට ඇති අවස්ථාව වළකා දැමීම ගැන ඔබගේ මතය කුමක්ද? ප්‍රේක්ෂකයින් සිනමාවෙන් ඉවත්වීම සිනමාවේ ප්‍රගතිය ද, අගතිය ද?

සොයුරු සිනමාකරුවෙනි, ඔබලාගේ ඇතැම් ප්‍රකාශවල සඳහන් කර ඇති අයුරින් මම කිසිවකුට ඊර්ෂ්‍යා කරන, කුහකකම් කරන අසාධාරණයක් කරන්නකු නෙවෙමි. මුදල් පසුපස හඹා යන ආත්මාර්ථකාමියකු ද නොවෙමි. මා එවැන්නකු නම් ඕස්ට්‍රේලියාවේ තිබූ පුරවැසිකම හා වෛද්‍ය වෘත්තිය අතහැර පෙරලා ලංකාවට විත් මෙතරම් අවධානමක් සහිතව චිත්‍රපට සැදිය යුතු නැත.

එබැවින් මම ඔබගේ ඇතැම් ප්‍රකාශවලින් හැඳීන්වීමට හදන මාදිලියේ පුද්ගලයෙක්දැයි සිතා බලන්න? කාලයත් සමඟ ඔබ මා තවත් හඳුනාගනු ඇත. මට ඔබ කිසිවකුත් සමඟ ඊර්ෂ්‍යාවක් හෝ වෛරයක් නැත.පිටපත් 35 යටතේ මගේ ආරයේ චිත්‍රපට කළ නොහැකි නිසා, මින් පසු මගේ අතින් චිත්‍රපට නිර්මාණය නොවිය හැක. එසේ වුවහොත් මා සමඟ කිසිවකුටත් තරගයක් නැත. මා ඔබ කිසිිවකුටත් ප්‍රශ්නයක් ද නොවනු ඇත.

නමුත් නීතිය පැනවීමට පෙර නිවෙස උකසට තබා ලබාගත් පොලී මුදලින් අධික පිරිවැයක් දරා නිමැයූ සිරිපැරකුම් චිත්‍රපටය කලින් සැලසුම් කර තිබූ අයුරින් ජනතාවට ප්‍රදර්ශනය කිරීම ගැන ඊර්ෂ්‍යා නොකරන්න. මෙසේ ප්‍රදර්ශනය වුවහොත් නිවස සින්න නොවී බේරා ගැනීමට හැකි වනු ඇතැයි මම සිතමි. නමුත් සිරිපැරකුම් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම කිසියම් සිනමාකරුවකුට අසාධාරණයක් වන්නේ යැයි මා ඉහත අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දී සනාථ කරන්නේ නම් නිවෙස සින්නවීම දෙවෙනි කොට ඔබලාගේ ඉල්ලීමට එකඟවීමට මම කැමැත්තෙමි.

සීමාව වෙනස් කිරීම අනුමත නොකරමු

පද්මසිරි කොඩිකාර සභාපති
දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය වෙනුවෙනි

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ස්ථාපිත කරන ලදුව ගරු අධිකරණය විසින් තහවුරු කරන ලද සිනමා කර්මාන්තයේ ගැටලු පිළිබඳ 2012 වසරේ මැයි මස දේශීය සිනමා ශිල්පීන්ගේ විධායක සභා රැස්වීමේ සාකච්ඡාවට අනුව සිනමාහල් අඩුව නිසා ඇති වී තිබෙන ප්‍රශ්නවලට කෙටි කාලීන විසඳුමක් වශයෙන් දේශීය චිත්‍රපට පිටපත් සංඛ්‍යාව 35 දක්වා අඩු කිරීමට යෝජනා ස්ථිර වූ අතර, පසුව මේ පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් ඇතුලු නිලධාරි මහතුන් දැනුවත් කළෙමු.

එහි ප්‍රතිඵලය වූයේ සිනමා කර්මාන්තයේ නියැළි සියලු දෙනාගේ යහපත වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව 2013. 01. 01 දින සිට ප්‍රදර්ශන පිටපත් 35 කට සීමා කිරීම පිළිබඳව 2012 ජූනි මස පුවත්පත් දැන්වීම් පළ කර අප කර්මාන්තයේ සියලු දෙනා දැනුම්වත් කිරීමයි.

මෙය අභියෝගයට ලක් කරමින් 2012 පෙබරවාරි මස එක් චිත්‍රපට නිෂ්පාදකයකු ජාතික චිත්‍රපට සංස්ථාවට එරෙහිව අධිකරණය වෙත ගොස් චිත්‍රපට සංස්ථාවේ තීරණය වෙනස් කරන ලදී.

ජාතික චිත්‍රපට සංස්ථාවේ තීරණයට මාලිනී ෆොන්සේකා මන්ත්‍රීතුමිය, අතිගරු ජනාධිපතිතුමාගේ සිනමා කර්මාන්තය පිළිබඳ උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය මහතා, දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානය, සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ඇතුළු විශාල පිරිසක් සහාය පළ කළ අතර, ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මෙම අධිකරණ කටයුතුª සඳහා රු, මිලියන දෙකකට වැඩි මුදලක් වැය කළේය. මේ අනුව ගරු අධිකරණයේ තීරණය වූයේ පිටපත් ප්‍රමාණය 35 කට සීමා විය යුතු බවයි.

චිත්‍රපට සංස්ථාවේ සහ දේශිීය සිනමා කර්මාන්තයේ වගකිව යුත්තන් සියලු දෙනාගේ අවශ්‍යතාවය නොසලකා හරිමින්, ගරු අධිකරණයේ තීරණයට එරෙහිව යමින් ඉහත කී චිත්‍රපට නිෂ්පාදකයා විසින් තමාගේ අවශ්‍යතාවය පමණක් ඉටුකර ගනිමින් චිත්‍රපට පිටපත් 55 ක් නිකුත් කර ප්‍රදර්ශනය කිරීම දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ බලවත් විරෝධය මෙයින් පළ කරමු.