වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර සමාරම්භක උළෙල ජූනි 03 දා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර සමාරම්භක උළෙල ජූනි 03 දා

ශ්‍රී ලංකාවේ නාට්‍ය, ශාස්ත්‍රීය, සිංහල සාහිත්‍යය, කලා ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් සේවයක් ඉටු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 2014 ජූනි මස 03 දිනට යෙදෙන්නා වූ ජන්ම ශත සංවත්සරය සඳහා කෙරෙන වැඩසටහනේ සමාරම්භක උළෙල ජූනි මස 03 වැනිදා පස්වරු 6.00 ට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමති ටී. බී. ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණ අලලා සකස් කෙරුණු සුසංයෝගීී රංගනයක් ද වේදිකා ගතවීමට නියමිතය.

1956 වසරේදී ‘මනමේ’ නව මුහුණුවරකින් ලාංකේය නාට්‍ය කලාවට හඳුන්වා දෙමින් නාට්‍ය කලාව නව මඟකට යොමුකළ සරච්චන්ද්‍රයන්ගේ ජන්ම දිනය යෙදී ඇත්තේ ජූනි 03 වැනිදාටය. එය මූලික කර ගනිමින් මෙම වර්ෂයේ ජූනි මස 03 වැනිදා දිනෙන් ඇරැඹෙන වර්ෂය ‘සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර වර්ෂය’ ලෙස නම් කර ඇත. එම වර්ෂය පුරා විවිධ අයුරින් අනුස්මරණ වැඩසටහන් ශ්‍රී ලංකා රජයේ හා යුනෙස්කෝ සංවිධානයේ සහභාගිත්වය ඇතිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ජීවන්, පුබුදු, බුද්ධික, හිමාලි සමඟ සුරංග ගෙන් ෆයර්

තමන්ගේ කුළුඳුල් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පවත්වන දවසේදීම තම දෙවන චිත්‍රපටයේ වැඩ ඇරැඹීමට නව පරපුරේ සිනමාකරු සුරංග ද අල්විස් සූදානම් වෙයි.

ජීවන් කුමාරණතුංග, පුබුදු චතුරංග, බුද්ධික ජයරත්න, හිමාලි සිරිවර්ධන ප්‍රධාන චරිත රඟනා මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ෆයර්’ යන නමිනි. සුරංගගේ පියා වන සරත් ද අල්විස් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරයි. රුවන් විජේරත්න සංස්කරණයෙන් ද, සජිත වීරප්පෙරුම කැමරාකරණයෙන් ද දායක වන මෙම චිත්‍රපටයේ තිර රචනය දුෂ්මන්ත බස්නායකගෙනි. ෆයර් නිෂ්පාදනය කරන්නේ අසංක අනුරුද්ධයි. සුරංගගේ කුළුඳුල් චිත්‍රපටය වන ‘රජ හොරු’ ළඟදීම තිරගතවීමට නියමිත අතර එහි ප්‍රධාන චරිතය රඟන්නේ රන්ජන් රාමනායක, අර්ජුන් කමලනාත් සහ බුද්ධික ජයරත්න යන රංගන ශිල්පීන්ය.

සිරි පැරකුම් අද සිට

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය වන ‘සිරි පැරකුම්’ අද (30 වැනිදා) සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ.

සිංහල සිනමාවට අලුත්ම තරු යුවළක් වන සෙනාලි ෆොන්සේකා හා අකිල ධනුද්දර හඳුන්වා දෙන්නේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙනි.

’සරෝජා’, ‘සූරිය අරණ’, ‘පුංචි සුරංගනාවි’, ‘සිරි රජ සිරි’ ආදී චිත්‍රපට රැසක් සිනමා රසිකයන්ට දායාද කළ ආචාර්ය සෝමරත්න දිසානායක මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ දඹදෙණි යුගයේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජුගේ ළමාවිය සම්බන්ධ ජනප්‍රවාද ඇසුරෙනි.

කලා ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ දෙදෙනකු ඉටි ප්‍රතිමා බවට පත්වන උත්සවයක් අද

අතුල හේරත් සහ පුතුගෙන් කාලෝ ෆොන්සේකා, සුනිල් එදිරිසිංහයන්ගේ ඉටි ප්‍රතිමා නිර්මාණය වේ

අද මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ පුද්ගලයින් දෙදෙනකුගේ ජීවමාන ඉටි ප්‍රතිමා යුවළක් නිරාවරණය කරන දිනයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ විශාරද සුනිල් එදිරිසිංහ එම වාසනාවන්ත කලාකරුවන් දෙදෙනාය.

අද (30) සවස 3.30 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් හි ඇති කෙටි උත්සවයකින් අනතුරුව මේවා විවෘත වනු ඇත.

මෙම ප්‍රතිමා අතුල හේරත් සහ ඔහුගේ පුතු මහීම හේරත්ගේ නිර්මාණයකි.

ඔවුන් මීට ප්‍රථම ආචාර්ය වික්ටර් රත්නායක, නිළි රැජන මාලිනිය සහ මහේන්ද්‍ර පෙරේරාගේ ඉටි ප්‍රතිමා නිමවා ඇත.

සමනල සිනමාශාලාව නවීකරණය වූ වගයි

එදා සැනසුම කොතැනද අද සිරිපැරකුම්

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකාගේ තිස්වැනි උපන් දිනයදා විවෘත කළ මැල්සිරිපුර සමනල සිනමා ශාලාව (1966 මාර්තු 21 වැනිදා) නවීකරණයට ලක්කරමින් අද දින (30 වැනිදා) පෙරවරු 10.30 ට සුබ මොහොතින් විවෘත කෙරේ. එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන්නේ දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායකයි. නව ප්‍රදර්ශනය ආරම්භ වන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක හා නිෂ්පාදිකා රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ‘සිරිපැරැකුම්’ චිත්‍රපටයෙනි.

එදා සමනල සිනමා ශාලාවේ ප්‍රථම වරට ප්‍රදර්ශනය කළේ කේ. ඒ. ඩබ් . පෙරේරාගේ ‘සැනසුම කොතැනද’ චිත්‍රපටයයි. එහි එදා හිමිකරු වන්නේ ජී. එච්. එඩ්මන්ඩ් සිල්වා මහතා වන අතර වත්මන් හිමිකරු වන්නේ ජී. එච්. නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මහතාය.