වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මං වඩා කැමැති නිහඬව ඉන්නටයි

මං වඩා කැමැති නිහඬව ඉන්නටයි

රත්න ශ්‍රී විජේසිංහ ‘උල්පත පාමුල’ ජුනි 02 දා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී
මුතු බණ්ඩා මාමණ්ඩිගේ කතාව මගේ හිත සංවේගයට පත් කළා

* මම කැමැතියි මුලින්ම මේ සුන්දර කතාබහ තෙල්ලඹුර ගම්මානයේ අව්‍යාජ සුන්දර ගැමි සුවඳ මතකයට නඟමින් අරඹන්නට.

ඇත්තෙන්ම ඒ මතකය මිහිරියි. තෙල්ලඹුර ගම්මානය පිහිටලා තිබෙන්නේ ගාලු නගරයේ සිට කිලෝ මීටර් විසි ගණනකට පිටිසරින්. අපේ ගම ඉතාමත් රමණීය නිස්කලංක පිවිතුරු තැනක්. මේ ගම පුරා මං දුව පැන ඇවිදපු අතීතය හරිම සොඳුරුයි. මම මුලින්ම පාසලට ගියේ ගමේ පාසලට. ඉන්පසුව දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු සඳහා විද්‍යා කාන්ති විද්‍යාලයට ඇතුළත් වුණා. තුන්වැනි පන්්තියේ අධ්‍යාපනයට මම ඇතුළත් වුණේ තෙල්ලඹුර දුටුගැමුණු විද්‍යාලයට. මෙහෙම වසර දෙකක් ගතවුණා.

මේ 1965 අවුරුද්ද. මං පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වෙන්නට සුදුසුකම් ලැබුවා. කුඩාකාලයේදීම මව්පියන් දෙදෙනාම මෙලොව අතහැර ගියා. ඒ නිසා මං වැඩිපුර ජීවිතය ගත කළේ නේවාසිකාගාරවල.

සුමංගල විද්‍යාලයේ නේවාසිකව ඉන්න කාලේ මං කවි ලියන්නට නැඹුරු වුණා. සුමංගලේ පරිසරය හරිම ලස්සනයි. ඒ පරිසරය මගේ හිතට කවිය, ගීතය වගේම සාහිත්‍යය කාවද්දන්නට බොහෝ සෙයින් ඉවහල් වුණා.

* ගීතාංජලී පුවත්පතට කවි ලියූ කොලු ගැටයා ළඟත් නවතිමු.

ඒ කාලේ මං ගීතාංජලී පුවත්පත කියවන්නට හුරු වී හිටියා. පත්තරේ විවිධ තරග තිබුණා. මට මතකයි එක් අවස්ථාවක චීත්තයකින් හැඩ වූ තරුණියක් ඔරු පදින දර්ශනයක් තිබුණා. මේ චිත්‍රයට කවියක් ලියන්නයි තිබුණේ. මං ලියූ කවිය තමයි ජයග්‍රාහී කවිය බවට පත් වුණේ. ඒ වෙනුවෙන් මට රු: 25 ක තෑග්ගක් ලැබුණා. මට ඒ කවිය අදටත් මතකයි.
 

මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගත

බොල් මුතුපට ගෙලෙහි හිල් කූඩයකි අත

කොල්ලෑවට නැඟී පෑවත් හිනා වත

කෙල්ලේ තව නුඹට ඔරු පැද පුරුදු නැත

මේ කවිය කියවපු සුමංගල විද්‍යාලයේ විදුහල්පතිතුමා රැස්වීමේදී මාව ඇගයීමට ලක් කළා. තවදුරටත් ලියන්නට ඒ ඇගයීම මට හොඳ උත්තේජනයක් වුණා. මේ දිරි ගැන්වීම් හරහා මම දිගටම ලියන්නට පටන් ගත්තා. සුමංගල විද්‍යාලයෙන් පසුව මම රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වුණා. මා ලියන කවි මහගමසේකරයන්ට යවන්නට මා හුරුව උන්නා. එතුමා මාව ඇගයීමට ලක්කොට ලිපියක් පවා ඒවා තිබුණා. මෙලෙස කලක් ගතවෙද්දී කවිය, ගීතය, සාහිත්‍යය මගේ ජීවිතයේ කොටසක් බවට පත්වුණා. ඒ කොටසට මං බොහෝ සෙයින් ආදරය කළා.

විද්‍යා විෂයයන් හැදෑරුවත් මගේ වැඩි ආදරයට ගෞරවයට පාත්‍ර වෙලා තිබුණේ කලාව. භෞතික විද්‍යාවට මගේ තිබුණේ අඩු ඇල්මක්. ඒ නිසාම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට මං ලියුවේ කවි.

* 1975 වසරේදී ඔබට ලැබෙන ගුරු පත්වීම ගැනත් කතා නොකරම බැහැ.

ඔව්. විද්‍යා විෂය ධාරාවට යටත් වෙලා මට විද්‍යා ගණිත ගුරු පත්වීමක් ලැබුණා. නමුත් මං දෙවැනි වතාවේ උසස් පෙළ සඳහා සිංහල අංශයෙන් විභාගයට පෙනී හිටියා. ඉන් සමත් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණා. පැමිණි බාධක සියල්ල මැඩගෙන මං සිංහල ගෞරව උපාධිය සමත් වුණා.

* මේ අතරතුර ඔබට වෙල්ලස්සට මාරුවක් ලැබෙනවා.

ඔව්. 1981 වසරේදීී මට මොනරාගලට මාරුවක් ලැබෙනවා. ඒ වන විට මා විවාහකයි. මොනරාගලට යද්දී ලොකු දූට අවුරුද්දයි. ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට තමයි මාරුව ලැබුණේ. මං එහේ යද්දී වැව් හිඳිලා, ගහකොළ වියැළිලා ගිය කර්කෂ කාලයක්. ඒත් ඒ දරුවන් වෙනුවෙන් මං මගේ රාජකාරිය ඉටු කළා.

මේ මාරුව ඇත්තටම මං ආශිර්වාදයක් කර ගත්තා. ඔක්කම්පිටියෙන් පස්සේ මට හුලංදාව නව කනිටු විදුහලට මාරුවක් ලැබුණා. (වර්තමානයේ මොනරාගල රාජකීය විද්‍යාලය). මං ගම්මානවල ඇවිදින්නට ගියා. බදුලුවෙල, කැරෑල, වගේ දුෂ්කර ගම්මානවල ජනශ්‍රැතිය හරිම රසවත්. අපි ඒ ජනශ්‍රැතිය තුළ ජීවත් වුණා.

එක් දවසක් ගම්මානයකදී මට අසූ වියැති අම්මා කෙනෙකු මුණ ගැහුණා. ඒ අම්මා මාව ගෙදරට එක්කන් ගියා. මේ ගෙදර තිබුණෙ තිඹිරිගෙයක්. දරුවන් ලැබෙන්නේ මේ තිඹිරි ගෙයි. මේ තිඹිරි ගෙයි බාල්කයක එල්ලූ දිගු කඹයක් තිබුණා. මේ අම්මා එය හැඳීන් වූයේ විලිරුදා කියලයි. මේ ගමනේදී ඒ අම්මා අපූරු කතාවක් කිව්වා. මේ තිඹිරි ගෙදරදී මැරෙන කාන්තාවෝ තමයිලු බෝදිලිමා වෙලා ඉපදෙන්නේ. බෝදිලිමා ගමට ආවම ගමේ කාන්තාවෝ පිරිමි ගෙට දාලා දොර වහලා ඉලපතක් අරන් එළියට බහිනවලු. ඉලපත පොළොවේ ගසමින් පරුෂ වචන කියමින් බෝදිලිමා එළවනවලු.

මේ ජනශ්‍රැතිය ඇතුළේ තිබුණ හුරුව මූලික සමාජයට කාන්තාව ප්‍රතිප්‍රහාර දක්වන ආකාරය කියල මට එදා හිතුණා. ඒ නිසා ඔවුන් බෝදිලිමා නිර්මාණය කරගත්තේ අපූරු ක්‍රමයකට.

මම මේ සියල්ල කැපකොට ගනිමින් බෝදිලිමා ගීතය නිර්මාණය කළේ හරිම අපූරුවට. ඒ වගේම කුකුළාවෙළ කිරි අම්මා කියලා වෙල්ලස්සේ කියන්නේ කුවේණියට. ‘මගේ කුකුලාපොළ කිරි අම්මියේ නුඹේ උණුසුම කොයි’ වගේ ගීත නිර්මාණය වුණේ ඒ ජනශ්‍රැතියෙන් මා ගත් අභාසයෙන්.

මේ ස්ථාන මාරුව නිසාම තමයි ‘මගේ බිසව්නේ අසාපන්’ වගේම ‘වංකගිරිය අරණේ’ ගීත නිර්මාණ වුණේ.

* කලකට පසු ඔබ සිංහල ගුරුවරයකු බවට පත්වෙනවා.

ඔව්. මගේ උපාධිය නිමා වී කලක් ගතවීමෙන් මම සිංහල ගුරුවරයකු ලෙසට ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයට පැමිණියා. ඉන්පසුව 1988 දී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය භාරව කටයුතු කළා. 1990 දී උණවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ ගුරුවරයකු ලෙසට සේවය කළා.

1994 වසරේ ඔබ පරිපාලන ක්ෂේත්‍රය සමඟ එක්වුණා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (මාධ්‍ය) තනතුර මට ලැබුණා. ඉන්පසුව විවිධ අමාත්‍යාංශවල තනතුරු හෙබවූවා. නමුත් මොන දේ ලැබුණත් මා කවිය, ගීතය, සාහිත්‍ය අතහැරියේ නැහැ. 2004 වසරේදී මගේ සේවය නතර කළා. අඩුම තරමින් මට විශ්‍රාම වැටුපවත් ලැබුණේ නැහැ. මාස දහසයක් මං වැටුප් නැතිව දුක් වින්ඳා. ඒ කාලේ තමයි මධ්‍යම යාමය පොත ලියුවේ. වත්මන් ජනාධිපතිතුමා තමයි මට මගේ විශ්‍රාම වැටුප හදල දුන්නේ.

* අප ජීවිතය ගැන බොහෝ දේවල් කතා කළා. වර්තමානයේ ගීතය නතර වී තිබෙන තැන ගැන කතා කරමු.

අද වන විට ගීතය නැවතිලා තියෙන්නේ මහා භයානක තැනක. අද හතු පිපෙනවා වගේ මොනවාදෝ නිර්මාණ හැදෙනවා. ඒවට ගීත කියලත් කියනවා. අද වන විට ප්‍රමාණාත්මකව ගීත බිහි වෙනවා. ඒත් ගුණාත්මක බව ඇත්තේම නැහැ. කොහේ රටකත් ප්‍රමාණාත්මක වැඩිවීමේදී ගුණාත්මක බව පිරිහීම සාමාන්‍ය සම්ප්‍රදායක්. කෙසේ වෙතත් අද ගීත කියලා ඉතිරි වෙලා තියෙන්නේ ශබ්ද ගොඩක් විතරයි. කතුවරයා මිය ගිහිං. මේක තමයි යථාර්ථය.

නමුත් ඉඳල හිටල ප්‍රියමනාප ගීයක් නොඇහෙනවාත් නොවෙයි. අද දක්ෂයින් නෑ කියලා මං කියන්නේ නැහැ.

* එහෙම නම් ඔබ කියන්නේ රැලිවලට හැමදේම යටපත් වෙලා කියලද?

මහ මුහුදේ ඕනෑ තරම් රැලි හට ගන්නවා. නමුත් ඒ රැලි තාවකාලිකයි. රැලි ඈතට ගහගෙන ගියාට වෙරළ නොසැලී ඉන්නවා. රැලි මිය ගියාට වෙරළ අමරණීයයි. දැන් බලන්න අමරදේවයන්ගේ ගීත කවදත් අමරණීයයි. ජෝති, මිල්ටන් හැමදාම අප අතර ඉන්නවා. විනෝද චාරිකාවක් ගියොත් අපි යන හැම තැනම මේ අයත් යනවා. දැන් තියෙන ගීත කට පාඩම් කරගන්න පුළුවන්ද? අඩුම තරමේ ඒ වචන මතකයේ තියා ගන්නවත් බැහැ. මේ රැලි කුණාටුවලට අපි කලබල විය යුතුª නැහැ. මේ රැලි අතරේ හොඳ දේවලුත් වෙරළට ගහගෙන එන්න පුළුවන්.

* කපුගේ, දිවුල්ගනේ වැනි ගායකයන්ට තමයි ඔබ වැඩිපුරම ගීත රචනා කොට තිබෙන්නේ. ඊට විශේෂ හේතුවක්, ගිවිසුමක් තිබුණාද?

නැහැ. මං බොහෝ ගායක ගායිකාවන්ට ගීත ලියා තිබෙනවා. වික්ටර් රත්නායක, අමරදේවයන්, බණ්ඩාර අතාවුද, චන්දන ලියනාරච්චි, අතුල ශ්‍රී ගමගේ, දමිත් අසංක වගේ අයට වගේම අප්‍රකට ගායකයන්ට මං ගීත රචනා කොට තිබෙනවා.

ඒ ගීත ඒ ගායකයන්ගේ සන්ධිස්ථාන වෙලත් තියෙනවා. උදාහරණ විදියට චන්දනගේ සුවඳ තියා, ජානකගේ කිරුළ මුතු ලිහිණි, නිරෝෂාගේ පුන්සඳ රෑට වගේ ගීත නවරැල්ලේ ජනප්‍රියම ගීත බවට පත්වුණා.

* මේ වනවිට සුභාවිත ගීතය ක්‍රමයෙන් වැළලී යන ලකුණු පහළව තිබෙනවා. ඒ තත්ත්වයට සටනක් දිය හැකි ඇතැමුන් ඈතට වී බලා හිඳින වගක් ද පෙනෙනවා.

ඔව්. ගිය වසරේ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරු 926 දෙනෙක් පිටවුණා. නමුත් ගිය වසරේ අපේ රටේ කවියෝ, ගීත රචකයෝ කී දෙනෙක් බිහිවුණාද? හොඳ ගීත කීයක් ඇහුණද? වෛද්‍යවරු, ඉංජිනේරුවෝ හදන්න පුළුවන්. ඒත් කලාකාරයෙක් හදන්න බැහැ.

හොඳ ගායකයෙක් අපට නිකං හදන්න බැහැ. ඒ වගේ කාලයක හොඳ ගීත ගැයූ ගායකයන් ඉන් මිදිලා ගිහිල්ලා වෙන ක්ෂේත්‍රවල නියැලෙනවා නම් ඒක කනගාටුවට කරුණක්. කලාව කරනවාට වඩා වෙනත් බොහෝ දේ ලැබෙන්නට පුළුවන්. නමුත් ඒ ආත්ම තෘප්තිය වෙන කොතැනකදීවත් මට ලැබෙන්නේ නැහැ.

* අපේ රටේ කර්තෘභාගය ගැන ඔබ තෘප්තිමත්ද?

මං මේ වන විට ගීත 3000 – 4000 ක් ලියලා ඇති. නමුත් මට කර්තෘ භාගය ලැබුණේ සිරස නාලිකාවෙන් විතරයි. ඔවුන් ගෙවන ගණන මං ගන්නවා. අනෙකුත් කිසිම තැනකින් මට කර්තෘ භාගය ලැබිලා නැහැ.

* ඔබ බොහෝවිට ජීවන අත්දැකීම් පදනම් කර ගනිමින් ගීත නිර්මාණ කරනු ලබන රචකයෙක්. ඒ අතරින් මිනින්දෝරු කන්තෝරුව සහ බිම්බරක් සෙනඟ ගීතයේ අත්දැකීම ඉතා රසවත් බව මා අසා තිබෙනවා.

‘මිනින්දෝරු කන්තෝරුව’ හරිම අපූරු අත්දැකීමක්. මම සමෘද්ධි අමාත්‍යාංශයේ සේවය කරන කාලයේ අනුරාධපුර, දඹුල්ල පාරේ සිවලාකුලම තෝඩාමඩු ගම්මානයට ගියා. අපේ රාජකාරි කටයුතු අතරතුර මට අධික තිබහක් දැනුණා. මම ඒ අසල තිබුණු ගෙදරකට ගියා වතුර ටිකක් බොන්න. ඒ ගෙදර මධ්‍යම පන්තියේ නිවෙසක්.

මේ ගෙදර එක් පැත්තක විශාල නුග ගහක් තිබුණා. මේ නුග ගහ පාමුල පහන් වැටක් ඉඳී කොට තිබුණේ හරිම පිළිිවෙළට. ඒ පහන් පැල අවට ලස්සනට මල් වවලා තිබුණා. මං එතනට යන මොහොතෙත් අසූ වියැති පුද්ගලයෙක් මේ බිම අමදිමිනුයි හිටියේ. මේ මාමණ්ඩිගෙ නම මුතු බණ්ඩා. මං මේ මාමණ්ඩිගෙන් වතුර ඉල්ලුවා. මාමණ්ඩි අපිට බඩ පිරෙන්න වතුර දුන්නා.

වතුර බීල අහවර වුණාම මං දැක්කා ලූනු වගයක් තිබෙනවා. අපි ලූනු ඉල්ලුවාම මුතුබණ්ඩා මාමණ්ඩි ලූනු වඩි දෙකක් පුරවලා දුන්නා. අපි සල්ලි දුන්නට ඒක තරහෙන් ප්‍රතික්ෂේප කළා.

මේ පහන් පැල මට දැන් ප්‍රශ්නයක්. මං ඇහුවා ‘මාමණ්ඩියේ මෙතන මොකද මෙච්චර ලස්සනට තියාගෙන ඉන්නේ’ කියලා. මේ තමයි මහත්තයෝ මගේ පවුල ඉන්න තැන කියලා මාමණ්ඩි හයියෙන් තාලයට ලස්සනට කවියක් කිව්වා.
 

‘කපා කොටා බටු තිබ්බටු සිඟිත්තේ

රන් මැණිකා අද නිදිදෝ කනත්තේ

මේ කවියත් එක්කම මාමණ්ඩිගේ දෑසට කඳුළු ඉණුවා.

‘මහත්තයෝ මට මගේ පවුල වෙනුවෙන් වතාවත් කොරන්ඩ ලැබෙන්නෙ තව ටික දොහයි’

මාමණ්ඩිය කිව්වේ කණස්සල්ලෙන්.

‘ඉතාම ඉක්මනට මේ ඉඩම මැනලා වෙන් කරන්න අපේ මලයගෙ දරුවො නඩුවක් දාලයි තියෙන්නේ. එතකොට මගේ පහළ ඉන්න තැන මායිමෙන් එහාට පනිනවා. ඊට පස්සේ මේ ගරු සැලකිලි කරන්ට ලැබෙන එකක් නෑනෙ මහත්තයෝ.

මුතුබණ්ඩා මාමණ්ඩිගෙ මේ කතාව මගේ හිතට ගෙනාවේ දැඩි සංවේගයක්. මේ කතාව ගීතයකට නඟන්න හොඳම තැන තමයි මිනින්දෝරු කන්තෝරුවෙ උදවිය ඉඩම මැනල මේ නුග ගහ එහා වත්තට අයිති වෙන්න විදිහට වැට ගහන තැන. මං ගීතය ලියුවා.

මුලින්ම ලියුවේ ‘සරුව ජනෙල් කන්තෝරුවෙ මූලාදෑනි ටික’ කියලා. සරුව ජනෙල් කිව්වේ ‘සර්වේ ජර්නල්’ කියන එක. නමුත් දිවුල්ගනේගේ ඉල්ලීම පිට හැමෝටම දැනෙන මිනින්දෝරු කන්තෝරුව කියලා යෙදුම භාවිත කළා.

බිම්බරක් සෙනඟ ගීතයත් බිහිවුණේ මේ වගේම අත්දැකීමකින්. දවසක් මං මොනරාගල ඉස්කෝලේ ඇරිලා යද්දී ගොවියෝ පිරිසක් කච්චේරිය වට කරලා උද්ඝෝෂණයක්. මේ උද්ඝෝෂණයට හේතුවෙලා තිබුණේ වෙල්ලස්සේ පාරම්පරික ඉඩම් වෙනත් සමාගමකට පැවරීම. මේ උද්ඝෝෂණයට මමත් එක්වුණා. ඒ පාරම්පරික උරුමකරුවන් වෙනුවෙන් ලියවුණු ගීතය තමයි බිම්බරක් සෙනඟ.

* ජූනි දෙවෙනිදා පැවැත්වීමට නියමිත උත්සවය ගැනත් කතා කරමු.

ඒ ගැන නම් අහන්න වෙන්නේ සම්මානි දුවගෙන් තමයි. මේ උත්සවය සංවිධානය කරන්න මූලික වුණේ එයා. උත්සවවලට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. මං නිශ්ශබ්දව ඉන්න කැමති කෙනෙක්. මේ උත්සවය ගැන වුණත් දුව මට කිව්වේ හැමදේම කරලා. ඒ නිසා මට කැමැති වෙන්නට සිද්ධ වුණා.

* ඔබ ඉන්නේ කලකිරීමකින්ද?

අනේ නැහැ. මගේ බිරියගේ වියෝව මට ප්‍රබල කම්පනයක් ගෙන දුන් කරුණක්. ඒ හැර වෙන කිසිම කම්පනයක් මගේ හිතේ නැහැ. ගෙවුණු හැම තත්පරයක් ගැනම මට තිබෙන්නේ සතුටක්.

* ඉදිරිය ගැන කතා කරමින් මේ කතාබහට තාවකාලික නැවතීමක් තබමු.

ඉදිරියේදී මගේ ජීවිත කතාව ලියන්නට හිතාගෙන ඉන්නවා. ඒ වගේම හැකි සෑම විටෙකම අපේ රටේ සාහිත්‍යය වෙනුවෙන් මෙහෙවරක් කරන්නට මා බැඳී ඉන්නවා.