වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශයේ දර්ශන තල ලංකාවේ ඉදි වූ හැටි

ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශයේ දර්ශන තල ලංකාවේ ඉදි වූ හැටි

ලංකාවේ රූගත කළ අපූරුව ගැන රවීන්ද්‍ර රන්දෙණිය සහ එරල් කෙලී කථා කරයි

චිත්‍රපටය හෙට සිට මෙරට තිරගත වේ

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන දීපා මෙහෙතාගේ නවතම සිනමා නිර්මාණය මිඩ්නයිඩ් චිල්ඩ්රන් හෙට සිට ලාංකේය රිදී තිරයෙත් දිග හැරෙන්නට නියමිතයි. දීපා මෙහෙතා අප වඩාත් සමීප වූයේ විශ්ව කිර්තියට පත් වෝටර් චිත්‍රපටයෙන්. මෙරටදී රූගත කළ වෝටර් චිත්‍රපටය සේම මිඩ්නයිට් චිල්ඩ්රන් චිත්‍රපටයත් අපට විශේෂිත නිර්මාණයක්. මෙරටදී රූ ගැන්වුණු මෙම දැවැන්ත නිර්මාණය අනභිභවනීය ලාංකේය සලකුණක් තබමින් සම්පූර්ණ කරන ලද්දේ ද ෆිල්ම් ටීම් ආයතනය විසිනි.

එම ආයතනයේ සභාපති ධූරය දරමින් ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, සමඟින් විධායක අධීක්ෂණය, නිෂ්පාදන සැලසුම්, උපදේශනය, දර්ශනතල ඉදි කිරීම සහ අයවැය සැලසුම්කරණය සිදු කරනු ලැබූයේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ප්‍රවීණ කලා අධ්‍යක්ෂ එරල් කෙලී, එන්ස්ලි ද සිල්වා, ගෝපි ධර්මරත්නම්ගේ ප්‍රධානත්වයෙන්. විදෙස් රටවල් තුනක අපූරු දර්ශන මෙරටදී ගෙනහැර දක්වමින් කළ ඒ අපූරු නිර්මාණය බිහි වීම පිළිබඳව සටහනක් තබන්නට ද ෆිල්ම් ටීම් ආයතනය සරසවිය සමඟ එක් වූ මෙහොතයි මේ. ප්‍රථමයෙන් අපේ කතාබහට එක් වුණේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය.

මිඩ්නයිට් චිල්ඩ්රන් කියන්නේ දැවැන්ත සිනමා නිර්මාණයක්. මෙම චිත්‍රපටය අපට ලැබෙන්න හේතු වුණේ දීපා මෙහෙතා විසින්ම කළ වෝටර් චිත්‍රපටයේ සාර්ථකත්වයයි. එහිදී ඉන්දියාවෙන් පැමිණි යම් යම් අවහිරතා නිසා එය ලංකාවට ගෙන ආ මොහොතේ ඉන්දියාවේ ගංගා නම් ගඟ මෙරටදී දැක්වීම පිළිබඳ ගැටලු පැන නැගුණා. අපේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂ එරල් කෙලී මෙහිදී සම්බන්ධ වෙලා බොල්ගොඩ ගඟ ආශ්‍රිත එම දර්ශන තල අපූරු ලෙස නිර්මාණය කළා.

ඇත්තටම බොහෝ අය විශ්වාශ කළේ නැහැ මෙය ලංකාවේ රූගත කළ බව. ඒ සාර්ථකත්වයේ විශ්වාසය මත තමයි මිඩ්නයිට් චිල්ඩ්රන් අපට ලැබුණේ. එහිදී අප සමාගම තරමටම එරල් කෙලීත් විශේෂ වුණා. මේ සඳහා අපට ආරාධනා ලැබෙන විට අපි මාලදිවයිනේ වෙනත් නිර්මාණ කටයුත්තක නිරත වෙලා හිටියේ. මේ පිළිබඳ වූ විශ්වාසය නිසාම දීපා මෙහෙතා මහත්මිය සති තුනක් පමණ සිය නිර්මාණ කටයුත්ත කල් දමන්නත් තීරණය කළා.

1947 වසරේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම, එදින මධ්‍යම රාත්‍රියේ උපත ලබන සුවිශේෂ දරුවන් දෙදෙනකු සහ පාකිස්ථානය වෙන් වී බංග්ලාදේශය නිර්මාණය වීම සමඟ 1974 වර්ෂය දක්වා දිවෙන අපූරු කතා පුවතක් මෙහි ඇතුළත් වෙනවා. එහිදී ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවල් තුනේම දර්ශන තල අපට වුවමනා වුණා. එය අපට කොළඹ නගරය තුළින්ම සොයා ගන්න හැකියාව ලැබුණා. ඇත්තටම එය සුවිශේෂ කාරණාවක්. අද වන විට නවීකරණයට ලක්ව තියෙන කොළඹ නගරය තුළ තවම අතීත නගරයක් තියෙනවා. මේ නිර්මාණයේදී අපට එය සුන්දර ලෙස යොදා ගන්න අවස්ථාව ලැබුණා.

මිඩ්නයිට් චිල්ඩ්රන් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කෙරෙන්නේ 2011 වසරේදී. කොහොමද මේ කොළඹ නගරයෙන් 1947 කාල වකවානුවේදී ඉන්දියාව ඇතුළුව පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් ඉස්මතු කර ගත්තේ? මේ පැනයට පිළිතුර අපේක්ෂා කළේ ද ෆිල්ම් ටීම් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රවීණ කලා අධ්‍යක්ෂ එරල් කෙලී ගෙනි.

2008 වසරේදී තමයි අපට මේ සඳහා ආරාධනා ලැබුණේ. වෝටර් චිත්‍රපටය නිර්මාණය කිරීමේදී තිබූ සබඳකම තමයි මෙයට හේතු වුණේ. මෙහි ඇතුළත් 1947 සිට 1970 ගණන් දක්වා දිවෙන කාලය තුළ ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලා දේශයේ දර්ශන තල අපට නිර්මාණය කරන්න සිදු වුණා. මුලින්ම චිත්‍රපටයේ නිෂ්පාදක ඩේවිඩ් හැමිල්ටන් අපට කිව්වෙ, දර්ශන තලවල ඡායාරූප ලැබෙන්න සලස්වන්න කියලා. අපි කොළඹ, නුවර, ගාල්ල, නුවරඑළිය වැනි ප්‍රදේශ නිරීක්ෂණය කළ පසු වැටහුණා මේ සඳහා අවශ්‍ය පසුතල අපට කොළඹ අවටින් හොයාගන්න පුළුවන් කියලා. නිර්මාණය පුරාවට කළ රූගත කිරීම්වලදී කාශ්මීරයේ එළිමහන් දර්ශන පමණක් අපට කාශ්මීරයට ගොස් රූගත කරන්න සිදු වුණා.

ශ්‍රී ලංකාව තුළදී කොහොමද ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශයේ දර්ශන මවන්නට හැකි වුණේ?

කොළඹ කොටුවේ පැරැණි ගොඩනැගිලි, පරණ නව නගර ශාලාව, කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, මරදාන දුම්රිය ස්ථානය, වැලිකඩ බන්ධනාගාරය, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය වැනි ස්ථාන රැසක් මෙහි දර්ශන තල වුණා. අපි ඒවා ඒ ඒ රටවලට අදාළ ලෙස සැකසුවා.

නාම පුවරු, වාහන, වාහන අංක තහඩු පවා ඒ කාලයට ගැළපෙන අන්දමින් යොදා ගත්තා. එක් දර්ශනයක් වෙනුවෙන් උදෑසන දී මරදාන දුම්රිය ස්ථානය ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානය ලෙසත් රාත්‍රියේදී පාකිස්ථානයේ දුම්රිය ස්ථානයක් ලෙසත් යොදා ගත්තා. එහිදී නාම පුවරු, ජනතාවගේ ඇඳුම් පැලඳුම් වැනි හැම දේම ඉතා සියුම් ලෙස වෙනස් කළා.

මුඩුක්කු නිවාස ගිනි තබා විනාශ කරන දර්ශනයක් මෙහි ඇතුළත් වෙනවා. එය තමයි අපට අභියෝගාත්මකම අවස්ථාව වුණේ. ඒ සඳහා අපි මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගනයට නුදුරින් පිහිටි කුඩා පිට්ටනියක් යොදා ගත්තා. අපි එහි මුඩුක්කු නිවාස ඉදි කළේ අවට තියෙන මුඩක්කු නිවාසවලට ගැළපෙන ආකාරයෙන්මයි. එහි දර්ශන දකින ඔබට ඒ දෙවර්ගය වෙන්කරලා නම් හඳුනා ගන්න නොහැකි වේවි. කොහොම හරි අපි මේ නිවාස ගිනිබත් කළ යුතු වුණා. එහි අභියෝගය වුණේ සත්‍ය නිවාසවලට හානියක් නොවන පරිදි මෙය කළ යුතුවීමයි. අපි ඒ දර්ශනයත් අපූරු ලෙස රූගත කළා. ඒ කාලය පුරාවටම ගිනි නිවන හමුදාව සීරුවෙන් හිටියා. මේ අවස්ථාවේ මම ඔවුන්ට ස්තුති කරන්න කැමැතියි.

ඔබ මීට පෙර වෝටර් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළත් එහි නාමාවලියට ඔබේ නම වෙනුවට වෙනත් අයකුගේ නමක් ආදේශ වී තිබුණා. මම කැමැතියි ඒ ගැන ඔබේ අදහස දැනගන්න?

ඔව්. එහෙම දෙයක් සිදු වුණා. ඒ පිළිබඳ ඔවුන් පැහැදිලි කිරීමක් කළා. ඔවුන් එහෙම කළේ අසාධාරණයක් කිරීමට නොවෙයි. වෝටර් චිත්‍රපටය කැනඩා නිර්මාණයක්. ඒ වෙනුවෙන් එරට රජය විසින් යම් මුදල් ප්‍රමාණයක් වැය කරනවා. ඒ අනුව එහි අධ්‍යක්ෂ, ප්‍රධාන කැමරා ශිල්පියා, කලා අධ්‍යක්ෂ, වේශ නිරූපණ ශිල්පියා වැනි අංශ එරටේ අය විය යුතුªයි. මේ නිසා තමයි මෙවැනි සිදුවීමක් සිදු වුණේ. නමුත් දීපා මෙහෙතා මහත්මිය සමඟ මගේ හිතවත්කම මෙයින් පලුදු වුණේ නැහැ.

මෙම දැවැන්ත නිර්මාණයේ නිෂ්පාදන ගණකාධිකාරි සහ ප්‍රචාරක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ ගෝපි ධර්මරත්නම් විසින්.

මෙම නිර්මාණයට සම්බන්ධවීමට ලද අවස්ථාව ගැන ඔබට මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. ඇත්තටම දීපා මෙහෙතා ද ෆිල්ම් ටීම් සමාගම පිළිබඳ තැබූ විශ්වාසය නිසා තමයි මෙය අපට ලැබුණේ. ඇය ටොරොන්ටෝ සිනමා උළෙලේදී පවසා තිබුණේ, ද ෆිල්ම් ටීම් නොමැති නම් මේ පරිද්දෙන් සාර්ථකව මිඩ්නයිට් චිල්ඩ්රන් චිත්‍රපටය නිර්මාණය කරන්න නොලැබෙනු ඇති බවයි. 29 වැනිදා මෙරටදී තිරගත කිරීම ආරම්භ කෙරෙන මෙම චිත්‍රපටය අප්‍රේල් 26 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ තිරගත වීමටත් සූදානම්. ඊට අමතරව තවත් රටවල් 40 කට අධික සංඛ්‍යාවක තිරගත කරන්න නියමිතයි. මේ කාර්යයේදී අපි පෙන්නුම් කළේ ශ්‍රී ලංකාවයි. මේ නිර්මාණයේ සාර්ථකත්වය ගැන ආඩම්බරයි. ඊට අමතරව තවත් දැවැන්ත විදේශීය චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී එම චිත්‍රපට මෙරටදී රූගත කරන්න ද ෆිල්ම් ටීම් ආයතනය බලාපොරොත්තු වෙනවා.

ඔබෙන් දැනගන්න කැමැතියි මෙම නිර්මාණ කාර්යයේදී ලද සහයෝගය ගැනත්? මම හැරුණේ නැවතත් රවීන්ද්‍ර රන්දෙණිය දෙසට.

රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික ආයතනවලිනුත් අපට ඉතා හොඳ සහයෝගයක් ලැබුණා. ඒ සහයෝගය තමයි වැදගත් වෙන්නේ. 1974 බංග්ලාදේශයේ නිදහස් සමරු පෙළපාලිය රූගත කරන්න අවශ්‍ය වූ මොහොතක ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ලද සහයෝගය ඉතා සුවිශේෂයි. එහිදී 1974 කාල වකවානුවට අදාළ යුද ටැංකි සොයා ගත යුතු වුණා. ඇත්තටම තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය පරාජය කළ අප රට සතුව තියෙන්නේ නවීන යුද උපකරණ. නමුත් යුද හමුදා අංශ අපට විශාල සහයෝගයක් ලබා දෙමින් ඔවුන් ප්‍රදර්ශනයට තබා තිබූ පැරැණි යුද ටැංකි අපට නැවත සකස් කරලා දුන්නා. එම සමරු පෙළපාලිය රූගත කළෙත් කොළඹදී. එහිදි පොලිස් දෙපාර්තමේන්තුව අපට ලබා දුන් සහායත් සුවිශේෂයි. ඒ වගේම ගුවන් හමුදාව, කොළඹ නගර සභාව, සංචාරක මණ්ඩලය, චිත්‍රපට සංස්ථාව දුන් සහයෝගයත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ.

රවීන්ද්‍ර, යෝගි, එරල් සහ එන්ස්ලි

අද වන විට මේ සඳහා ලැබෙන ප්‍රතිචාර විශිෂ්ටයි. බොහෝ දෙනා පවසන්නේ මෙය නම් ශ්‍රී ලංකාව තුළ රූගත කළ සිනමා නිර්මාණයක් කියා සිතන්නවත් නොහැකි බවයි. ජාත්‍යන්තර විචාරකයන් පවා පවසා තිබුණේ මෙවැනි චිත්‍රපටයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්න හැකි නම් මෙරටදී රූගත කළ නොහැකි චිත්‍රපටයක් නොමැති බවයි. කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී සිනමාත්මක චිත්‍රපට බිහි වෙන්නේ අපේ රටේ පමණයි. අද වන විට බොහෝ දෙනා ජාත්‍යන්තරය සමඟ කටයුතු කරලා තම හැකියාවන් ලොවටම පෙන්වලා තියෙනවා.

මීට අමතරව අප සමාගමක් විදියට තවත් දැවැන්ත සිනමා නිර්මාණ බිහි කළා කිසිම ප්‍රමාදයක් නොමැතිව ඕනෑම කාර්යයක සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපෑම් කරන්නේ නිසි කළමනාකරණය සහ දැනුමයි. මෙම මිඩ්නයිට් චිල්ඩ්රන් චිත්‍රපටයේ පවා සමහර දර්ශන සඳහා 2000 ට අධික පිරිසක් සහභාගි වූ අවස්ථා තිබුණා. නමුත් අපි ක්‍රමානුකූලව නිසි වෙලාවට ඒ සියල්ල නිවැරදිව ඉටු කළා. නිෂ්පාදනයේ සුළු හෝ අතපසුවීමක් සිදු වුණොත් ඕනෑම නිර්මාණයක ගුණාත්මක බවට හානිදායක වෙනවා. නිවැරදි සැලසුමත් නිර්මාණය සාර්ථකත්වය කරා ගෙන යනවා. ඒ අනුව මිඩ්නයිට් චිල්ඩ්රන් සිනමා නිර්මාණය සාර්ථක නිමාවකින් පසු ලාංකේය ප්‍රේක්ෂක ජනතාව අතරට පැමිණෙන්න සූදානම්.