වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ මිනිස්සුන්ට මං හරිම ආදරෙයි

ලංකාවේ මිනිස්සුන්ට මං හරිම ආදරෙයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිදුහත් කුමරු ගගන් මලික් සමඟ සංවාදයක්

දුෂ්කර ක්‍රියා වෙනුවෙන් කිලෝ අටකින් මගේ බර අඩුකරගත්තා

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා සිත්තම ආදායම් වාර්තා තබමින් මේ දිනවල දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වෙනවා.

මෙම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරුගේ උප්පත්තියේ සිට සම්බුද්ධත්වයට පත්වීම දක්වා වූ සුවිශේෂ සිදුවීම් අපූරු ලෙස පෙළ ගස්වා තියෙනවා. වසර 2635 ටත් එහා වූ අතීතයක සිදු වූ මේ සුවිශේෂ පූජනීය සිදුවීම් මනඞකල්පිත චිත්‍ර ලෙස දකිමින් සිටින අප හට මෙවැනි සිනමා පටයකින් දකින්න ලැබීමත් වාසනාවක්. එසේම ලොව පුරා බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ උතුම් වූ පූජනීය චරිතයක් නිරූපණය කරන්න ලැබීමත් කෙතරම් නම් වාසනාවක්ද?

ශ්‍රී සිද්ධාර්ථ චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරුගේ චරිතය නිරූපණය කරන්න වාසනාවන්ත වුණේ ඉන්දීය ජාතික රංගන ශිල්පියකු වූ ගගන් මලික්. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් මේ දිනවල ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳින ගගන් ගෙන් අපි මුලින්ම ඇහුවේ මෙවැනි චරිතයක් නිරූපණය කරන්න ලැබුණ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ කියලයි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරුගේ චරිතය ලැබීම මගේ රංගන ජීවිතයේ ලද විශාල වාසනාවක්. සිද්ධාර්ථ චරිතය ලොව පුරා සිටින බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ චරිතයක්. මෙවැනි පූජනීය චරිතයක් නිරූපණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් මට ලැබුණ මේ දුර්ලභ අවස්ථාවට මම මගේ හැකි පමණ උපරිම උනන්දුවෙන් රංගනයේ යෙදුණා.

ඉන්දීය ජාතිකයෙක් වන ඔබට ශ්‍රී ලංකාවේ මෙවැනි නිර්මාණයක් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

එක දීර්ඝ කතාවක්. චිත්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්න මහත්මා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගන්න ඉන්දියාවට ආවා. එහිදී සිද්ධාර්ථ චරිතයට තෝරා ගත් 300 දෙනකු අතරින් ඊළඟ වටයේ සිය දෙනා අතරට පැමිණෙන්න මට හැකි වුණා. ඉන් අනතුරුව තෝරාගත් අවසන් තිදෙනා අතරට එන්න සුදුසුකම් ලබා ගන්න මට අවස්ථාව ලැබුණා. ඒ වෙනකොටත් සිද්ධාර්ථ චරිතයම නැතත් මට මේ නිර්මාණයේ චරිතයක් හිමි වෙනවා කියලා නිෂ්පාදකවරයා පැවසුවා. ඉන් පසුව අපි තුන් ;දනාම ලංකාවට ආවා. ලංකාවේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් තමයි අවසාන තෝරා ගැනීම සිදු කෙරුණේ. මීට පෙර ඉන්දියාවෙත් සිදුහත් චරිතය ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය වුණත් ඒවා සාර්ථක වුණේ නැහැ.

අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා ඇතුළුව මෙරට ශිල්පීන් සමඟ වැඩ කටයුතු කිරීම ඔබට දැනුණේ මොන විදියටද?

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කියන්නේ ගොඩක් ලස්සන ගෞරවනීය ලෙස කළ නිර්මාණයක්. අධ්‍යක්ෂවරයා ගැන මට ගොඩක් සතුටුයි. ඔහුගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේමයි නිෂ්පාදකවරයා මුදල් ගැන නොවෙයි, නිර්මාණයේ ගුණාත්මකභාවය ගැනයි හිතුවේ. ඒ නිසාම තමයි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය මේ තරම් සාර්ථකත්වයක් හිමි කර ගත්තේ. විශේෂයෙන් කියන්න ඕනෑ අපේ කණ්ඩායම හොඳ කණ්ඩායම් හැඟීමකින් කටයුතුª කළා. මට මෙහි රූගත කිරීම් ආරම්භ කරන විට හිතට විශාල ශක්තියක් දැනුණා. එයට හේතුව ලංකාවේ ජනතාව. ඔවුන්ගේ පූජනීයත්වයට පත් සිද්ධාර්ථ චරිතයට පණ පොවන්න ඒ ආශිර්වාදයම මට විශාල ආත්ම ශක්තියක් වුණා.

රූගත කිරීමේදී අපහසුතාවට එහෙමත් ලක්වෙන්න ඇති නේද?

අපහසුතාවලට ලක් වුණා කියල නම් කියන්න බැහැ. කැලයේ රූගත කිරීමේදී මැසි මදුරු උවදුරුවලට ලක් වුණා. සමහර අවස්ථාවලදී ඇවිදගෙන යන විට කටු පඳුරුවලට, ගල්වලට කකුල් තුවාල වුණු අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවලදී ප්‍රතිකාර කිරීමට විශේෂ වෛද්‍යවරයෙක් පවා වෙන් කරලා තිබුණා. දුෂ්කර ක්‍රියා කරන අවස්ථාව නිරුපණයට මට ඉළ ඇට පේන තෙක් කෙට්ටු වෙන්න සිදු වුණා. ඒ සඳහා මගේ බර කිලෝග්‍රෑම් 8කින් අඩු කර ගත්තා.

ඔබ හින්දු භක්තිකයෙක්. මෙවැනි අවස්ථාවක් හිමිවීමත් සමඟ ඔබ බුද්ධ ධර්මය පිළිබඳ හැදෑරීමක් කළාද?

මම උප්පත්තියෙන්ම හින්දු භක්තිකයෙක්. මේ චරිතය ලැබුණ අවස්ථාවේදී මම බෞද්ධ පොත පත පරිශීලනය කළා. චීන ජාතික ස්වාමීන් වහන්සේ නමක් මට බෞද්ධ දර්ශනය පිළිබඳ කියලා දුන්නා. ඒ වගේම භාවනා ක්‍රම පිළිබඳ හැදෑරීමකුත් කළා. ඇත්තටම භාවනා කරන්නේ නැතුව එවැනි දර්ශනයක් නිරූපණය කිරීම සාර්ථක වෙන්නේ නැහැ. මම සිද්ධාර්ථ චරිතයට ලෑස්ති වුණේ විශාල ගෞරවයකින්. මම සැබෑ ජීවිතයේදී කොහොමත් මතින්, දුමින් තොර පුද්ගලයෙක්. මේ චරිතය නිරූපණය කිරීමේ අවස්ථාව ලැබුණාම මම මස් මාළු කෑම පවා අත් හැරියා. මගේ කාමරයේ බුදුරජාණන් වහන්සේගේ පින්තූර අලවලා තියෙන්නේ. උදේ නැගිටින්නෙත් රෑට නින්දට යන්නෙත් ඒ දිහා බලාගෙන. රූගත කිරීම් අරඹනවිමට අමුතු බලයක් මගේ ශරීරයට දැනෙන්න ගත්තා. ඒ විදියට තමයි මම මේ චරිතයට සූදානම් වුණේ.

මේ නිර්මාණයට අමතරව ඉන්දියාවේදී ඔබේ දායකත්වය ලද තවත් නිර්මාණ ගැනත් සඳහන් කරමු?

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම මගේ රංගන ජීවිතයේ පළමු චිත්‍රපටය. මීට පෙර ඉන්දියාවේදී ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙන් පසු මට එරට ටෙලි නාට්‍ය මාලාවකට ආරාධනා ලැබිල තියෙනවා. එයත් පූජනීය චරිතයක්. රාමායනය කතාවේ රාම කුමරුගේ චරිතය තමයි මම එහිදී නිරූපණය කරන්නේ.

ඔබේ පවුලේ තොරතුරු?

මම ඉපදුනේ නවදිල්ලියේදී. දැන් පදිංචි වෙලා ඉන්නේ මූම්බායි නගරයේ. අපේ පවුල ව්‍යාපාරික පවුලක්. මම විවාහකයි. බිරිඳ පූජා. ඇය මගේ මවුපියන් සමඟ මූම්බායි නගරයේ ජීවත් වෙන්නේ.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය තිරගතවීමත් සමඟ ඔබට ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරන්න ලැබුණා. ඒ ගැන වගේම ලංකාවේ ජනතාව ගැනත් මොකද හිතෙන්නේ?

ලෝකයේ තියෙන රටවල්වලින් ලංකාව හොඳම රටක්. ඒ වගේම ගොඩක් සුන්දර රටක්. මෙහිදී මම වැඩි වශයෙන් ගියේ පන්සල්වලට. ඒ තැන්වල තියෙන නිස්කලංකභාවයට මම ගොඩක්ම පි‍්‍රය කරනවා. අනුරාධපුරය, දඹුල්ල, දළදා මාලිගාව වැනි පූජනීය ස්ථාන රැසකටම මට යන්න අවස්ථාව ලැබුණා. දළදා මාලිගාවට ගිය අවස්ථාවේදී මගේ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනුණා. ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගෙන් මට ලැබුණු ආදරය ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. මම එනවා කියලා දැනගත්තම ඔවුන් මම එනතෙක් පැය ගණන් බලාගෙන ඉඳලා තියෙනවා. මෙරට ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ චරිතයක් නිරූපණය කරන්න ලැබීම ගැන මට ආඩම්බරයි. ඔවුන් සිද්ධාර්ථ චරිතයට දක්වන ගෞරවය නිසයි මටත් මේ තරම් ප්‍රතිචාරයක් ලැබිල තියෙන්නේ. මම ඔවුන්ට ගොඩක් ආදරෙයි.

ඉදිරිය ගැනත් විස්තර ටිකක් කියමුද?

අසරණ තත්ත්වයට පත්වෙලා සිටින මිනිසුන් වෙනුවෙන් ඔවුන්ට සහනයක් සලසන්න විශේෂ ව්‍යාපෘතියක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ලොව පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වන මෙය මම ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවෙන්. එළැඹෙන වෙසක් සමයේ්දී එය නිවේදනය කරන්න කටයුතු යොදලා තියෙන්නේ. මුදල් අපහසුතා ඇති අයට උපකාර කිරීම, මත් ද්‍රව්‍ය වැනි විවිධ උවදුරුවලට ලක් වූ අය ඉන් මුදවා පුනරුත්ථාපනය කිරීම වැනි වැඩ පිළිවෙළ රැසක් මෙම ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අසරණ වෙලා ඉන්න මිනිසුන්ට ඔවුන් තනිවෙලා නොමැති බවත් හිතට සවියක් වෙන අරමුණත් මෙහි ප්‍රධානයි.

සිද්ධාර්ථ චරිතය ගෞරවයට පාත්‍ර වූ පූජනීය චරිතයක්. යළිත් මෙවැනි චරිත සඳහා ආරාධනා ලැබුණොත් භාර ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් හාස්‍යමය නිර්මාණ, බොළඳපෙම් චරිත නිරූපණය කරන්න නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ.