වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක් - සල්මන් අමනාපය දුර දිග යයි

ෂාරුක් - සල්මන් අමනාපය දුර දිග යයි

ෂාරුක් - සල්මන් දෙදෙනාම ලෝකයේම හදවත් දිනාගත් අයයි. එහෙත් මේ දෙදෙනාගේ හදවත් එකිනෙකා කෙරෙහි කෝපයෙන් පිරී පවතී.

කලකදී හොඳම මිතුරන් වූ දෙදෙනා කලකදී සතුරු වූයේ කෙසේද? ඒ පිළිබඳ වරින්වර විවිධ පුවත් මාධ්‍යයෙන් ගෙන ආවේය. එහෙත් මේ නොමනාපයේ තිත්ත ඇත්ත මෙයයි.

‘කරන් අර්ජුන්’, ‘කුච් කුච් හෝතා හේ’ වැනි සිනමාපටවල අයියයි මල්ලියි මෙන් සමගි සමාදානයෙන් රඟපෑ දෙදෙනා සතුරු කළ දිනය උදාවුණේ 2008 ජූලි 17 වැනිදායි. ඒ කත්‍රිනා කායිෆ්ගේ උපන් දිනයට පසු දිනයයි. කත්‍රිනා සල්මන්ගේ පෙම්වතිය ලෙස හද දිනාගෙන සිටි මේ කාලයේ ඇය වෙනුවෙන් පැවැත් වූ උපන් දින සාදයේදී ෂාරුක්, අයිශ්වර්යා රායි බච්චන් මතක් කරමින් විහිළුකර තිබේ. ෂාරුක්ගේ විහිළුව කෙතරම් ඇස් රතු කරන විහිළුවක් වූවා ද කිවහොත්, සෑම රූපවාහිනී චැනලයකින්ම ආරාවුල ගැන විවිධ පුවත් විකාශයකර ඇත.

සිද්ධිය සමථයකට පත් කිරීමට ෂාරුක්ගේ බිරිය ගෞරී සහ සල්මන්ගේ පෙම්වතිය කත්‍රිනා ඉදිරිපත් වුණත් ඛාන් මිතුදම යථා තත්ත්වයට පත් නොවුණි. පසුව සල්මන් ඛාන්, ෂාරුක්ට ඔහුගේ ‘මේන් ඕර් මිසිස් ඛන්නා’ සිනමාපටයේ විශේෂ දර්ශනයකට පෙනී සිටීමට ආරාධනාකර තිබේ. ෂාරුක් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අමනාපය තවත් දුරදිග ගියේය.

සියල්ලටම මුල කත්‍රිනා වෙනුවෙන් පැවැත් වූ උපන් දින සාදයේදී දෙදෙනාම මධුවිතෙන් මත් වී සිටීම බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ කාලයේ දෙදෙනාම රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කළ අතර සල්මන් සිය වැඩසටහනින් ෂාරුක්ගේ සිත රිදෙන බොහෝ කථා පැවසුවේය. තවමත් මේ නොමනාපයේ කෝප ගින්න නොනිවී පවතී.

සියල්ලන්ම බලා සිටින්නේ දෙදෙනා අයියයි මල්ලියි මෙන් සමගි සන්ධානයෙන් සිටින දිනය එළැඹෙන තුරුයි. එහෙත් ඒ දිනය උදාවන කාලය නම් පෙනෙන තෙක් මානයකවත් නැත. සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් ගේ තාරකා මිතුරියන් සමඟ රඟපෑම පවා ප්‍රතික්ෂේප කරන්නේය.

මෑතකදී ප්‍රියංකා චොප්රාගේ නම ‘කික්’ සිනමාපටයේ සල්මන්ගේ ආදරවන්තිය චරිතයෙන් ඉවත් කිරීමට ඔහු ක්‍රියා කළ බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ වෙනුවට දීපිකා පදුකෝන්ගේ නම ඔහු යෝජනා කළේය. දීපිකා සමඟ රඟපෑමට සල්මන් ඉතා කැමැත්තෙන් සිටින බව ද කියවෙයි. ප්‍රියංකා නිතර සල්මන්ගේ නිවෙසට ගිය ද ඒ සල්මන් හමුවීමට නොවෙයි. ඔහුගේ මිතුරියන් මුණගැසීමටයි.

මේ අතර සල්මන් ඛාන් ඩුබායි නගරයෙන් නිවෙසක් මිල දී ගැනීමට ද බලාපොරොත්තුවෙන් සිටින්නේය. ඊට හේතුව ෂාරුක්ට ද ඩුබායි නගරයේ නිවෙසක් තිබීම විය හැකියි. අභිෂේක් සහ අයිශ්වර්යා යුවළ ද ඩුබායි නිවෙසක හිමිකරුවන්ය.

මූම්බායි රූගත කිරීම් නැති සෑම මොහොතකම ඩුබායි හි ගත කිරීමට සල්මන් බලාපොරොත්තු වෙයි.

සංජේ දත් සිරගෙට

නර්ගීස්, සුනිල් දත් බොලිවුඩයේ බැබළුණු සුදු චරිත දෙකකි. සංජේ දත් මේ අමරණීය චරිත දෙකේ රංගනයේ පරමාදර්ශයක් වුවත් චරිතය නම් කැළැල් කරගත්තේ මාපියන් ජීවත්ව සිටියදීය. මත්ද්‍රව්‍ය ගැනීම නව යොවුන් වියේදී ඔහුට එල්ල වුණු චෝදනාවයි. ඉන් පසු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිරන්තර සැකකාරයකු වූ ඔහු වරින් වර සිර අඩස්සියට ගැනුණේ සිරගෙදර, නිවෙස තරමටම හුරු පුරුදු තැනක් කරමිනි.

පනස් තුන් හැවිරිදි සංජේ රංගනයෙන් ජය ලැබුවත්, 1993 දී මූම්බායි ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාව නිසා ඔහුගේ ජීවිතය වරින් වර පරාජයට පත් විය.

මිලිමීටර් 9 ක පිස්තෝලයක් සහ ඒකේ – 56 රයිෆලයක් ළඟ තබා ගැනීමේ වරද යළි යළිත් ඔහු පිට පැටවුණේය. දැන් එම නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් වී අවසන්ය. ඒ අනුව පස් වසරක සිර දඬුවමක් විඳීමට ඔහුට සිදු වෙයි.

අපරාධයේ දරුණුකම කෙතරම් ද කිවහොත් පරිවාස භාරයේවත් ඔහු නිදහස් කිරීමට නීතිමය අවසරයක් නැත.

සංජේගේ ජීවිතය අමිහිරි අත්දැකීම් එකතුවකි. ඔහුගේ මුල්ම චිත්‍රපටය රොකී (1981) පූර්ව දර්ශනයට දින තුනක් තිබියදී මව නර්ගීස් පිළිකාවකින් මිය ගියාය.

සංජේ දත්ට අතිශය ජනප්‍රියත්වයක් ගෙන දුන් කල්නායක් (1993) තිරගතවීමට සති තුනකට පෙර ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. එහි රංගනයට ඔහු හොඳම නළුවා ලෙසින් ෆිල්ම්ෆෙයාර් සම්මානයට නිර්දේශ විය.

1997 වනතුරුම සංජේ දත් හිරගෙදරට ආවේය. ගියේය. එහෙත් ඔහුගේ රංගනයට නම් විලංගු වැටුණේ නැත.

සංජේ තෙවරක් විවාහ වූයේය. 1987 දී ඔහු විවාහ වූයේ නිළි රීචා ෂර්මා සමඟයි. නව වසරකට පසු ඇය මිය ගියේ මොළයේ ගෙඩියකිනි. ඔවුන් දෙදෙනාගේ දියණිය ත්‍රිශාලායි. ඇයගේ පදිංචිය අමෙරිකාවේයි. මෝස්තර නිරූපිකාවක් වූ රියා පිල්ලෙයි සමඟ දෙවැනි වරට විවාහ වූයේ 1998 දීයි. එය දික්කසාදයකින් කෙළවර වූයේය. මාන්යාතා ඔහුගේ තෙවැනි බිරියයි. ඉක්රා සහ ෂහ්රාන් නිවුන්නු මේ දෙදෙනාගේ පවුලට එක් වූයේ 2010 දීයි.

සංජේ නීතියේ වරදකරු වෙද්දී ඔහුගේ සොයුරියන් වූ ප්‍රියා සහ නම්රතා කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ය.

සම්මාන සමඟ විද්‍යා ගණන්

සිව්වැනි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනූ පසු තාරකාවකගේ ගණන් ඉහළ යන්නේ අභිමානයෙන් පමණක් නොවෙයි. රංගනයට අය කරන ගණන ද සම්මානයේ බරට වඩා වැඩි බරක් ගනී. විද්‍යා බාලන් දැන් කත්‍රිනා කායිෆ්ට සහ කරීනා කපූර්ට ගෙවන මුදලට සමාන මුදලක් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. සමහරු නම් පවසන්නේ විද්‍යාගේ මිල ගණන් ඉහළ දැමීමට හේතුව වඩාත් හොඳ සිනමාපටවලට පමණක් දායක වීමට ඇති කැමැත්ත විය හැකි බවයි.