වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දිනේෂ් සුබසිංහ අලුත්ම ගීතය ගැන කී අපූරු කතාව

දිනේෂ් සුබසිංහ අලුත්ම ගීතය ගැන කී අපූරු කතාව

ආයුබෝවන්,

මම දිනේෂ් සුබසිංහ. නව පරපුර නියෝජනය කරන සංගීතඥයෙක්. මං ගැන සහ මගේ නිර්මාණ පිළිබඳ ඔබ මීට පෙර අසා ඇති යැයි මා අනුමාන කරනවා. ඒ නිසා මගේ පැටිකිරිය දිග හරින්න නැතුව මම නිර්මාණය කළ අලුත්ම ගීතය ගැන කියන්නයි මම මේ සැරසෙන්නේ.

ඒ කාලේ ද වන්.

මගේ අනෙක් නිර්මාණ සේම මේකත් වෙනස්ම ආරක ගීයක්. කෙටියෙන්ම කිව්වොත් රොක් සංගීතය වයලින් හඬ යොදා මා නිර්මාණය කළ අමුතු තනුවක්. එය ගැයීමට බාර දුන්නේ චාමික සිරිමාන්නට. ඔහු ඒකාකාරී රිද්මයන්ගෙන් යුතු ගීත ගයා වෙහෙසට පත්ව සිටි ගායකයෙක්. ඒ හින්දාමයි ඔහුව මේ සඳහා යොදා ගත්තේ.
 

ඒ කාලේ ඔබ මා හට කීවේ

සිහිනෙන් මිදෙන්නයි

ඒ කාලේ ඔබ කී දේ සිතුවේ

සිහිනෙන් මිදුන විටදියි

සිතුවිල්ලක්දෝ ආදරයක්දෝ

මායාවක්දෝ මට දැනුණේ

මෙන්න මෙහෙමයි ගීතය පටන් ගන්නේ. මිලන්ති ක්‍රිස්ටිනා ප්‍රනාන්දුයි හරි අපූරුවට පද ගෙත්තම් කළේ.

හිතුවටත් වඩා හැඟීම් මුසු කොට චාමික එය ගැයුවා. ඊට පසුව මෙහි වීඩියෝවක් නිර්මාණය කරන්න අපට වුවමනා වුණා. ඒකට උදව් වුණේ රනුෂ්ක ප්‍රනාන්දු.

මෙතෙක් කිසිදු මියසික් වීඩියෝවක නොදුටු තරු රැසක් මේ සඳහා අප තෝරා ගත්තා. ධනංජය සිරිවර්ධන, විශ්ව කොඩිකාර, රජිත හිරාන් චාමික (පිං පොං) නිරෝෂන් විජේසිංහ, සුරේෂ් ගමගේ, ශෂී ඇන්ජලීනා සමඟ චාමිකත් මමත් මෙහි රඟපෑවා.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රේමසිරි විතාන මහතා ද රංගනයේ යෙදීම සුවිශේෂයි. සාම්ප්‍රදායික ලක්ෂණවලින් බැහැරව වීඩියෝවක් නිර්මාණය කිරීම ඇරැඹුණා. රනුෂ්කගේ අධිතාක්ෂණික ප්‍රයෝග මෙයට දැවැන්ත ශක්තියක් වුණා.

ගතින් සහ මනසින් පසුගාමී වූ අවිහිංසක තරුණයකු සිටිනවා. ඔහු සුරූපී තරුණියක් දැක මවිත වනවා. ඇයට පෙම් බඳිනවා. ඇයගේ ආදරය දිනාගන්න හැටි සිහිනයෙන් පෙනෙනවා. ඔහුට පහනක භූතයකු, සුපර්මෑන් කෙනෙකු, පාතාල තදයකු, රංගන ශිල්පියකු සහ අයෝමය පුරුෂයකු උදව් කරනවා. වීඩියෝවේ අවසාන ප්‍රතිඵලය මං කියන්නේ නැහැ.

ඒ වුණත් මෙහි තවත් විස්තර ටිකක් කියන්නම්. වීඩියෝවේ චරිත රංගනයේ පිරිස මං වර්ග කොට පෙන්වන්නම්.

පහනේ භූතයා - ධනංජය
සුපර්මෑන් – විශ්ව
පාතාල තදයා - සුරේෂ්
නළුවා - නිරෝෂන්
අයෝමය පුරුෂයා - රජිත
සුරූපිනිය - ශානි
කොල්ලා තමයි මම

පහනේ භූතයා ගැන නම් විශේෂ සඳහනක් කළ යුතුමයි. මෙවන් වූ චරිත මීට පෙර අපි දැක ඇත්තේ බටහිර චිත්‍රපට සහ මාලා නාටකවලයි. නමුත් විශාල අභියෝගයක් වුණා විනාඩි හතරක් ඇතුළත එම චරිතයන් රිංගවන්න. සුපර්මෑන් වුණත් එහෙමයි. ඒකයි මං නොබියව කියන්නේ මේක අමුතුම වින්දනාත්මක වීඩියෝ එකක් කියලා.

මෙය නැරැඹුවා නම් හෙලිකොප්ටරයක් පුපුරා යන දර්ශනයක් තිබුණා මතකද? එය රනුෂ්කගේ නිර්මාණයක්. කොහොමද එහි සජීවි බව? මමත් මවිත වුණා ඒක දැකලා. ඒ වගේම නළුවන්ගේ මුහුණු මාරුවන මෝෂන් උපක්‍රමය ද අපි භාවිත කළා.

වීඩියෝව ෂූට් කරන දවසේ මරු වැඩ ටිකක් වුණා. සමහර ඒවා මාධ්‍යයන්ට කියන්නත් බැහැ. කියන්න පුළුවන් දෙකක් තුනක් විතර මං කියන්නම්. රජිත දුවගෙන ඇවිත් ගේට්ටුවකින් පනින සීන් එකේදී එක අවස්ථාවකදී ගේට්ටුවෙන් වැටුණා. හරියට පිංපොං බෝලයක් වගේ රෝල් වුණා.

සුරේෂ් කඹයක එල්ලේද්දී කඹය කඩාගෙන වැටුණා. නිරෝෂන් වාහනය පදවාගෙන ඇවිත් කැමරාව ළඟ නවත්වන්න ඕන වෙලාවක එය නවත්වා ගන්න බැරි වුණා. අපි හැමෝම ඒවෙලේ බය වෙලා කෑගැහැව්වා. එවෙලෙයි ඔහුට ෙබ්‍රික් පෑගුණේ. කොහොම හරි වීඩියෝව රූගත කළ කාලයම විමෝද සාගරයක් වුණා.

මේ වන විට ටෙලිවිෂන් නාලිකා ගණනාවකම ඒ කාලේ ද වන් ගීතය විකාශය වනවා. ඒ සෑම නාලිකාවකටම මමත් රනුෂ්කත් තුති පුදනවා.

වීඩියෝවේ සංස්කරණය ගිහාන් සේතුංගගෙන්. කැමරාව සුරංග ප්‍රනාන්දු සහ ඩිලාන් සමීර මෙහෙය වූවා. මීගමුව ප්‍රදේශය අවටයි මෙය රූගත කළේ.

අන්තිමේට මං තවත් දෙයක් කියන්නම්. මා ද රංගන ශිල්පියකු විදිහට කලඑළියට ආවේ මේ වීඩියෝවෙන්. ඇත්තටම කිව්වොත් එය කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් සඵලවීමක් යැයි මට කිව හැකියි.

එහෙනම් අපේ අලුත්ම වීඩියෝව ගැන මං පැවසූ කතාව මෙතැනින් නිම කරනවා. එය නරඹලා ප්‍රේක්ෂක අදහස් පවසන්න. එය මගේ ඉදිරි නිර්මාණවලට හුඟාක් වටිනවා.