වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

කේරළ සිනමාවේ හොඳ චිත්‍රපට එහි අධ්‍යක්‍ෂවරුන් සමඟ දැන ගන්න කැමැතියි.

කැමිලස් ප්‍රනාන්දු – හලාවත.

2011 වසරේ හෝ 2012 වසරේ දී කේරළ සිනමාවේ දිගු කලකට පසු අලුත් වෙනස් නිර්මාණ කිහිපයක් දැක ගන්නට හැකි වුණා. රාකේෂ් පිල්ලේ අධ්‍යක්‍ෂණය කළ ට්‍රැෆික් චිත්‍රපටය මේ අලුත් සිනමා රැල්ල රැගෙන ආවා. සෝල්ට් ඇන්ඩ් පෙපර්, චප්පා කුරසු, ඉන්දියන් රූපී, සෙකන්ඩ් ෂෝ, මායා මෝහිනී වැනි චිත්‍රපට අතිශයින් සාර්ථක වූවා.

කෙසේ වෙතත් මීට දශක එකකට දෙකකට පෙර මලයාලම් සිනමාව කෙරෙහි ලෝකයේ අවධානය දිනූ හොඳ සිනමා කරුවන් වර්තමානයේ දී හොඳ නිර්මාණ කළ බවක් නම් මට හිතෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් ගත් කල එම යුගයේ බිහි වූ මුළු මහත් ඉන්දියාවේ නව රැල්ලේ සිනමා කරුවන්ගෙන් ශ්‍යාම් බෙනගල් හැරුණු විට හැම සිනමා කරුවකුගේම තත්ත්වය එයයි.

සරසවිය පුවත්පතේ මේ පොත ඔබටද? ලබාගන්න මම කූපන් හැමදාම එවනවා. නොලැබෙන්නේ අවාසනාව නිසා වෙන්න ඇති නේද? අර්ජුන්. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි නේද?

නන්දවීර ගාල්ලගේ – අනුරාධපුරය.

අන්න ඒකම තමයි ඇත්ත කතාව.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතින් බිහි වූ අසාර්ථකම චිත්‍රපටය ‘අවරගිර’ බව මම කීවොත් ඔබ එයට එකඟ ද?

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව.

මම එකඟ වන්නේ නැහැ.

අති විශිෂ්ට ගායක අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් චිත්‍රපට කීයක රඟපා තිබේද?

ඩබ්ලිව්. පී. එස්. නිලමේ – කටුවන.

ඔහු සුජාතා, වරද කාගේද, හාර ලක්‍ෂය, ජීවන ගීතය ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපෑවා.

විශාරද සුනිල් ශාන්තයන් ගායනා කරන බෙංගාලී ගීතය (බොන්දුරේ) පබැඳුම, තනුව, සංගීතය කාගේද?

චන්ද්‍රසිරි පීරිස් - බේරුවල.

එය බෙංගාලි ජන (පාරු) ගීතයක්.

පසුගිය දශක දෙකකට වැඩි කාලයක සිට අමතක නොවන විශිෂ්ට විකට චරිත රඟ පෑ මහේශ් ජයසිංහ කෝ? ඔහු රඟපෑමෙන් ඉවත් වෙලාද?

මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුව.

මහේෂ් ජයසිංහ රඟපෑමෙන් ඉවත් වී නැහැ. දැන් ඔහු ඔහුගේ ව්‍යාපාර කටයුතුවල නියැළෙනවා.

දුප්පතාගේ දුක, මනුෂ්‍යත්වය, මගේ පුතා, අහිංසක ප්‍රයෝගය යන චිත්‍රපට ටී. වී. නාලිකා සහ චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කරනවා. එහි ඩී. වී. ඩී. පිටපත් ලබා ගත හැකිද?

කේ. ටී. ඩී. සසුරකොටුව - චිත්‍රපට සංස්ථාව.

නැහැනේ සසු.

ටෙලි නාට්‍ය නළු සුනිල් හෙට්ටිආරච්චි දැන් කොහිද කියා කියනවද?

එච්. එල්. තිලකසිරි ද සිල්වා.

ඔහු රෝගාතුරව නිවෙසේ සිටිනවා.

නිධානය හා රන්මුතු දූව චිත්‍රපටවල පිටපත් වෙනත් රටක තිබෙන බව සරසවිය පුවත්පත අනාවරණය කළා. එය ළඟදී ප්‍රදර්ශනය වේවිද?

බන්දුල නාරංගොඩ – පානදුර.

ඒවායේ හිමිකරුවන් හෝ යම්කිසි පුද්ගලයකුට එයින් ලාභ ලැබිය හැකියැයි සිතන්නේ නම් ගෙන්වාවි.

චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු තමාගේ ඇතැම් චිත්‍රපට නම් වෙනස්කර ඒ ඒ කොටස් එකට බද්ධ කොට වෙනත් නම් යොදා ප්‍රදර්ශනය කරන බව ප්‍රේක්‍ෂකයන් කියනවා. මෙහි සත්‍යතාවක් තියෙනවද?

අමිල ඩී. නාරංගොඩ – පානදුර.

ඒ ගැන දන්නේ නැහැ. ඒ ගැන රැඟුම් පාලක මණ්ඩලයෙන් හෝ චිත්‍රපට සංස්ථාවෙන් අහන්න.

වැඩිම නිළියන් ගණනක් සමඟ පෙම් චරිත රඟ පෑ නළුවා ගාමිණී ෆොන්සේකා ද?

සුදත් නිශාන්ත – මීගමුව.

එසේ විය හැකියි.

‘ආඕ ප්යාර් කරේන්’ හින්දි චිත්‍රපටයේ තොරතුරු ටිකක් කියා දෙන්නකෝ...?

තිලකරත්න විල්වල – කෑගල්ල.

ආඕ ප්යාර් කරේන්, මේ නමින් චිත්‍රපට දෙකක් තියෙනවා. මේ චිත්‍රපට දෙක 1964 හා 1994 වසරේ තිරගත වූවා. පළමු චිත්‍රපටයේ රඟපෑවේ ජෝයි මුකර්ජි සහ සයිරා භානු. දෙවැනි චිත්‍රපටයේ රඟපෑවේ සයිෆ් අලිඛාන් සමඟ ශිල්පා ෂෙට්ටි යි. පළමු චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ ආර්. කේ. නයියර්, දෙවැනි චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ රවීන්ද්‍ර පිපාත් විසින්.