වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දේදුන්නේ පාට අරන් ගීතය ගැයූ මනීෂා

දේදුන්නේ පාට අරන් ගීතය ගැයූ මනීෂා

ඇය හිමිදිරි උදෑසන සුපිපුණ කුසුමක් වැනිය. සරස්වතී දේවියගේ බැල්ම නොඅඩුව ලද ඈ කලා ලොවේ විවිධ අංශවල දස්කම් පාන්නීය. තවමත් සුන්දර පාසල් වියේ පසුවන ඇය මනීෂා චංචලා අනුකාර. කුඩා කාලයේ සිටම කලාවට දැක් වූ ඇල්ම නිසා ගායන ක්ෂේත්‍රයට පැමිණි මනීෂා ගායන දස්කම් රටම දුටුවේ දෙරණ ලිටල් ස්ටාර් දෙවන අදියරෙන්. එහිදී මනීෂා සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. මේ විදියට ගායන දිවියේ ගමන් ඇරැඹූ ඇය රංගනයට ද අවතීර්ණ වෙමින් දැන් කලා ලොවේ දිගු ගමනක් යන්නයි සැරසෙන්නේ. මනීෂා ඒ ගැන සරසවියට කිව්වේ මේ අයුරින්.

දෙරණ ලිට්ල් ස්ටාර් දෙවන අදියරේ දී ගායන අංශයෙන් සිව්වැනි ස්ථානය දිනා ගන්නට ලැබීම මගේ ජීවිතයේ ලද ලොකුම වාසනාවක්. මගේ පුංචි අම්මා තමයි එයට මම වෙනුවෙන් අයදුම්පතක් දැම්මේ. එනිසා මම ලබපු ජයග්‍රහණය තමයි මගේ ගායන දිවියට ශක්තිමත් අඩිතාලමක් දැම්මේ. ඊට පස්සේ දෙරණ නාලිකාවේ පුංචි සත්සර වැඩසටහනට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා.

මනීෂා ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් දායක වුණා නේද?

මියුසික් වීඩියෝ කීපයකටම යුග ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඊට පසුව ජානක සිරිවර්ධන මහතාගේ වස්සාන සිහිනය ටෙලි නාට්‍යයේ මනුෂාගේ චරිතය නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ රංගන ජීවිතයේ ආරම්භය වුණා. ඉන් පසුව වී. සිවදාසන් මහතාගේ දරුවනේ චිත්‍රපටයේ ‘දේදුන්නේ පාට අරන්’ ගීතයට ගායනයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබුණා.

පාසල් ජීවිතය ගැනත් කියමු?

මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන්. පාසලේදී විවිධ කලා කටයතු සඳහා දායක වුණා. සමස්තලංකා ගායන තරග, ඉංග්‍රීසි ගායනා තරග වගේම නාට්‍ය තරගවලටත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. කුඩා කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ළමා නිවේදිකාවක ලෙස කටයුතු කළා.

මනීෂාගේ පවුලේ විස්තර?

අම්මා ගෘහණියක්. තාත්තා ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමේ සේවය කරන්නේ. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා.

කලා ජීවිතයේ ඉදිරි ගමන මොන වගේද?

නිවේදිකාවක්, ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම උසස් පෙළ කලා විෂයයන්ගෙන් හදාරනවා. සංගීතය බාහිරව ඉගෙන ගන්නවා. ඉදිරියේදී ගීත එකතුවක් එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට නම් අධ්‍යාපන කටයුතුවලට තමයි මූලික තැන දෙන්නේ.

මනීෂා චංචලා - 0719465797