වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රතු හැට්ටකාර සුබ පැතුමක්

රතු හැට්ටකාර සුබ පැතුමක්

රතු හැට්ටකාරී ලූෂන් බුලත්සිංහලයන් අතින් නිර්මාණය වූ අපූර්වතම නාට්‍ය නිර්මාණයක්. එම නාට්‍යය වේදිකාගත වී දැනට වසර ගණනක් ඉක්ම ගිහින්. එහි මුල්ම රතු හැට්ටකාරිය වුණේ අනුලා බුලත්සිංහල.

පසුගිය දවසක රතු හැට්ටකාරී නාට්‍යයේ නව නිෂ්පාදනයේ මුල්ම වේදිකාගත වීම පැවැත් වුණා. එහි රතු හැට්ටකාරියගේ චරිතය නිරූපණය කළේ තරුණ රංගන ශිල්පිනියක් වන සුබෝධි ලක්මාලියි.

මේ මංගල දර්ශනය බලන්න පැරැණි නිෂ්පාදනයේ රතු හැට්ටකාරිය වන ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල ද පැමිණ සිටියා.

නාට්‍යය අවසානයේ වේදිකාවට ගොඩ වූ අනුලා බුලත්සිංහල නව නිෂ්පාදනයේ රතු හැට්ටකාරිය වූ සුබෝධිව ඉහළින් වර්ණනා කරමින් සුබපැතුවා. පැරැණි රතු හැට්ටකාරීගෙන් අලුත් රතු හැට්ටකාරීට ලැබුණු මේ සුබපැතීම හා අගය කිරීම ගැන හැමෝම කතා වුණේ සතුටු සිතින්.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වන අනුලා නවක රංගන ශිල්පිනියක් වූ සුබෝධි ළඟටම ගොස් සුබපැතීම ගැන හැමෝටම ආදර්ශයක් වුණා.

පැරැණි රතු හැට්ටකාරීටයි, අලුත් රතු හැට්ටකාරීටයි ඔන්න සරසවිය අපිත් සුබපතනවා.

‘මේ මා නොව ඔබය’ ගැන වචනයක්

මිනිසකුට තමන්ගේ ජීවිත කතාව ලියා පළ කරන්නට හැකි නම් එය මහත් ආඩම්බරයට කරුණක් වෙයි. ලොව සමහර මිනිසුන් සිය ජීවත කතාව විකුණා මුළු මහත් ජිවිතයම සැප විඳීති.සමහරු එලෙස ජීවිතය එළි දරව් කොට තවත් සමහරු අමාරුවේ දමති. එහෙත් පසුගියදා එළි දුටු මේ මා නොව ඔබය ග්‍රන්ථය එලෙස කිසිවකුට දොස් පැවරූ කෘතියක් නොවේ. එය රචනා කරන ලද්දේ බී.සිරිතුංග පෙරේරාය.

කලකට ඉහත ගමනේ යා නමින් අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යයක් නිර්මාණය කළ සිරිතුංග පසු කලක ටෙලිවිෂනය සඳහා නාට්‍යය කිහිපයක්ම නිර්මාණය කළේය.පසු කලක කන්‍යාවි නම් ජනප්‍රිය චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ද ඔහුය.මේ මා නොව ඔබය කෘතිය ඔහුගේ කලා ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන්,සතුට ජයග්‍රහණය පිළිබඳ කදිම විවරණයකි.

බී.සිරිතුංග පෙරේරා යනු කලා ලෝකයේ බොහෝ පැරණි මිනිසෙකි.ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ කවර විවේචන තිබුණ ද ඔවුන් කලාවට ආදරය කළ මිනිසුන්ය. එමෙන්ම ඒ සදහා සෑහෙන්නට කට්ට නැතහොත් පරිප්පු කෑ මිනිසෙකි.එබඳු බොහෝ මිනිසුන් වතාවක් දෙවතාවක් වලි කා බැරිම තැන කලාවෙන් අයින්ව දන්නා කියන හෝ වෙන මොන යම්ම දේකට ගොස් යහපත්ව ජීවත් වෙති. එහෙත් සිරිතුංගලාගේ ජාතියේ මිනිසුන් මොන දහ දුකක් විඳ හෝ එහි ජිවත් වෙති.ඒ වෙන එකක් කරන්නට බැරි නිසා නොවේ. තියෙන ඇම්මටය.ඒ නිසා කූඩැල්ලා මෙට්ටය උඩ තිබ්බත් සිරිතුංගලාගේ කලා ඇම්ම නැති කරන්නට බැරිය.මේ මා නොව ඔබය.

කලා ලෝකයේ අතීත කතා රැසක්අප ඉදිරියේ දිග හරියි.මේ කතාන්තරයේ සිටින ඇතැමෙක් දැන් අප අතර සිටින දැවැන්තයන්ය.එහෙත් මේ අතරින් සමහරු මේ අතීතය කියන්නට අකමැතිය.ඒ අතීත කතාවේ සිරිතුංග වැන්නන් ඔවුනට අත දුන් වග කියනු අප අසා නැත.එහෙත් අතීතය කිසිවිටකත් සැඟවිය නොහැක.බොහෝ මිනිසුන්ගේ අතීත කතාවන් කෙළවර සිරිතුංගලා වැන්නන් ද සිටිති.

එහෙත් ඔවුහු සිරිතුංගලා පසු කර දුර ගොස්ය.මේ මා නොව ඔබය.එහි ඇති වැදගත්කම එයයි.එය හෙළිදරව් කරන්නේ සිරිතුංග ද්වේශකින් නොවේ. එහෙත් සිරිතුංග පෙරේරා නම් අප හිතවතානන්ට එක් දෙයක් කිව යුතුය. මේ අතීත කතාවන් ගෙන හැර පෑම හොඳය. එහෙත් මේ කතාන්තරය ලියද්දි පළපුරුදු සංස්කාරකවරයකු ඒ සඳහා යොදා ගත්තා නම් එයටත් වඩා හොඳය.බස නිරවුල් වූ තැන රස ද වැඩි වන බැවිනි.