වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




පියාට උපහාර පුදන්න පුතුගෙන් සිතුවම් දැක්මක්

පියාට උපහාර පුදන්න පුතුගෙන් සිතුවම් දැක්මක්

31 දා කටුබැද්දේ ජනසෙවණ කලා කේන්ද්‍රයේ දී

60 – 80 දශක තුළ දී සිංහල සිනමාව ඔපවත් කළ තරුවක් වූ සිනමා නළු බී. ඇස්. පෙරේරා ගේ 89 වැනි ජන්ම දිනය මාර්තු 31 වැනිදාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් ඔහුගේ පුත් සුනිල් වෙස්ලි පෙරේරා තම කලා හැකියාවෙන් උපහාර පුද කිරීමට සැරසේ.

මේ නිමිත්තෙන් ‘සරගුරු ගී උපහාර’ නමින් සිතුවම් දැක්මක් හා ගී පැදුරක් 31 වැනි දා කටුබැද්ද ජනසෙත කලා කේන්ද්‍රයේ දී පැවැත්වේ.

රොඩී කෙල්ල, සැනසුම කොතැනද, අල්ලපු ගෙදර, සතපනහ, ඔන්න බබෝ බිල්ලො එනවා ඇතුළුව චිත්‍රපට තුන්සියයක පමණ රංගනයෙන් දායක වූ බී. එස්. පෙරේරා ‘මගේ අම්මා’, ‘ඇමැතිකම’ චිත්‍රපට සඳහා තම ගීතවත් හඬ දායකත්වය ද ලබා දුන්නේය. පියා සමඟ රන්මුතු දූව නැරඹීමට ගොස් ප්‍රදර්ශන පුවරු දැක ඇති වූ ආසාවෙන් සිත්තරකු බවට පත් වූ සුනිල් වෙස්ලි පෙරේරා සංගීතය හදාරා ගීත ගායනයට ද එක් වී ඇත.

අපේ අවුරුද්දට අපේ ගායනා 30 දා

අනාගත පරපුරට දේශීය නාද රටා සහ ඒ හා සබැඳි සංකල්ප දායාද කිරීමට වෙහෙසෙන රන්වල පදනමෙහි අවුරුදු ගීත ඇතුළත් නවතම සංයුක්ත තැටිය ‘අපේ අවුරුද්දට අපේ ගායනා’ මෙම මස 30 වැනිදා එනම් එන සෙනසුරාදා සවස 5.30 ට එම පදනම මාසිකව බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ ‘කමත’ හි පවත්වනු ලබන ‘ගයමු’ ගී ප්‍රසංගය අතරතුරදී එළි දැක්වෙයි.

මෙයට සමගාමීව මහින්ද කුමාර දළුපොත විසින් රචිත ‘අවුරුදු සිරිත්’ කෘතිය ද එදින පාඨකයන් අතට පත් කිරීමට ද නියමිතය

‘ආදර ලීසා’ 30 දා මොරටු එයි

ලක්ෂ්මන් ආරච්චිගේ ආදර ලීසා මෙම මස 30 වැනිදා සවස මොරටුව බෞද්ධ මන්දිරයේදී වේදිකා ගත වේ.

සඳුන් විජේසිර, සංජුල දිවාරත්න, ප්‍රේමදාස විතානගේ, ඩේමියන් ජයලත් සමඟ සුරංගා නිලූෂිනී මේ සඳහා රංගන දායකත්වය සපයති.

‘නෙත් අඳ බිසව්’ 31 දා වැලිගම

නාට්‍යවේදී එස්. විජයසිරිගේ ‘නෙත් අඳ බිසව්’ සංගීතමය, ප්‍රහසන නාට්‍යය මාර්තු 31 වැනි දා වැලිගම නගර ශාලාවේදී වේදිකා ගත කෙරේ.

ආරියසේන ගමගේ, ගංගු රොෂානා, රෙක්ස් හැමිල්ටන්, ශි‍්‍රයානි සුබා වික්‍රමාරච්චි සහ මාලි ලියනගේ ගේ රංගනයෙන් මෙය හැඩගැන්වේ.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 02 දා දොරට වඩී

රූ. පෙ. විජේසිංහ ගේ අලුත්ම පරිවර්තන කෘතිය ‘මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා’ ලබන අප්‍රේල් මස 02 වැනි දා කොළඹ, මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ‘පෙම් වියරුව‘ පරිවර්තන කෘතිය ඇතුළුව ‘පෙරළිකාර පාසල’, ‘හෙළිදරව්ව‘, ‘වීනස් සහ අදෝනිස්’, ‘නාගරාජ්ගේ ලෝකය’, ‘දෛව මහිමය’, ‘දිමූර්’ පාඨක ප්‍රසාදය දිනූ ඔහුගේ කෘති අතර වේ.

ෂෙල්ටන් වීරරත්න ගේ කෘති දෙකක් 03 දා දොරට වඩී

කණ්ඩායම් ගීතය ගැන විමර්ශනයක්

ෂෙල්ටන් වීරරත්න විසින් රචිත ‘බටහිර කණ්ඩායම් ගීතයේ විකාශය – එය දේශානුගත කළ නෙවිල් සහ නොයෙල්’ කෘතිය දොරට වැඩීම අප්‍රේල් 03 වැනි දා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.

මෙම කෘතියෙන් කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීන් වූ නෙවිල් ප්‍රනාන්දු සහ නොයෙල් බ්‍රයන් රණසිංහ යන සංගීතවේදීන් ගැඹුරු විමර්ශනයක යෙදී ඇත.

අලුත්ම ඩී. වී. ඩී. පෙළක්

මීට දශක කිහිපයකට පෙර ලාංකික පේ‍්‍රක්‍ෂක ප්‍රසාදය දිනාගත් කලා නිර්මාණ පෙළක් දැන් ටොරානා වීඩියෝ මූවීස් වෙතින් ඔබ වෙනුවෙන් ඩී. වී. ඩී. ලෙසින් නිකුත් වී ඇත.

ජී. ඩී. එල්. පෙරේරා ගේ වේදිකා නාට්‍ය නිර්මාණයක් වූ ‘තොටුපළ’, ප්‍රේමකුමාර ජයවර්ධන ගේ ‘සෙදෝනා’ ටෙලි නාට්‍ය මාලාව, චන්ද්‍රරත්න මාපිටිගම ගේ ‘ඉරපායා’ ටෙලි නාට්‍යය සහ මෙරට නිෂ්පාදිත ප්‍රථම රූපවාහිනී විකට වැඩසටහන වූ ඇනස්ලි, බර්ටි, සහ සැමුවෙල් දායක වූ ‘විනෝද රංග‘ මෙලෙස ඩී. වී. ඩී. ලෙස එළි දක්වා ඇත.

ගුණරත්න ඒකනායක රචිත ‘කන්දේ මාලිගාව’

සම්මානලාභි ලේඛකයකු ලෙස සාහිත්‍ය නිර්මාණයේ යෙදෙන ගුණරත්න ඒකනායක විසින් රචිත යොවුන් නවකතාව ‘කන්දේ මාලිගාව’ මේ වන විට වෙළෙද පොළ වෙත නිකුත්කර ඇත.

නවකතා, යොවුන් නවකතා, කෙටි කතා කෘති හතළිහක් පමණ රචනා කර ඇති ගුණරත්න ඒකනායක 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ පළමු ස්ථානය හා 2003 වසරේ ඩී. ආර්. විජේවර්ධන නවකතා තරගයේ තෙවන ස්ථානය ද දිනාගෙන තිබේ.