වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුරේශ් හැඩ කළ අපූරු තරු මිහිර

සුරේශ් හැඩ කළ අපූරු තරු මිහිර

සුරේශ් ‘සිහින මනමාලී’ ගෙනාවේ නැද්ද? රසිකාවියන්ගෙන් පැනයක්

මුතුකැට වන් පිනි කැට, දිලිසෙන හිමිදිරි උදෑසන, අනුරාධපුර සිට කොළඹ බලා එන රජරට රැජිනි දුම්රියේ ආ සුන්දර තරුණිය සරසවිය ඡායාරූපගාරයට පිවිසුණා. ඇය නමින් වර්ෂා. ඊට ටික මොහොතකට පසු කුරුවිට සිට තම පියා සමඟ පැමිණි රසිකා ද, ගම්පහ සිට පැමිණි ශිරන්ති ද සරසවිය ඡායාරූපාගාරයට පැමිණියේ මහත් උද්යෝගයෙන්. මේ තිදෙනා ආගිය තොරතුරු විමසමින් දෑස් දල්වාගෙන බලා සිටින්නේ තමන් ආදරය කරන කෙනකු පැමිණෙන තුරුයි. මේ අතරවාරයේ තවත් අමුත්තෙක් සහ අමුත්තියක් ද සරසවිය ඡායාරූපාගාරයට පැමිණියා. ඒ සරසවිය පැරණි රසික හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ සහ පිළියන්දල මනෝරියි.

මේ පිරිස ආසාවෙන්, බලාපොරාත්තු සහගත බැල්මෙන් බලා සිටින්නේ තමන්ගේ හද දිනාගත් කලා තරුව පැමිණෙන තුරුයි.

තරු මිහිර,

රසවත් කරමින්, ගයන්නට, නටන්නට හා රඟන්නට උපන් හපන්කම් දක්වන රංගන ශිල්පී ගායන ශිල්පී හා නර්තන ශිල්පී සුරේශ් ගම්ගේ එකවරම සරසවිය ඡායාරූපාගාරයට ඇතුළු වූවා.

මනෝරිගේ උණුසුම් පිළිගැනීමෙන් පසු අන් සියල්ලෝම අතට අත දී ඔවුනොවුන් හඳුනා ගත්තා.

සුරේශ් අනේ ‘සිහින මනමාලී’ තවම කැන්දන් ආවේ නැද්ද? සුරේශ් ආ විගසම පැනය මනෝරිගෙන්.

තවම හිතට ගැළැපෙන කෙනක් හමුවුණේ නෑනේ.

එහෙනම් අර පහුගිය දවස්වල ඔයා මැරි කළා කියලා නිව්ස් ගියේ? දඟකාර විදියට ප්‍රශ්න කළේ ශිරන්තියි.

අනේ නැහැ. ඒ මේ ළඟදී ෂූට් කරපු ෆිල්ම් එකක සීන් එකක්. ඒකේ හැටියට මම කසාද බඳිනවා. ඉතින් ඒක තමයි ඔය වැරැදි විදියට ප්‍රචාරය වෙලා තියෙන්නේ. ඒක එරංග සේනාරත්න අලුතින් නිර්මාණය කරපු චිත්‍රපටයක්.

හරි දැන් ඔයාට ප්‍රේමවන්තියක්වත් නැද්ද?

වර්ෂාගේ හිතේ මෙතෙක් වේලා පැවැති ප්‍රශ්නය සුරේශ්ට යොමු කළා.

මෙහෙමයි විවිධ කාලවල පෙම්වතියන් නම් හිටියා. නමුත් මේ කාලේ නම් නැහැ කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ.

ඔයාලට මේ සුරේශ් ගැන ඔච්චරම දැනගන්න ඕනෑ වෙලා තියෙන්නේ තවමත් මෙයාලා තරුණ වයසේ නිසා නේද? ඒ ප්‍රකාශය ලක්ෂ්මන් රණසිංහගෙන්.

අද අපට නටන්න, ගයන්න, රඟන්න පුළුවන්නේ, අනේ සුරේශ් ඔයාගේ ‘සිහින මනමාලී’ ගැන කියන ගීතය කියමුකෝ? ඒ ඇරයුම මනෝරිගෙන් සහ රසිකාගෙන්.

සිහින මනමාලි ඔබ ගාව ඉන්නේ . . . කියමින් ඉතාම හැගුම්බරව සහ රසවත්ව සුරේශ්් මිහිරි හඬින් ගීතය ගයද්දී සියල්ලෝම තාලයට අනුව අත්පොළසන් දෙන්න අමතක කළේ නැහැ.

ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ? ඒ ඉල්ලීම රසිකාගෙන්.

මගේ පවුලේ අක්කලා දෙන්නයි මමයි, අම්මයි ඉන්නේ. තාත්තා සහ මගේ එක් අක්ක කෙනෙක් ජීවතුන් අතර නැහැ. සුරේශ් එසේ පවසන විට නම් හැඟීම්බර කඳුලක් නෙත් අගට උනනවා හැමෝම දුටුවා.

කතාව වෙනතකට යොමු කරමින් මනෝරි හා ලක්ෂ්මන් ශිරන්තිට ගීතයක් ගයන්න ආරාධනා කළා.

ආරාධනාව ඉහළින් පිළිගත් ශිරන්ති ‘සඳ සිසිලේ මේ රෑ’ ගීතය සුරේශ් වෙනුවෙන් රසවත්ව ගායනය කළා.

මේ සියල්ල දෙස නිහඬව බලා සිටි වර්ෂා සුරේෂ්ට නර්තනයකට ආරාධනා කළා.

‘එහෙනම් අපි ඔක්කොම නටමු’ නැවත ආරාධනය සුරේශ්ගෙන්.

එතකොට සිංදුව කියන්නේ කවුද?

‘මම සිංදුව කියමින් නටන්නම්’ කියූ සුරේශ් හැමෝම සමඟ හිම රේණු වැටෙනා ගීතය ගයමින් නැටුවේ සියල්ලන්ගේම ඉල්ලීම් ඉටු කරමින්.

සුරේශ් මේ දිනවල මොනවද කරන්නේ? ලක්ෂ්මන්ගෙන් තවත් පැනයක්.

මේ දවස්වල නම් නුවරඑළිය පැත්තේ අලුත් ටෙලි නාට්‍යයක් ෂූටිං කරනවා. තව ඉතින් සංගීත සංදර්ශනවලට සහභාගී වෙනවා.

මෙගා නාට්‍ය ගැන ඔයා මොකද හිතන්නේ? වර්ෂාගෙන් නැවතත් පැනයක්.

මෙහෙමයි, මට ටෙලි නාට්‍ය දිගු ද කෙටි ද කියන එකට වඩා එහි නිර්මාණශීලී, ගුණාත්මකභාවය තමයි වැදගත්. එය ගුණාත්මකභාවයෙන් ඉහළ නම්, අපිට යම්කිසි නිර්මාණාත්මක දායකවීමක් ඒ සඳහා දරන්න හැකි නම් ඒක තමයි ඒ නිර්මාණයේ හොඳකම.

ඔයාගේ උපන් දිනය කවදද?

අප්‍රේල් 4. මේ සතියේනේ.

හානේ මේ කේක් ගෙනත් කවුරු ගානේද? කේක් මගේ ගානේ - සුරේශ් හැමෝටම කේක් කැවුවා.

ලක්ෂ්මන් සහ රසිකා ගෙනා තෑගි සුරේශ් වෙත ලබා දුන්නා.

පෙරලා සුරේශ් ඔහුගේ සිහින මනමාලි සංයුක්ත තැටිය ද හැමෝටම ලබා දුන්නේ තමන්ගේ සමරු අත්සනින්ද යුතුවයි.

හැමදාමත් තරු මිහිරේ වාසනාවන්ත ත්‍යාග අනුග්‍රාහකයා වන ලක් සළුසල වෙතින් ලබා දෙන ත්‍යාග ද සුරේශ්ගේ සුරතින් තම ආදරණීය රසික පිරිස වෙත ලබා දුන්නේ උතුරා යන සෙනෙහසක්ද පිරිනමමින්.

නියමිත වෙලාවට පැමිණ සතුටු සිනා මැද ගලා ගිය සුන්දර හෝරා දෙකක නිමාව ක්‍රම ක්‍රමයෙන් ළං වුණා. සියල්ලන්ම සිප වැළඳ ගැනීමෙන් පසු ඔවුනොවුන් යළිත් හමුවන පැතුමෙන් යුතුව සුරේශ්ගේ ආගමනයෙන් හැඩ වූ තරු මිහිරක මතක පත්ඉරු මත සඟවමින් සමු දුන්නා.