වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




එන්න 31 වැනිදට මගේ සොල්දර ගෙදරට . . .

එන්න 31 වැනිදට මගේ සොල්දර ගෙදරට . . .

උපාලි කීර්තිසේන

බොහෝ දෙනෙක් ඔහුව හඳුන්වන්නේ විකට රංගන ශිල්පියෙක් ලෙසයි. ‘හොටෙල් ඩී කලබල’ හාස්‍ය ටෙලි නාට්‍යය තුළින් රංගනයට පැමිණි ඔහු වැඩිපුරම රඟ දක්වා තිබෙන්නේ ප්‍රේක්‍ෂකයන්සිනා සයුරේ ගිල්වන ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලය.

නමුත් මෑත කාලයේ දී හාස්‍ය රංගනයෙන් බැහැර වූ ටෙලි නිර්මාණ කිහිපයකම අපි ඔහුව දුටුවෙමු. උපාලි කීර්තිසේන නම් වූ මේ දක්‍ෂ රංගන ශිල්පියා සරසවිය පුවත්පතට පැමිණියේ ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂී කටයුත්තක් පිළිබඳ කියන්නටය. උපාලි කවදත් මාධ්‍යයට ලෙන්ගතු මිතුරෙකි. කා සමගත් සුහදව කලා කටයුතුවල නිරත වන ඔහු කලාව දෙවියන් දුන් දෙයක් ලෙස සලකයි.

උපාලි මේ දිනවල අපි ඔබේ රංගන ජීවිතයේ වෙනසක් දකිනවා?

ඔව්, මම කාලයක්ම රඟපෑවේ විකට රංගන ශිල්පියෙක් ලෙසනේ. මට වැඩිපුර ලැබුණෙත් එවැනි නිර්මාණ. ‘හිරු දහසක් යට’ ටෙලි නාට්‍යය තුළින් මම කොමඩි ලේබල් එකෙන් මිදුණා. බොහෝ දෙනෙක් දැනගත්තා උපාලිට විකට චරිත විතරක්ම නෙමේ තව වෙනස්, වෙනස් විවිධ වූ චරිත පවා කළ හැකියි කියලා. පසුගිය දා විකාශය වූ ‘හඳපාන’ ටෙලි නාට්‍යයේ පීටර් අයියාගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. කාලයක් ගතවෙලා හරි එකම රාමුවේ චරිත වලින් මිදෙන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.

ඔබේ රැකියාවත් රංගනය ද?

ඔව්, රඟපාන එක තමා මගේ රැකියාව. හැකියාව මත මම මේ ගමන ආවේ. බොහොම ගරුත්වයෙන් මම මේ රැකියාව කරන්නේ. මම මාව හඳුනාගෙන තිබෙන නිසා යමක් කරන්න පුළුවන් සුදුසු චරිත පමණයි භාර ගන්නේ. මට යම් නිර්මාණයකට කතා කරනකොට චරිතය මොකක්ද කියලා විතරයි මම අහන්නේ. කවදාවත් කොච්චර ගෙවනවද? කියලා මම අහන්නේ නැහැ. වෙලාවට සෙට් එකට යනවා. හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්නවා. මම හිතන්නේ මේ හින්දාමයි මට මෙච්චර දුරක් එන්න ලැබුණේ.

ඔව්, එහෙනම් ඔබේ මේ සුවිශේෂී කටයුත්ත ගැනත් කතා කරමු නේද?

1996 වර්ෂයේ ඉඳන් අවුරුදු 17 ක් මම ‘සොල්දර ගෙදර’ වේදිකා නාට්‍යය රඟ දක්වනවා. යුද ගිනි දැල් ඇවිලිලා තිබුණ කාලේ පවා උතුරට ගිහින් අපේ වීර රණ විරුවන් වෙනුවෙන් මේ නාට්‍යය රඟ දක්වලා තියෙනවා. රණ විරුවෝ ලබන සතුට දැකලා මගේ ඇස් වලට කඳුළු ආවා. ඒත් කියන්න කනගාටුයි මේ වෙනකම් කිසිම අගැයීමකට ලක් වෙලා නැහැ. සියලුම අභියෝග ජයගෙන ‘සොල්දර ගෙදර’ 1000 වැනි දැක්ම මේ 31 වැනි දා සවස 3 ට සහ 6 ට බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ දී වේදිකා ගත කරනවා. සරසවි ක්‍රීඩා සමාජය යි මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ. එදාට මම හැමෝටම ආරාධනා කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ මේ නාට්‍යයේ එදා ප්‍රවීණ ශිල්පී, ශිල්පිනියන් රඟපෑවා. දැන් රංගනයෙන් නව පරපුරක් එකතු වී ඉන්නවා. ඔවුන් දක්‍ෂ අය.

ඔබ ප්‍රසංග වේදිකාවෙත් ගී ගයනවා නේද?

ඔව්, සංගීතය මම හුඟාක් ප්‍රිය කරන විෂයයක්. ටී. එම්. ජයරත්න මගේ සංගීත ගුරුවරයා. මම ගායනා කරන්නේ මිය ගිය ගායකයන්ගේ ගීත පමණයි. එයත් පවුලේ අයගෙන් අවසරය ඇතුව. අපි කලාවෙන් ජීවත් වෙන මිනිස්සු. එහි වටිනාකම රකින්න ඕනේ.

මේ දිනවල ඔබේ කලා කටයුතු ගැනත් කියන්න?

චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යයේ ‘ජෝකින්’ කියලා හද්දා පිටිසර ගැමි චරිතයක් කරනවා. ‘සිහින සිත්තරාවී’ දෙරණ නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයේ ‘නදීප්’ කියලා හොඳ චරිතයකුත් කරනවා. ඩෙන්සිල් ජයවීර මහතාගේ ‘අහංකාර ස්ත්‍රී’, ප්‍රසන්න ඉත්තෑපාන ගේ ‘පුරකලනි’ මොහාන් නියාස් ගේ ‘ඉසුරු විමන’ යන ටෙලි නාට්‍ය කිහිපයකත් දිනේෂ් කුමාර ගේ ‘රොකට් රජා පොකට් රජා’ චිත්‍රපටයෙත් ‘අපි මැරෙන්නේ නෑ’ චිත්‍රපටයෙත් මියුරි සමරසිංහ මහත්මිය ගේ ‘විශ්ව ශක්ති’ නිර්මාණයේත් වැඩ කටයුතු කරගෙන යනවා. චන්ද්‍රරත්න මාපිටිගම තමයි ගැමි නාට්‍යවලට මාව අරගත්තේ. ‘සුරපුර සර’ තුළින් ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා.

ඔබේ මේ ගමන් මගට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කෙබඳු ද?

අම්මයි, අයියයි, අක්කගෙනුයි ලැබෙන සහයෝගය මිල කරන්න බෑ. මම ගත කරන්නේ තනිකඩ ජීවිතයක්. මේ හුදෙකලාව තුළ මට හුඟාක් කලා නිර්මාණවලට දායක වෙන්න ඇති ඉඩ වැඩියි. මම ජීවිතේ හුඟාක් ඉවසන..බෙදා හදාගෙන ජීවත් වෙන කෙනෙක්. කලාවට ඇවිත් වසර විසි දෙකක් වුණා. ලැබුණු එකම සම්මානය ජනතා සම්මානය විතරයි. ඒ ගැන දුක් වෙන්නේ නැහැ. රෝයි සුමනා යුවළ, සෝමා එදිරිසිංහ මහත්මිය, මම ආදරයෙන් සිහිපත් කරනවා.

එන්න 31 වැනිදාට මගේ සොල්දර ගෙදරට. අපි එහිදී ආදරයෙන් හමුවෙමු කියලා මම කියනවා. මගේ දුරකථන අංකය 071 – 4802452 න් අමතන්න මට. මම හැමදාමත් ඔබේමයි.