වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දෝරේ ගලන පබෝධාගේ මවු සෙනෙහස

දෝරේ ගලන පබෝධාගේ මවු සෙනෙහස

වසර ගණනාවක සිට කලාව උදෙසා අනුපමය සේවයක් හදවතින්ම ඉටු කළ මේ මවත්, දුවත් මේ සැරසෙන්නේ ඔවුන්ගේ ජීවිතේ ලද හැකි උතුම් පදවි දෙකකින් පිදුම් ලබන්නටය. මේ මව සිය දිවි මගේ මෙතෙක් නොකළ චරිතයක් වූ ‘ආච්චි අම්මා’ ගේ චරිතයට සූදානම් වෙද්දී දියණිය පබෝධා මවු චරිතයට සූදානම් වෙන්නේ ඈ ලද සියලු සම්මානයන්ටත් වඩා මේ ලැබෙන්නට යන සම්මානය වටිනා නිසාය.

මෙවන් අපූරු මොහොතක සරසවියේ අපි මොවුන් සොයා ගියේ මේ මවත් දුවත් කවදත් සරසවිය පුවත්පතට ලෙන්ගතු නිසාය. ඒ නිසල සැඳෑවේ ගීතා අක්කත්, පබෝධත් අපව පිළිගත්තේ මහත් වූ සෙනෙහසිනි.

ගීතා අක්කා දැන් පබෝධා ළඟමද?

‘අනේ එහෙම ඉන්න තියෙනවා නම් මේ වගේ මොහොතක කොච්චර හොඳද . . . පුළුවන් වෙලාවට මම දුවන් එන්නේ දෝණිව බලන්න. මට එන්න බැරි උනොත් මේගොල්ලෝ හරි එනවා මාව බලන්න. මම ළඟ නැහැ කියලා දෝණිට අඩු පාඩුවක් වත් මට හිතන්නට දෙයක්වත් නැත්තේ සිදත්ත පුතාගේ අම්මත් තාත්තාත් දෝණිව ඉතාම ආදරයෙන් බලා හදා ගන්න නිසා. මෙවන් හොඳ පවුලකට එකතු වෙන්න ලැබීම ගැන මම ලොකු සතුටක් අත්විඳිනවා.’

ගීතා අක්කේ ඔබ ආච්චි අම්මා කෙනෙක් වෙන්නයි මේ යන්නේ. මේ දැනෙන හැඟීම් කොහොමද?

රඟපෑමේදීවත් මම තාම ආච්චි අම්මාගේ චරිතය කරලා නෑ. මම හිතනවා දෝණි සුදුසුම කාලේ අම්මා කෙනෙක් වෙන්න යන්නේ. මම ඉතාමත් අඩු වයසින් බැඳලා අම්මා කෙනෙක් වුණේ මගේ තරුණම කාලේ. ප්‍රශ්නවලටත් මුහුණ දීගන රැකියාවත් කරගෙන දෝණිව උස් මහත් කරන්න මම ඇත්තටම දුකක් වින්ඳා. දෝණි අම්මා කෙනෙක් වෙන්නට යන්නේ ඇගේ නිසි වයසේදීමයි. හොඳ දරුවෙක් හැටියට මම ළග ඉඳලා හොඳ අධ්‍යාපනයක් ලබලා, ලස්සන තරුණ කාලයක් ගත කරලා, කලා ලොවට පිවිසිලා ඒ කටයුතුත් සාර්ථකව කරගෙන එයාටම ගැළපෙන හොඳ මහත්තයෙකුත් සොයාගන අද දෝණි මට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරනවා.

මගේ දෝණි පුංචිම කාලේ මම හරිම කාර්යබහුල චරිතයක්. ඒ කාලේ දරුවා වෙනුවෙන් කැප වෙන්න බැරි වුණා. අද මම දකිනවා දෝණි එයාට ලැබෙන්න ඉන්න දරුවා වෙනුවෙන් කැප වෙන හැටි. රඟපෑමේ කටයුතුවලින් පවා මිදිලා ගෙදරටම වෙලා දරුවා වෙනුවෙන් සිහින දකින හැටි . . . හැබැයි මම ආච්චි අම්මා කෙනෙක් වෙන්නේ නම් ඒ සඳහා සුදුසුම කාලේ. මොකද දුවගේ වැඩ කරන්න මට ශක්තිය, ජවය හොඳට තියෙනවා.

පබෝධා විවාහ වෙනතුරු ඔබත් සමඟයි උන්නේ. ඇගේ වෙන්වීම ඔබේ ජීවිතයට බලපෑවේ කොහොමද?

ලොකුවට දැනුණේ නැත්තේ දෝණි පුංචි කාලේ ඉදලා මට නිතරම ඇය ළඟ ඉන්න ඉඩ ලැබුණේ නැති නිසා. රැකියාවේ වැඩත්, රඟපෑමේ වැඩත් නිසා පබෝදා පුංචි කාලේ මගේ සහෝදරයෙක් ළඟ දාලා ගියේ.

අපේ මේ කතාව අතරතුර පබෝධා බොහෝම හිමිහිට අපි ළඟට ඇවිත් ආදරණීය මවට තුරුලු වුණා.

දෝණි අමාරුද පැටියෝ . . .’

ගීතා අක්කා අහන්නේ උතුරා යන මවු සෙනෙහසිනි.

‘නැහැ අම්මා . . . අම්මා වැඩේ කරගෙන යන්න.’

මවගෙත් දුවගෙත් මේ සෙනෙහස අපේ ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්න කැමරා කාචයේ සටහන්කර ගත්තේ හරි අපූරුවට.

ගීතා අක්කේ කාලය ගලා ගියත් ඔබේ හඬ තවම තරුණයි. ඒ ගැනත් දැනගන්න ආසයි?’

(සිනාසෙමින්) ගුවන් විදුලිය හරහා ලැබුණ මේ හඬ මට දායාදයක් වගේ. ඒ ඒ චරිත වෙනුවෙන් හඬ වෙනස් කරන්න මට පුළුවන්. පුංචි ළමයි සමඟ ඉන්දැද්දී පුංචි ළමයෙක් වගේ හඬ හදාගන්න මට පුළුවන්. ලේඛනත්ව හා ජනසන්නිවේදන පාඨමාලාවක් මම ඉගෙන ගන්නවා. එහි සිටින ළමයි සමඟ රැෙඳන විටත් මගේ හඬ තරුණ වෙනවා කියලා මට දැනෙනවා. ‘රංගනයේ පෙර පාසල’ නමින් රඟපෑම උගන්වන ආයතනයක් මම ආරම්භ කළා. මම හිතන්නේ මම දැනුයි නැගිටින්නේ කියලා. එදාටත් වඩා අද මට විවිධ චරිත ලැබෙනවා. පහුගිය කාලේ ‘අමා’ නාට්‍යයේ කරපු චරිතය ලොකු වෙනසක් ඇති කළා. ගුවන් විදුලියේ වැඩ කරන කාලේ රඟපෑමේ වැඩ අතහැරුණා.

මෑතකදී ගීතා අක්කා දායක වූ නිර්මාණ මොනවාද?

හුඟාක් තියෙනවා. ‘මැද ගෙදර’ කියලා අලුත් නාට්‍යයක් කළා. ‘පරාවර්තන’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළා. ‘හෝ ගාන පොකුණ’ කියලා ළමා චිත්‍රපටයක් කළා. මේවා ඉදිරියේ විකාශනය වීමට නියමිතයි. ‘විසුල අහස යට’, ‘සේපාලිකා’, ‘අමා’, ‘නෙතු පියෙන තුරු’ පහුගිය දවස්වල සාර්ථකව විකාශනය වූ නිර්මාණ.

මම පබෝධා දෙසට හැරුණා. පසුගිය කාලේ තිරයේ අප දුටු චණ්ඩි කෙල්ලමද මේ කියලා මට හැඟුණා.

පබෝධා ආදරණීය පදවියකට සූදානම් වෙන මේ මොහොත කොහොමද හිතට දැනෙන්නේ?

රඟපෑමේදී මම මවු චරිතය කළා. ඒත් එය හොඳින් හිතට දැනෙන්නේ මම මවක් වනදා. මේ දැනෙන හැඟීම්, සතුට වචනයෙන් මට කියන්න බැහැ. සතුට වාගේම වේදනාවක් මට දැනෙනවා. දරුවා වෙනුවෙන් මේ සෑම දෙයක්ම විඳ දරා ගන්නේ හරිම ආසාවෙන්.

මවු පදවිය සමඟ කලා කටයුතු මඟ හැරිලා ඇති නේද?

මේ කාලේ නම් මුකුත්ම කරන්නේ නෑ. බබා ලැබුණ පසුත් ටිකක් ගෙදර ඉන්නවා. මට හුඟාක් හොඳ මහත්තයෙක් නේ ලැබුණේ. එයා කියන්නේ මගේ දක්ෂතා නැති කර ගන්න එපා. බබා ටිකක් ලොකු වුණහම ආයේත් රඟපාන්න කියලා.

ඒ කියන්නේ අපිට පබෝධා නැති වෙන්නේ නැහැ?

අනේ ඔව්. මගේ ආදරණීය රසික රසිකාවන්ට කියන්න කවදාවත් ඈත්වෙන්නේ නෑ කියලා. සිදත්ත කියන්නේ ඉතාම හොඳ මවු පිය දෙන්නෙකුගේ දරුවෙක්. ඔහු බුද්ධිමත් සැමියෙක්. සෑම දෙයක්ම හොඳින් තේරුම් ගන්න එයාට පුළුවන්. මම රඟපාපු නාට්‍ය ඔක්කෝම දැන් ඉවරයි. සනත් අබේසේකරගේ එක නාට්‍යයක් එන්න තියෙනවා. ‘ආදර පූජාසනය’ කියලා ෆිල්ම් එකක් එන්න තියෙනවා.

පබෝධා ටිකක් අසනීප වුණාලු නේද?

සති දෙකක් විතර හොස්පිට්ල් උන්නා. දැන් නම් හොඳයි. මේ ගෙදර වවන එළවළු තමා මට හදලා දෙන්නේ කෑමට.

බලාපොරොත්තුව දුවෙක් ද පුතෙක් ද පබෝධා?

කවුරු උනත් මට කමක් නැහැ. නිරෝගී දරුවෙක් මම බලාපොරොත්තු වෙන්නේ. දුවෙක් උනත් පුතෙක් උනත් එයා අපේනේ.

දුක - සැප බලන්න කලා ලෝතයේ හිතවතුන් ආවාද?

හුඟාක් අය ආවා. අපි ටිකක් ඇතුළට වෙන්න ඉන්න නිසා ගෙවල් සොයා ගන්න සමහර අයට අමාරුයි.

ඔබ මවක් වෙන මේ මොහොතේ ඔබේ මව ගැන ඇති වෙන හැඟීම කොහොමද?

ඒ කාලේ අම්මලා අපිට පාඩම් කරන්න, දැන් මේ දේ කරන්න, දැන් අර දේ කරන්න, ඔය වැඩ කරන්නෙපා කියලා කොච්චර නම් කියනවාද? අපිට ඒ කාලේ එය වදයක් වගේ සිතෙන්නේ. අපිත් අම්මා කෙනෙක් වෙන්නට යද්දී තමයි මවකගේ හිතේ දරුවන් වෙනුවෙන් ඇතිවෙන හැඟීම් හොඳට දැනෙන්නේ. අම්මලෑ කාලේ වාහන නැහැ. බබා හම්බ වෙන්න ආවා කියලා රැකියාවෙන් නිවාඩු දාලා ගෙදර ඉන්න බැහැ. මගේ අම්මා මාව හදන්න ලොකු දුකක් විඳින්න ඇති. දැන් මගේ කුසට මාස පහයි. මම සම්පූර්ණයෙන්ම මම ගැන අමතක කරලා දරුවා ගැන හිතනවා.

පෙම්වතියගේ චරිතය ඉදිරියට කරනවාද?

අපෝ ඔව්. සිදත්ත හොඳින් මාව තේරුම් අරන් ඉන්නේ. ඔහු ළඟ පටු අදහස් නැහැ. ඔහුගේ මවුපියන් උනත් එහෙමයි.

බබා ලැබෙන්න පිටරට යනවා කියන්නේ ඇත්තද?

ඔව්. ඒ දින කිට්ටු කරලා විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවා. නමුත් ටික දවසකින් ලංකාවට එනවා.