වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




එදා සරසවියට ‘පූරක’ වූයේ මමයි

එදා සරසවියට ‘පූරක’ වූයේ මමයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක

ආචාර්ය රොහාන් පෙරේරා

එදවස සොදුරු මිහිරි යුගයකි. මා ඒ දවසයැයි සදහන් කරන ලද්දේ සරසවිය පුවත්පතේ මා ගත කළ දවස්ය.එය මීට අවුරුදු හතළිහකට පමණ ඉහතය. මා එහි ගත කළේ සිව් වසරක් වුව ද එය මගේ ජිවිතයේ වඩාත්ම මිහිරි යුගයක් ලෙස මා දිවි තිබෙන තුරු මතකයේ තැන්පත් ව ඇත්තේය. මා සරසවියට ගොඩ වැදුණේ කොහොමදැයි කියන්නට මට මතකයක් නැත.ඒ දවස් මගේ හිරිමල් යොවුන් විය ගෙවුන කාලයයි.මා ඉගෙන ගත්තේ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේය. මගේ පාසලේ සිංහල ගුරුතුමානන් වූයේ අරිසෙන් අහුබුදු සූරීන්ය.එකල එතුමන් විසින් සංස්කරණය කරන ලද එඩිය සඟරාවට මම නිතර ලිව්වෙමි. මගේ පියාණන් හිටපු සෙනෙට් සභිකයෙක් වූ රෙජී පෙරේරාය.ඔහු සමසමාජ පක්ෂයේ බලවත් නායකයකු ද විය. එමෙන්ම තාත්තා කලාකරුවකු ද විය. සරසවිය සම්මාන උළෙලේ ඔහු අසමසම වාර්තාවක් තැබුවේය.

ඒ සෙනෙට් මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමෙනි. චිත්‍රපටය සැඩොල් කඳුළුය.ඒ සඳහා ඔහු හොඳම තිරරචනය සඳහා සරසවිය සම්මාන උළෙලේ දී සම්මාන දිනා ගත්තේය.තාත්තා සම්මාන ලබා ගත්තේ එවකට ඔහුගේ දේශපාලන ප්‍රතිවිරුද්දකාරයා වූ අගමැති ඩඩ්ලි සේනානායක මහතා අතිනි.තාත්තා එවකට ලේක්හවුස් සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ද සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාගේ ද හිතමිතුරකු විය.මා සරසවියට පැමිණියේ මේ කුමන හිතවත්කම නිසාවෙන් දැයි මටහරියටම මතකයක් නැත.එහෙත් පාසල් අධ්‍යාපනය නිම වීමත් සමග මට නිශ්චිත රැකියාවක් කිරීමේ අරමුණක් නොවිණ.එහෙත් කලා කටයුතු කෙරෙහි මට උනන්දුවක් විය.

එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි මගේ උනන්දුව ඉතා ඉහළ එකක් විය.එයට බලපෑවේ නම් තාත්තාය.මේ සියලු කාරණා මට ලේක්හවුසියට එන්නටත් එයින් සරසවියට දායක වන්නටත් හේතුවූවා නිසැකය. ඒ දවස්වල විමලසිරි පෙරේරා මහතා සරසවිය පත්තරයට අමතරව නවයුගය සඟරාවේ ද කතු වරයා විය. විමලසිරි පෙරේරා මහතා විසින් මා ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතාණන් වෙතට යොමු කරන ලදී.

ලක්ෂ්මන් වික්‍රමසිංහයන් මා සමග කතා කරමින් මගේ විෂය දැනුම පිලිබඳ පරීක්ෂණයක් ද කළේය.මම සරසවිය පුවත්පතට දායක වනුයේ නිදහස් ලේඛකයකු හැටියටය.විමලසිරි පෙරේරා මහතා ප්‍රධාන කර්තෘ වුව ද ඔහුගේ අධීක්ෂණය යටතේ සරසවිය මුළුමනින් කටයුතු කරන ලද්දේ ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ගේ උපදෙස් පරිදිය.මට මුලින්ම පැවරුනේ වෙනත් අයගේ ලිපි කියවිමය.අනතුරුව එම ලිපි පුවත්පතට අවශ්‍ය අයුරින් සංස්කරණය කොට සම්පාදනය මට භාර විය.පුවත්පතට ලියන්නට ලැබුනේ එයින් ද පසුවය.

මා ආයතනයේ ස්ථිර සේවකයකු නොවූවද දිනපතා සේවයට පැමිණියෙමි.එමෙන්ම ස්ථිර සේවකයකු පරිද්දෙන් සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කළෙමි.මා සේවය කළේ අවුරුදු හතරකි. ඒ 1968 වසර සිට 1972 දක්වාය.පසුව නීති විද්‍යාලයට නීතිය හැදෑරිම සදහා මම පුවත්පතින් ඉවත් වුනෙමි.මම සරසවියට වැඩි පුරම ලිව්වේ නාට්‍ය ගැනය. එයින් තීරුවක් වෙන් කළේ අලුතින් නැගී එන නාට්‍ය කරුවන් ගැනය.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර,හෙන්රි ජයසේන,වැනි එකල නාට්‍ය කෂේත්‍රයේ මහා බලවතුන් සියල්ල පිළිබඳ මම ලිපි ලිව්වෙමි.ලූෂන් බුලත් සිංහල,ආර්.ආර්.සමරකොන්, වැනි නාට්‍යකරුවන් පිළිබද මුලින්ම හදුන්වා දුන්නේ ද මා ලියූ ලිපි මගිනි.

මේ ඇතැම් නාට්‍යයකරුවන් අද මෙරට වේදිකාවේ මහා පුරුෂයන්ව වැජඹෙනු අයුරු දකින මම නිහඬව සතුටක් විඳීන්නෙමි.මා සරසවියට මුලින්ම ලියන ලදදේ ආර්.ආර්.සමරකෝන් පිළිබඳවය.එකල ආර්.ආර්. මුල්ම නාට්‍ය වේදිකා ගත කළ සමයයි.සිංහල වේදිකාව මෙන්ම ඉංග්‍රිසි වේදිකාවේ මතවාද මිශ්‍රණයක් එකල සරසවිය මගින් ගෙනාවේය. මේ සදහා මුල පිරුණේ හුනුවටයේ කතාවයි.මගේ ලිපි සදහා පත්තරේ තීරු අනුව ගෙවිමක් ද ලැබිණ. එය සමහර විට මාසයකට රුපියල් තුන් සියයත් ඉක්මවිය. ඒ යුගයේ එය ලොකු මුදලක් විය.ඒ මුදල මට ඉහටත් උඩින් යන්නකි.

උප්පැන්න සහතිකයේ මගේ නම අම්රිත් රොහාන් පෙරේරා වුවත් මා සරසවියට ලියන ලද්දේ රොහාන් පෙරේරා නමිනි.එහෙත් මා බහුලව ලියන ලද්දේ පූරක යන නමිනි.මේ යුගයේ මම ඩොක්ටර් ෂිවාගෝ නවකතාව සහ චිත්‍රපටය පිළිබඳව ලිපියක් ලිව්වෙමි.එය මැද පිටුවක් පුරා විහිද ගිය ලිපියකි.සිනමා ශිල්පින්ට වඩා නාට්‍ය කරුවන් පිලිබඳ මා අතින් ලියැවුනද සිනමාකරුවන් සොයා ගිය ගමන් වඩා සුන්දරය.ඒ බොහෝ ගමන් මා ගියේ ලක්ෂ්මන් වික්‍රමසිංහයන් සමගය.එක් ඉරිදාවක අප මීගමුවට ගියේ විජිත මල්ලිකා හමුවටය.ඒ ලේක් හවුස් ආයතනයේ ෆෝඩ් මෝටර් රථයෙනි.විජිත මල්ලිකා සමග සාකච්ඡාවෙන් පසු අප මීගමුවේ පෙරියමුල්ලට ගියේ හියුගෝ පුනාන්දුගේ නිවහනටය. හියුගෝ මාස්ටර් යනු රස ගුලාවකි.එමෙන්ම සම්පූර්නයෙන් ඉතිහාස පොතකි. සිංහල සිනමාවේ මුල්ම නළුවන්ගෙන් කෙනෙකු වූ මාස්ටර් කතා කරන්නේ ආරළු බුරළු එකට එකතු කොටය.ඉතිහාස කතාවක් එතරම් රසවත්ව අසන්නට ලැබුණු තවත් අවස්ථාවත් නොවු තරම්ය.

මා සරසවියට සම්බන්ධ වන යුගය හොඳ චිත්‍රපට බිහි වන සිනමාවේ අලුත් ප්‍රබෝධයක් ඇති වන කාලයක් විය. සරසවිය සම්මානය මේ හොඳ චිත්‍රපට සඳහා දැවැන්ත උත්තේජනයක් ගෙනාවේය.සම්මාන උළෙලේ උණුසුම නළු නිළියන් සිනමා ශිල්පීන් පමණක් නොව සිනමා ප්‍රේක්ෂකයන් අතර ද දැවැන්ත උණුසුමක් ඇති කළ කාර්යයක් විය. මා මුලින්ම සරසවිය සම්මාන උලෙලකට සහභාගි වූයේ තාත්තා සමගය. එය පැවතියේ කොළඹ තුරග තරග පිටියේය.මා සරසවියට සම්බන්ධ වූ පසු නව රඟහලේ සහ රීගල් සිනමාහලේ සරසවිය සම්මාන උත්සව පැවැත් වූ අයුරු මට මතකය. නූටාන්,ශෂිකලා,වැනි සිනමා තරු ද ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කර්තෘ කරංජියා ද සරසවිය සම්මාන උළෙලට සහභාගි වූ අයුරු මට තවමත් මතකය.

මේ නළු නිළියන් දැක බලා ගැන්මට අති විශාල ජනකායක් රොක් වූහ.උළෙලේ සංවිධානය කෙරුණේ සම්මාන පිළිබඳ පූර්ණ රහස්ගත භාවය රකිමිනි.මේ උළෙලට අප දායක වුව ද සම්මාන පිළිබඳ රහස එහි සම්මාන පිරි නැමෙන තුරුම අපට ද රහසක් විය.ඇතැම් සිනමා ශිල්පින්ගේ වෑයම කෙසේ හෝමේ රහස් කලින් දැන ගැනීමය.මේ සඳහා ඔවුන් විවිධ උපක්‍රම යොදති. ඇතැමුන් ඔත්තු කරුවන් ද යෙදවූහ.සම්මාන උළෙල අවසානයේ සම්මාන දිනූවන්ගේ ප්‍රශංසාව මෙන්ම නොලද්දන්ගේ බැනුම් ද එක ලෙස පිළි ගන්නට අපි පුරුදු ව සිටියෙමු.මේ ඇනුම් බැනුම් සතියක් දෙකක් මුළුල්ලේ වරදින්නේ නැත. එහෙත් සම්මාන නොලැබුවන් අපට බනිනවාට වඩා ඔවුන් සම්මාන දිනූවන්ට බනින ආකාරය අසා අපි මහත් සතුටක් වින්දෙමු.

ඒ දවස් වල මගේ පදිංචිය තිඹිරිගස්යායේය. ලේක් හවුස් ආයතනයේ සිට නිවසට යන්නට පැය භාගයක්වත් ගත නොවුනත් ඒ දවස්වල මා නිවසට යන්නේ මැදියමේය.චිත්‍රපට මාධ්‍ය දර්ශන ඒ දවස්වල පැවැත්වනුයේ උදෑසනය. නාට්‍ය දර්ශන පැවැත්වුනේ සැන්දෑවේය.සිනමාව,වේදිකාව හැරැණු විට ජ්‍යෙතිශය,කාව්‍ය චිත්‍රකතා ඇතුලු බොහෝ අංග එකල සරසවියේ විය.

නිවාඩු දින වල සවාරි ගැසිම එකල අපේ පුරුද්දක් විය. මේ සවාරි පත්තරයටද මහත් ප්‍රයෝජනවත් විය. ඒ සදහා භාවිත කරන ලද්දේ මා සතුව එකල පැවැති ෆියට් 600 රථයයි.වරෙක රාජා ටී.බස්නායක,සෝමවිර සේනානායක,ලක්ෂ්මන් වික්‍රමසිංහ,ප්‍රේමසර ඈපාසිංහ සහ මම සිරිපාදේ ගියෙමු.ඒ දවස්වල ප්‍රේමසර ද සරසවියට ලියු තැනැත්තෙකි.අවාරය නිම වී සිරිපාදේයැම පටන් ගත් මුල් දවස් වු බැවින් සෙනග සිටියේ නැත.අපි යන අතර මග පඩිපෙළ අහුරා ගෙන දැවැන්ත දිවියෙක් දිගා වී සිටියේය. කටේ කෙල සිඳී යනු මට දැනිණ.එහෙත් මේ සද්දන්තයා අපට කරදරයක් නොකොට උන් තැනින් නැගිට මහ වනයේ නොපෙනී ගියේ සමන් දෙවි හාමුදුරුවන්ගේ කරුණාවට ද නැතහොත් ඈපාසිංහයන් උස් හඩින් තුන් සරණය කී නිසාදැයි අදටත් මම නොදනිමි. එහෙත් පසුවදා ඉර සේවය ද දැක ඒ පිළිබඳ විස්තරයක් ද පුවත්පතට ලියුව ද දිවි විස්තරය ඇසූ විමලසිරි පෙරේරා මහත්තයා අපට බැණ වැදුනේ මට මලගමක් ගැන ලියන්නයි වෙන්නේ කියමිණි.

එකල පත්තරයේ අකුරු ඇමුණුවේ ලෝගුස් සහ කර්තේලිස් යන බාස්වරුන් ය.පත්තර ඩමිය තනන ලක්ෂ්මන් අප සමග හරිහරියට වැඩ කළේ අපට විෂයය පිළිබඳ මනා පුහුණුවක් ලබාදෙමිනි.එකල බාස් වරු සහ කර්තෘ මණ්ඩල අතර නිරන්තර ගෝරි ඇති වන්නේ අකුරු වැරදීම් නිසාය. එය බොහෝ විට සිදුවන්නේ නුහුරු වචනයක් ඔවුනට හුරු අන්දමට වෙනස් කරලීමත් සමගය.හුනුවටයේ කතාව ජනප්‍රිය වෙද්දී එය අප විසින් ලියා තිබුණේ හුනු වට යනුවෙනි.

එහෙත් බාස්වරුන් එය පුහුණුවට යනුවෙන් වෙනස් කර තිබිණ. පත්තරය මුද්‍රණය වන්නට ඔන්න මෙන්න තිබියදී මේ වරද නිවරදි කරන්නට යාන්තම් හැකි වූයෙන් වෙන්නට ගිය බරපතළ වැරදීමක් නිවැරදි කර ගන්නට ඉඩ සැලසිණ.

එකල ආයතනයේ සේවය කළ බෙනඩික්ට් දොඩම්පේගම,ජයවිලාල් විලේගොඩ වැනි දැවැන්තයන් ඇසුරු කරන්නට ලැබීමෙන් මට ලැබුණු දැනුමේ වටිනාකම මිල කළ නොහැක.සිළුමිණ පුවත්පතේ සිට විවේක ලද විට සරසවියට එන දොඩම්පේගම යන් සිනමා විචාර පිළිබඳ වැදගත් කතිකාවන්ගේ යෙදෙයි. සුප්‍රකට සිනමා විචාරක රොජර් මැනුවෙල් ලංකාවට පැමිණි විට ඔහු සමග දොඩම්පේගමයන් කළ සංවාදයක් වරක් සරසවිය මැද පිටුවේ පළ විය. විලේගොඩ ගේ නිර්දය විචාර හමුවේ බොහෝ චිත්‍රපට නිෂ්පාදකවරු සලිත වීම ප්‍රසිද්ධ කරුණක් විය.වරක් එවකට ලේක්හවුස් ආයතනයේ සභාපතිව සිටි රංජිත් විජයවර්ධන මහතා හමුවූ නිෂ්පාදකවරයෙක් බිස්කට් ගැන දැන්විම් පත්තරේ යන හින්දා ඒවායේ ගුණ දොස් ලියන්නේ නැහැනේ. ඒ නිසා චිත්‍රපට වලට දැන්වීම් දෙන්නම් විලේගොඩගේ විචාර නවත්වන්න යනුවෙන් ඉල්ලිමක් කර තිබිණ.එහෙත් විලේගොඩ අකාලයේ මිය යන තුරුම ඔහුගේ මතවාද සඳහා කිසිදු බලපෑමක් නොවිණ.

සරසවියේ ගත කළ කාලයේ මා දැන හඳුනා ගත් මෙරට මහා පුරුෂයන්යැයි සම්මත පිරිස බොහොමයකි.ලිවීමට තිබූ ආසාවත්,සිනමාව සහ නාට්‍ය කෙරෙහි තිබූ උමතුවත් නිසාවෙන් සරසවියට දායක වූ මම සරසවි සියයකින් ලැබෙන දැනුමක් ලබා ගතිමි. නීති අධ්‍යාපනය ලබන්නට නොයන්නට සිනමා පත්තර කලාවේ ඉදිරියට යන්නට මට ඉඩ තිබිණ.තව නොබෝ දිනකින් සරසවියට පනස් වසර පිරෙයි.ඒ පනස් වසරෙන් කොටසකට මගේ ජීවිතයෙන් ද වසර හතරක් දායක ව ඇති වග සිහිපත් වෙද්දී මට ඇතිවනුයේ සතුටකි.ඒ සරසවිය මගේ ජිවිතයේ කොටසක් වූ බැවිනි.එබැවින් සරසවිය සදාකල් බැබළේවායැයි මම පතමි.