වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




චාමින්ද රත්නසූරිය රැඩිකල් රොමාන්තිකයෙක් ?

චාමින්ද රත්නසූරිය රැඩිකල් රොමාන්තිකයෙක් ?

ඔහු නූතන ගීත සාහිත්‍යයේ රැඩිකල් රොමාන්තිකයාය. මේ අපූරු චරිතය අප්‍රකට වුව ද ඔහු විසින් පබඳීන ලද සුලලිත අරුත්බර මෙන්ම වෙනස්ම පද ගෙත්තම් අපේ හදවතේ නිරතුරුවම නිම්නාද වන්නේය. මීට වසර එකොළහකට පෙර අතීතයට මතකය ගෙන යා යුතුය. ඒ ඔහු විසින් රචිත වාසනාවන්ත ගීතය අදට ද අපට හොඳ හැටි මතකය.

‘හිත මා සොරා ගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගේ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නෙ නළ රැලින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කළ යෞවනියේ

ඒ ඔහු අපේ හිත හොරාගත් ගීතයයි. ඉන් අනතුරුව අප හමුවන හෙතම මල් පිපි මල් (අමල් පෙරේරා) සින්ඩරෙල්ලා, අමිෂ කෙටිම කෙටි කතාවක් (කිත්සිරි ජයසේකර), රැඩිකල් ප්‍රේමය, රොමාන්තික ඔපෙරාව (කසුන් කල්හාර), ඊමේල් කවිකාරි (අතුල අධිකාරි),සංසාර ආරණ්‍යයේ (සමිතා මුදුන්කොටුව) වැනි ගීත හරහා ගීත රචනා වංශ කතාවේ අමරණිය සලකුණු තැබීමට සමත් වූයේය.

වෙනස්ම වස්තු බීජ මෙන්ම වචන ගැළපීම සහ රචනයට සංකල්ප රූප උපයෝගි කොට ගනිමින් නිර්මාණ බිහි කරන ඔහු චාමින්ද රත්නසුරිය නම් වන්නේය. ලංකාවේ ගී පද රචනා කලාපය තුළ අහම්බෙන් නම කියවෙන හෙතෙම ඉඳහිට කරනු ලබන නිර්මාණ නිරතුරුවම කතාබහට ලක් වන ජනප්‍රිය අරුත්බර එකක්ම වූයේය.

ඒ රැඩිකල් රොමාන්තිකයා මෙතෙක් නෙලූ ගී අස්වැන්නෙන් කොටසක් ජනගත කිරීම අනිද්දා (30) සිදු වෙයි. මේ ඒ නිමිත්තෙන් චාමින්ද සමඟ කළ කතාබහකි.

චාමින්ද ඔබ අභියෝගයක් අභියස . . .

ඔව්. මං හැමදාමත් අභියෝගවලට ඉතාමත් කැමැති චරිතයක්. මේ මං ඉදිරියේ තියෙන්නෙත් ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් කියල මං හිතන්නේ නැහැ. මේ කාලේ ගීත එකතුවක් කරනව කියන්නේ කෙනෙකුට උපහාසයක් දනවන කරුණක් වෙන්නටත් පුළුවන්. නමුත් අද වන විට බුද්ධිමත්ව ගීත අහන ශ්‍රාවකයන්ට ගීත නොමැති බවක් දක්නට ලැබෙනවා. අන්න ඒ හිස් තැන පුරවන්නට තමයි මං උත්සාහ දරන්නේ.

මගේ ගීත රචනා කලා ජීවිතයේ ලියැවුණු ජනප්‍රියතම ගීත වගේම අලුත්ම ගීතත් මේ ගීත තැටියට ඇතුළත් වෙනවා. මං හිතන්නේ මේ ගීත තැටිය සංගීතය විඳීන පිරිසට දෙන කදිම තෑග්ගක්.

මෙම ගීත ගොන්නේ ඩැෆඩිල් මල ගීතය ඇහෙන්නේ වෙනත් රිද්මයකින් නේද?

එදා ඩැෆඩිල් මල සංගීතවත් කළේ කරුණාරත්න විජේවර්ධනයන්. මෙම ගීත තැටිය වෙනුවෙන් මං ඩැෆඩිල් මල ප්‍රතිනිර්මාණය කළා. මෙවර සංගීත නිර්මාණ කළේ මහේන්ද්‍ර පැස්කුවල්. නමුත් ගීතයට කිසිදු හානියක් නොවෙන්නට ප්‍රතිනිර්මාණය කරන්නට අපි වග බලා ගත්තා.

ගීත ප්‍රතිනිර්මාණය අද විලාසිතාවක්?

මට අවශ්‍ය වුණේ විලාසිතා රැල්ල ඔස්සේ දුවන්න නෙවෙයි. ගීතයක නිර්මාණයකට හානි නොවන අයුරින් ප්‍රතිනිර්මාණය කරන්නේ කෙහොමද කියන කාරණය පෙන්වන්නයි. මං හිතනවා අපි සාර්ථක වේවි කියලා.

අද ගීතයක් බිහි කරලා පැයක් යන්නට මත්තෙන් ඒ නිර්මාණ සිල්ලරට බිහි වෙනවා. මේ වගේ වකවානුවක මේ ගී තැටිය නිෂ්පාදනය කරන්නේත් ඔබමයි?

ඔව්. මං ඒ අභියෝගය බාරගෙනයි වැඩේට බැස්සේ. මට ලොකු වත්කමක් නැතිවුණාට රසිකයන්ගේ හිතවත්කම වටිනවා. ඒ නිසා මමම මේ බර කරට ගන්න හිතුවා.

ගීත එකතුව ගැනත් කතා කරමු?

පසුගිය දස වසර තුළ මං වැඩිපුරම නිර්මාණ කළේ කසුන් හා නදීක සමඟ. ඒ නිසා කසුන් කල්හාර සහ නදීක ගුරුගේ නිර්මාණ දායකත්වයෙන් හැඩ වුණු නිර්මාණ වැඩි ගණනක් ඇල්බමය සඳහා එකතු කරන්නට මා හිතුවා. නදීක හා කසුන් ගීත ගායනයෙනුත් දායක වුණා. ඒ වගේම නීලා වික්‍රමසිංහ, අමල් පෙරේරා, දයාන් විතාරණ, කිත්සිරි ජයසේකර, ලෙලුම් රත්නායක, හේෂාන් ගොඩිගමුව, නදීක ජයවර්ධන සහ නිලීකා අබේසේකර ගයන ගීත මෙම එකතුවට ඇතුළත් වෙනවා.

මේ සඳහා සංගීත වැඩ කටයුතුවලට සුනන්ද වෙත්තසිංහ තමයි දායක වුණේ. හැම දෙනාගේම මහන්සියෙන් අවසන් ප්‍රතිඵලය රසිකයන් පිනවීමයි.

ඔබ කියන්නේ මේ තුළ වානිජ පරමාර්ථයක් නෑ කියලද?

ඔව්. ඇත්තටම මේ තුළ වානිජ පරමාර්ථයක් නැහැ. මුදල් හම්බ කරන්න අවශ්‍යතාවයක් තිබුණා නම් මං මේ වෙලාවේ මේ කටයුත්තට අත ගහන්නේ නැහැ. මේ යන රටාව ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා.

මේ නිර්මාණවලට රිගින් ටෝන් එකක් දාගන්න තිබුණනේ?

මං ඩීල්වලට කැමති නැහැ. එහෙම වුණානං මං අද ඉන්නේ මෙතන නෙවෙයි. මට ඕනෑ මම හදාගත්ත මාවතේ ඉදිරියට යන්න විතරයි. මොනම හේතුවක් නිසාවත් ඒ මාවතෙන් පිට පනින්න මං කැමැති නැහැ.

ඔබ ටිකක් වෙනස් මත දරන චරිතයක්. මියුසික් වීඩියෝ ගැන තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද?

ඉස්සර අපි ගීත අහන කොට ඒවා ඇතුළේ හිටිය පෙම්වතුන්, පෙම්වතියන් හිතේ මවාගෙන ඒ අතරේ සැරිසරමින් තමයි ගීත ඇහුවේ. ඒත් අද අතැම් ගීතවල එහෙම මවා ගත හැකි චරිත හමු වන්නේ නැහැ. නමුත් මියුසික් වීඩියෝ කියන්නේ ලෝකයට අලුත් අත්දැකීමක් නෙවෙයි. අපේ බොහෝ ගීතවල රූප රචනාවන්හි ගැබ් වෙලා තියෙන්නේ ගීතයේ අදහසට හාත්පසින්ම වෙනස් අදහසක්. ගීතයක රූප රචනාවන්හි ගීතයේ අදහස තීව්‍ර කළ යුතුයි. අද ගීතයකට රූප රචනා කරද්දී ගීතය බිහි කළ ගීත රචකයා සමඟ සාකච්ඡාවක්වත් සිදු වන්නේ නැහැ. මගේ ඇතැම් ගීතවලට රූප රචනාවලින් හැඟීම් දුරස් කරලා තියෙනවා.

ලංකාවේ ගීතයක ගීත රචකයාට ඇති හිමිකම් එහෙමත් නැතිනම් කොපිරයිට් එක ගැන ඔබ සෑහීමට පත්වෙනවාද?

ඇත්තටම නැහැ. ඇතැම් වෙලාවට අපි ගීත ලියන්නේ හිතවත්කම් මත. ඒ ගීතවලට කොළවල ලියල අස්සන් කරපු සහතික නැහැ. මේ අනුව බලද්දී මං ලියන ගීතයක කිසිදු හිමිකාරිත්වයක් මට නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. මගේ හිත මට අයිති නෑ කියලා දැනුනම හිතට දැනෙන්නේ සියුම් වේදනාවක්.

ඔබේ ගීත එකතුªකරල පොතක් කරන්නටත් පුළුවන්නේ?

මේ ඒකට මොහොත නෙවෙයි කියලා මං හිතනවා. ඒකට තව කල් යාවි. මං ලියපු ගීත ටිකත් එකතු කරගත්තේ මේ කටයුත්තට අමාරුවෙන්. මං ලියපු ගීත තේමාව කර ගනිමින් ගීත තැටි දහයක් බිහි වුණා. ඒ ගීත මං ගාව තිබුණේ නැහැ. ඊළඟට ගීත පොතක් කරන්නටත් හිතක් තිබෙනවා. ඊට ප්‍රථමව මං ලියපු කෙටි කතා සංග්‍රහයක් එළිදකීවි. මේ හැම දේම තීරණය වන්නේ රසිකයන්ගේ ප්‍රසාදය සමඟ. ඒ ආදරය බලෙන් ගන්නට බැහැ.