වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අනේ අපටත් අන්තර්ජාතික සිනමා උළෙලක්

අනේ අපටත් අන්තර්ජාතික සිනමා උළෙලක්

43 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල පිළිබද ලියැවුණ ලිපි මාලවක අවසානය

ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ අත්දැකීම් අලළා ලියැවුණු ලිපි මාලාව අවසන් කරන්නට මත්තෙන් මා මෙරට සිනමා බලධාරින්ගෙන් බොහෝ විට අසනු ලබන එමෙන්ම මා වරින් වර ලිවීම් මගින් හෙළි දරව් කරන ලද පැනයක් මෙහි ද සඳහන් කළ යුතුය.එනම් ශ්‍රී ලංකාවේ දී අන්තර්ජාතික සිනමා උළෙලක් පවත්වන්නට නොහැකි මන්ද යන්නය.කලකට ඉහත මේ සඳහා සාධාරණ හේතුවක් තිබිණ.

එනම් පැවැති ආරක්ෂක තත්වයයි.එහෙත් වර්තමානයේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී විඳීන්නට තිබෙන ආරක්ෂක ගැහැට එමටය.අද එහි සිනමා ශලාවකට යන විට පමණක් නොව එකී බිම ට ඇතුළුවන විට ද බෝම්බ නිරීක්ෂණ යන්ත්‍රයන්ගේ ද ආරක්ෂකයන්ගේ ද නිබඳ පරීක්ෂාවට හසුවෙයි.එහෙත් අද අපට එම ගැටලු නැත.එමෙන්ම රටවල් රාශියක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙබඳු උළෙලකදී ඒ සදහා පැමිණෙන්නෝ බොහොමයකි.එමෙන්ම අන්තර්ජාතික වශයෙන් ලොව බොහෝ සිනමා උත්සව ජාත්‍යන්තර මාධ්‍යය හමුවේ කැපී පෙනෙයි.එය මෙරට පැවැත්වීම හරහා අපට ලබා ගත හැකි ජාත්‍යන්තර අවධානය ඉමහත්ය.

අද ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලට පරිබාහිරව එරට සෑම ප්‍රාන්තයකම වෙනවෙනම ජාත්‍යන්තර සිනමා උළෙලයන් පවත්වනු ලබනුයේ එබැවිනි.මෙම සිනමා උළෙලයන් සංවිධානය තරමක් වෙහෙස කර එකක් වුවත් එමඟින් රටකට ලැබෙන ප්‍රතිලාභ සුළුපටු නොවේ.විශේෂයෙන් සංචාරක කර්මාන්තයටද ආර්ථික සංවර්ධනයට ද එමගින් ලැබෙනුයේ මිල කළ නොහැකි ප්‍රතිලාභයකි. ඉන්දියාවේ අගනුවර වූ නවදිල්ලි නුවරින් බැහැර කොට එරට රාජ්‍ය අන්තර්ජාතික සිනමා උළෙල ගෝවේ වෙත ගෙන ගියේ ද එරට සංචාරක පුරවරය ගෝවේ බැවිනි. ඉතාලිය රෝමය වෙනුවට වැනීසිය ද ප්‍රංශය පැරීසිය වෙනුවට කාන් නගරය ද සිනමා උළෙලයන් පවත්වනුයේ එහි මූලික අරමුණ සංචාරක කර්මාන්තය බැවිනි. එමගින් රටකට ඇදී එන විදේශ විනිමය සංඛ්‍යාව විශාල බැවිනි.මෙරට අන්තර්ජාතික සිනමා උළෙලක් පැවැත්වීමෙන් මෙරටට ලැබෙන ජාත්‍යන්තර අවධානය ද ආර්ථික ප්‍රතිලාභ ද වෙනම විස්තර කළ යුතු එකකි. කෙසේ වෙතත් 2013 වසරේ දී හෝ මෙබඳු සිනමා උළෙලක වටිනාකම හා එහි ප්‍රතිලාභ අපේ බලධාරින්ට අවබෝධ වේවායැයි මම පතන්නෙමි.

උළෙලේ විශේෂ ජූරි සම්මානය පිරි නැමුණේ කියුබානු චිත්‍රපටයක් වූ una noche චිත්‍රපටයටයි. ලුසී මොලී නම් සිනමාකාරියගේ මුල්ම චිත්‍රපටය එයයි.ඇමෙරිකානු යුවතියක් වන ඇය බ්‍රිතාන්‍යයේදී සිනමාකරණය හැදැරුව ද චිත්‍රපටය නිර්මාණය කොට තිබුණේ කියුබාව වෙනුවෙනි. එය අරුම පුදුමයක් නොවේ. වර්තමානයේ සිනමාකරුවන්ගේ නිර්මාණ හරහා ඔවුන්ගේ ජාති ජම්ම සොයා ගත නොහැකි වෙයි.ඉරානයේ සුප්‍රකට සිනමාකරු අබ්බාස් කියොරොස්තාමි සිය නවතම චිත්‍රපටය නිර්මාණය කොට තිබුණේ ජපානය වෙනුවෙනි.ලුසී මොලී ගේ චිත්‍රපටයට පාදක වනුයේ කියුබාවේ සිට අමෙරිකාවට පලා එන්නට වෙර දරන ගැටවරයන් ගැන කතාවකි.

අමෙරිකානු මියාමි වෙරළේ සිට කියුබාවට ඇති දුර සැතැපුම් 72 කි.මේ දුර ගෙවා අත්ලාන්තික් සාගරය තරණය කිරීම ජීවිතය සහ මරණය අතර ඇති අරගලයකි.ඒකාකාරි හා ඉච්ඡා භංගත්වයෙන් පෙළෙන ගැටවරයන් දෙදෙනකු වූ රඔල් සහ එලියෝ යන ගැටවරයන් දෙදෙනා එයින් මිදී වඩා යස ඉසුරු පිරි අමෙරිකාවට පලා යන්නට සැලසුම් කරයි.ඔවුන්ගේ සහායට එන්නේ රඔල්ගේ නිවුන් සහෝදරිය වූ ලයිලා ය.එහෙත් ඒ සඳහා ඔවුන්ට සියලු පහසුකම් නැත. හැමතැනම ඇත්තේ දුප්පත් කම පමණී.මුදලක් සොයා ගත හැකි පහසුම ක්‍රමය නම් සිරුර විකිණීමය.කියුබාවේ සිට අමෙරිකාවට පලා යන්නේ ඇයි යන්න පිළිබඳ සිනමාකාරිය සියුම් විවරණයක යෙදෙයි.එහෙත් ඔවුන්ගේ ගමන පහසු නැත.

ඔවුන් ගමනට පාවිච්චි කරන්නේ පරණ ටයර් බැඳී පාරුවකි. හොර පාරෙන් මිල දී ගත් බෝට්ටු මෝටරය ක්‍රියාත්මක නොවීමත් සමග තිදෙනාම අලි අමාරුවක වැටෙති.එමෙන්ම එලියෝ ගේ ඇතැම් පාදඩ සිරිත් විරිත් රඔල් ට සහ ලයිලා ට මහත් හිරිහැරයකි. මේ ගමනේ ඛේදවාචකය නම් මහමුහුදේ අනතුරකින් රඔල් අතුරුදන්වීමය. අවසානයේ එලියෝ සහ ලයිලා මියාමි වෙරළට යන නමුත් මේ සරණාගතයන් නැවත කියුබානු අත්අඩංගුවට පත්වීමත් සමග චිත්‍රපටය නිමාවෙයි. තුන් වැනි ලෝකයේ බොහෝ රටවල ගැටවරයන්ගේ සිතුවිලි අතර බොහෝ සමාන කම් ඇතැයි අපට සිතෙන්නේ මේ චිත්‍රපටය සමඟය. මිල්ලේ සොයා හෝ මචං චිත්‍රපටවල ගැටවරයන් මෙරටින් පළා යන්නේත් මේ චිත්‍රපටයේ පලා යන්නේත් එකම අරමුණක් සඳහාය. එහෙත් එහි ඇත්තේ භයානක පෙරනිමිතිය.මේ ගැටවරයන් පතන ලෝකය ඒ අයුරින්ම නොසෑදෙන බැව් අපි දනිමු. එහෙත් ඔවුන් බහුතරයකට වෙනත් විකල්පයන් ද නැත.

සුප්‍රකට සිනමාකරු බර්නාඩෝ බර්ටොලුචීගේ නවතම චිත්‍රපටය ද එබඳු ගැටවරයන් පිළිබඳ තැනූ චිත්‍රපටයක් වෙයි.මී ඇන්ඩ් යූ නමින් තැනුණ එම චිත්‍රපටය නිවසින් පලා විත් නවාතැන් ගෙන සිටින 14 හැවිරිදි කොලු ගැටයකු වටාය.මේ කොලු ගැටයාට යෙහෙළියක වනුයේද විටක කරදරයක් වනුයේ ද තම අර්ධ සහෝදරියයි.එය හදිසි හමුවක් වුව ද මේ දෙදෙනා එකිනෙකා හා බැඳෙති.වැඩිහිටි හා යොවුන් විය අතර එකිනෙකා ගේ ගැටුම ද ජිවිතය පිළිබඳ අපූරු කතිකාවතක් ද බර්ටොලුචී සිය නිර්මාණයෙන් ගෙන එයි. මේ වන විට 72 හැවිරිදි මේ සිනමාකරුවා තවමත් සිතින් ගැටවරයකු යැයි අපට සිතෙන්නේ නොදැනුවත්වමය.මේ වන විට ලොව සිනමා කර්මාන්තයේ නියැලෙන වයෝවෘද්ධතම සිනමාකරුවා පෘතුගාලයේ මැනුවෙල් ඩි ඔලිවේරාය.

ඔහුගේ වයස දැන් අවුරුදු 104 කි.දැනට ලොව ජීවත් වන වැඩිමහල් ම සිනමාකරුවා මිගෙල් මොරයිස් ඔලිවේරාට වඩා වසරකින් වැඩිමහල් නමුත් දැන් සිනමාවෙන් විශ්‍රාම ගෙන ඇත්තේය.ඔහු පෘතුගාලයට අල්ලපු ස්පාඤ්ඤයේය.ඔලිවේරා නිර්මාණය කළ නවතම චිත්‍රපටය ද මෙවර සිනමා උළෙලට ඇතුළත් විය.එය ගෙබෝ ඇන්ඩ් ද ෂැඩෝනම් විය. තම පුතු?ගේ අතුරුදහන් වීමත් සමඟ ඔහු එතැයි බලාපොරොත්තුවෙන් ජීවත් වන මහලු යුවළක් සහ තරුණ ලේලියක වටා ගෙතුණ මේ චිත්‍රපටය පෘතුගාල ලේඛකයකු වූ රඔල් බ්‍රැන්ඩෝගේ නාට්‍ය පිටපතක් ඇසුරෙන් තිරයට නංවන ලද්දකි. මේ චිත්‍රපටය පුරාම දැක ගත හැක්කේ නාට්‍යයක විලාසයයි.වඩාත් ම වැදගත් කාරණය නම් අදාළ නාට්‍ය කරුවා මිය ගොස් දැනට වසර 70ක් ඉක්මවා ඇතත් මේ පුවත සර්වකාලින අගයක් ගැනීමයි.

පලස්තීනය නියෝජනය කරමින් සිනමා උළෙලට එක් වූ අනාමාරියා ජාසීර් නම් සිනමාකාරිය විසින් නිර්මාණය කරන ලද වෙන් අයි ෂෝ යූ චිත්‍රපටය 1968 දී පලස්තීනයේ සිනායි කඳුවැටි ආශ්‍රිත පෙදෙස් ඊශ්‍රාලය විසින් අල්ලා ගත් පසු සරණාගතයන් බවට පත් වන පලස්තීන දරුවකු හා ඔහුගේ මව වටා ගෙතුන චිත්‍රපටයකි. ඔවුන්ගේ සියලු යසඉසුරු අහිමි වුවද දරුවාගේ එකම බලාපොරොත්තව රටේ අනිත් පැත්තේ සිටින පියා මුණ ගැසීමයි. ඒ වන විට යටි බිම්ගත දේශපාලනයේ නියැලෙන පලස්තීන කැරලිකරුවන් ගේ ඇසුරට වැටෙන්නට දරුවාට වැඩිකලක් ගත නොවේ. එහෙත් අම්මාගේ අරමුණ දරුවා එයින් මුදවා ගැන්මය.

මේ සිනමා උළෙල පුරා මා දුටු වැදගත් තවත් කරුණක් නම් බොහෝ නම දිනූ සිනමාකරුවන් කාලයාගේ ඇවෑමෙන් වයසට ගොස් ඇති බවය.ඔවුන්ගේ සිනමාව ද නයසත් සමග ජරපත්ව ඇත්තේය. කලකට ඉහත මා බෙහෙවින් අගය කළ ටින් ඩ්‍රම්, ලොස්ට් හොනර් ඔෆ් කැතරිනා බ්ලම් වැනි චිත්‍රපට නිර්මාණය කළ ජර්මානු සිනමාකරු වොල්කර් ස්ක්ලොන්ඩ්‍රොෆ් ගේ කාල්ම් ඇට් ද සී එබන්දකි. ඔවුන්ගේ චිත්‍රපටවල තිබූ ජිවය කල් ඉකුත්වෙමින් යයි.ඒ තැන ගන්නට අලුත් සිනමා පරම්පරාවක් එළැඹෙමින් සිටියි. මේ පරම්පරාව පිවිසීමත් සමඟ දළ සේයා පටය යනු සිනමා පටය යැයි ඇදහූ පරම්පරාවද අහෝසි වන්නේය.මෙවර සිනමා උළෙල සඳහා පූර්ව දැන්වීම සකසා තිබුණේ සම්මානනීය සිනමා කරු ෂාජි එන්.කරූන් ය. ඉන්දියානු පලසක් මත ඇවිද එන මයුර යුවළ අතරින් ඉන්දියාවේ විවිධ භාෂාවන්ගේ ඇති අක්ෂර වැස්සක් මෙන් ඇද හැලෙයි. එක් අකුරක් සමග මොනරිය මොනරාට සමීප වෙයි. ඒ සමඟ ඉන්දියානු ධජයේ පැහැය සමග ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ රණ මයුර ලාංඡනය මතුවෙයි.

මෙවර සිනමා උළෙලේ දී මා දුටු විශිෂ්ටතම චිත්‍රපටය අමෝරේ ය.ඒ ප්‍රංශ බසෙහි අරුතින් සිංහලට නගන ලද කළ එය ආදරය නම්වෙයි. සිනමා කෘතියක් නරඹන විට එය ජීවිතයට පෙරළා යමක් එක් කරන්නේ නම් එය වඩා වැදගත් වෙයි. අමොරේ මගේ ජීවිත කාලය ඇතුළත මා නැරඹූ චිත්‍රපට අතරි ද ඉතා අග්‍රගණ්‍ය චිත්‍රපටයකි. ඒ පිළිබද වෙනමම ලිවිය යුතුයැයි මම සලකමි.