වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




රිදී තිරයේ දුෂ්ටයා

රිදී තිරයේ දුෂ්ටයා

රෙක්ස් කොඩිප්පිලි විවාහයට වසර 50 යි

රෙක්ස් සමඟ ජීවිත පිළිසඳරේ

රෙක්ස් කොඩිප්පිලි නම කියූ පමණින් ඔබ හඳුනා ගන්නේ ඔහු අපේ රිදී තිරයේ දුෂ්ට නළුවෙක්. එදා මෙදාතුර කාලයේදී රිදී තිරයට වගේම පුංචි තිරයටත් විවිධ චරිත මවමින් කළ ඒ රංගනය ගැන කියන්න නම් මේ වෙලාව නොවෙයි. රිදී තිරයට දුෂ්ටයකු වුණත් සැබෑ ජීවිතයේ යහපත් මහත්මයෙක් ලෙස ඔහු සිය පෞද්ගලික ජීවිතයේ සොඳුරු කඩඉමක් පසුකරලා

ජීවිත කාලය තුළදී හැමෝටම අත්විඳින්නට නොලැබෙන ඒ වටිනා අවස්ථාව නම් සිය විවාහ ජීවිතයේ පනස් වැනි වසරට එළැඹීමේ ප්‍රීතියයි. රෙක්ස් කොඩිප්පිලි, කැතරින් එස්ටර්තෝමස් සමඟින් විවාහ ගිවිසීමේ පනස් වැනි ස්වර්ණ ජයන්තිය සමරන්නටයි මේ සූදානම. විවාහය යනු මිනිසකුගේ දෙවැනි උප්පත්තියක් ලෙස ද සැළකේ. එහි පැවැත්ම සැමියා සහ බිරිඳ දෙදෙනාගේම විශ්වාසය, සහයෝගය, අවබෝධය මත රඳා පවතී. විවාහ ජීවිතය සාර්ථක වන්නේ මේ හැම කරුණක්ම නොඅඩුව පැවතියහොත් පමණි.

මිනිසකුගේ සාර්ථක අසාර්ථක බවටද පවුල් ජීවිතයේ සමගිය බෙහෙවින් බලපාන්නා සේම ඕනෑම සාර්ථක මිනිසකු පිටුපස ගැහැනියක සිටී යන කියමන ද අවිවාදයෙන් පිළිගැනේ. ඔහු අද මේ සියලු දේ ජයගත් පුද්ගලයෙකි. පනස් වසරක් යනු කෙටි කාලයක් නොවේ. ඔහු අද ඒ කඩඉම සාර්ථක අයුරින් පසුකර සිටියි. මම අද පිවිසියේ ඔහුගේත් ඇයගේත් ඒ කැදැල්ලටයි.

වසර පනහක් පුරා පැමිණි මේ ගමන ගැන මොකද හිතෙන්නේ?

ජීවිතය ගැන පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. කවදාවත් කිසි දෙයක් ගැන බරපතළ ලෙස සිතුවේ නැහැ. කාලය සමඟ හැම දේම නිසි කලට සිදු වුණා. විවාහය, දරුවන් හැම දේම සමඟ මගේ රංගන ජීවිතයත් සාර්ථකව ගෙවුණා. මෙවැනි ගමනක් සාර්ථකව එන්න ලැබුණේ ඇයගේ ඉවසීම වාගේම අවබෝධය නිසයි.

මගේ දෑස් යොමු වුණේ ඇය දෙසටයි. පනස් වසරක් පුරාවට සෙවණැල්ලක් මෙන් ඔහු පසුපසින් සිටි ඒ සුවිශේෂ චරිතය ඔහුගේ ප්‍රිය බිරිඳ කැතරින් කොඩිප්පිලි මහත්මියයි.

මේ වෙලාවේ ඔබට දැනෙන්නේ?

ආපසු හැරිල බලද්දී ජීවිතය ගැන තෘප්තියක් දැනෙනවා. ජීවිතය ගැන මහා ලොකුවට හිතලා කවදාවත් කම්පාවට පත්වෙලා නැහැ. සාමාන්‍ය සරල විදියට අපි ජීවත් වුණා. රෙක්ස් වැනි සැමියෙක් ලැබීම මට වාසනාවක්. ඔහු දුෂ්ට වුණේ තිරය ඉදිරියේදී පමණයි. හොඳ සැමියෙක්. දයාබර පියෙක්. ඇත්තටම ඔහු අවංක හදවතක් තියෙන හොඳ මහත්මයෙක්.

පනස් වසරක් ගත වෙන්නට පෙර වූ ඒ අතීතය ගැන යොමු වූ ප්‍රශ්නයේදී සුන්දර සිනහවකින් මුව සරසාගත් ඇය හැරුණේ ආදරණීය සැමියා දෙසටයි.

1960 වසරේදී විතර තමයි මම මුල්වරට කැතරින්ව දැක්කේ. ඒ හමුදාවේ හිටිය මගේ යහළුවකුගේ ගෙදර තිබුණ උත්සවයකදී. එදා ඒ අවස්ථාවට ඇයත් පැමිණ සිටියා. දැක්කම මගේ හිත ගියා. මට හිතුණා ඇය තමයි මට ගැළපෙන්නේ කියලා. දෙදෙනාගේම හිත්වල එකිනෙකා ගැන කැමැත්තක් ඇති වෙලා තිබුණේ. පසුව 1962 වසරේ ඔක්තෝබර් 31 වැනිදා දෙපාර්ශවයේම ආශිර්වාදය මැද අපි විවාහ වුණා. බැන්දට පස්සේ අපි ආදරය කළා.

එවිටත් ඔහු නළුවෙක් ද? මම ඇහුවේ ඇයගෙන්.

නැහැ. ඒ වෙන කොට එයා යුද හමුදා පොලීසියේ සේවය කළේ. පසුව ව්‍යාපාරික කටයුතුවලටත් යොමුවෙලා හිටියා. දෙවැනි පුතා ලැබුණාටත් පස්සේ තමයි රංගනයට යොමු වුණේ.

නළුවෙක් වීම ගැන ඇයගේ ප්‍රතිචාරය වුණේ?

මුලින්ම ගොඩක් අකැමැති වුණා. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතා තමයි මාව දැකල මුලින්ම මට රංගනයට ආරාධනා කළේ. ඊට පසුව මාධ්‍යවේදී කුමාරදාස වාකිෂ්ට ඇවිත් ඒ ගැන කතා කළා, කතුරු මුවත් චිත්‍රපටයේ සුළු චරිතයකට. එදා නම් ගෙදරට හොරෙන් තමයි ගියේ.

ඉතිං ඊට පස්සේ?

මගේ රංගන හැකියාව දැකල සුළු චරිතය ඉවත් කරල මාව ප්‍රධාන දුෂ්ට චරිතයට තෝරා ගත්තා. ඒ වෙලාවේ නම් ගෙදරට කිව්වා. පසුව ඇය කැමැත්ත දුන්නා. ඒ විදියට තමයි රංගන ජීවිතය ආරම්භය සිදු වුණේ. මේ වෙන කොට චිත්‍රපට දෙසීයකටත් අධික සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා. ඒ අතුරින් වැඩියෙන්ම මා සිත් ගත්තේ මුවන්පැලැස්සේ කදිරා. ඒ වගේමයි චරිත තෝරා බේරාගෙන රඟපාන්න මම කැමැති නැහැ. නළුවෙක් කියන්නේ ඒකට නෙවෙයි. ඕනෑම චරිතයක් බාර ගන්න මම කැමැතියි. වැඩිපුර ලැබුණේ දුෂ්ට චරිත. ඒ නිසයි ගොඩක් අය හිතන්නේ මම හරිම දරුණු චරිතයක් කියලා.

ඔබ රංගනයේදී බොහෝ අනතුරුවලට මුහුණ දුන් නළුවෙක්. ඒ අවස්ථාවලදී ඇය රංගනයෙන් ඉවත්වන ලෙස ඉල්ලීම් කළේ නැද්ද?

කිව්වට අහන්නේ නැහැනේ. ඒ නිසා කියල වැඩක් නැහැ කියල හිතන්න ඇති. රූගත කිරීම් අතරතුරදී වෙඩි වැදීම්, අතපය බිඳීම් වැනි අනතුරු තිහකටත් වැඩිය මුහුණ දීලා තියෙනවා. ලොකුම හිනාව චිත්‍රපටයේදී කකුල කැඩිල මාස නවයක්ම රෝහලේ නැවතිලා ඉන්න සිදු වුණා. ඇය ඒ හැම අවස්ථාවකදීම දෝෂාරෝපණය කරන්නේ නැතුව මා සුවකර ගන්න වෙහෙසුණා. ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි රංගනයට යොමු වුණා.

අද කාලේ නම් කලා තරු ගැන නොයෙකුත් කටකතා පැතිරෙන අවස්ථා තියෙනවානේ. මම යළිත් හැරුණේ ඇය දෙසට. ඔබටත් එවැනි දේ අසන්නට ලැබිල තියෙනවද?

අනේ නැහැ. මම කවුරුවත් කියන දේ කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. රෙක්ස් ගැන නම් මට එහෙම දේ අහන්න ලැබිලත් නැහැ. මට ඔහු විශ්වාසයි. එදා තැබූ ඒ විශ්වාසය අදටත් එහෙමයි. ඉදිරියටත් ඒක බිඳෙන්නේ නැහැ.

මෙහෙමයි, ඒ කාලේ අද වගේ කට කතා පැතිරිම් නම් තිබුණේ නැහැ. මං හිතන්නේ නැහැ කවුරුවත් බොරුවටවත් මං ගැන එහෙම දෙයක් කියන්න ඇති කියලා. මම එදත් අදත් කවදත් කා සමඟත් සුහදව කටයුතු කළා. නළු නිළියන් විතරක් නෙවෙයි, කාර්මික ශිල්පීන් සමඟ පවා මා තුළ හොඳ සුහදත්වයක් තියෙනවා. හැබැයි කටකතා හදල මට බයේ කවුරුවත් ඒවා කියන්නේ නැතුව හිටියද කියල නම් දන්නේ නැහැ. ඔහු එහෙම කිව්වේ මහ හයියෙන් සිනහ වෙමින්.

අද කලා ලොවේ බොහෝ දෙනෙකුගේ විවාහ ජීවිත සීමිත දින ගණන් වලින් අවසන් වීම බහුලව දක්නට ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වීම ඔබ දකින්නේ?

බොහෝ වෙලාවට සිදු වෙන්නේ එකිනෙකා පිළිබඳ විශ්වාසය නොමැති වීම තමයි. ඒ වගේම බොරු කටකතා, මඩ ප්‍රහාර අද හැම තැනම තියෙනවා. පුංචි බොරුවකින් ලොකු විනාශයක් පවා සිදු කරන්නට පුළුවන්. ඒ වගේ පුංචි කට කතාවකින් ලස්සන පවුලක් වුණත් කඩා ඉහිරවන තරමට අද ප්‍රබල වෙලා තියෙනවා. ඒක තේරුම් අරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්නයි ඕනෑ. එකිනෙකා පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙනවා නම් බොහෝ පවුල් ජීවිත කෙටි කාලයකට සීමා වෙන්නේ නැහැ.

ඊළඟට මම යළිත් හැරුණේ ඇය දෙසට.

තිරය ඉදිරියේ දුෂ්ට නළුවා ගෙදරටත් සැරයිද?

ඔහුගේ පෙනුම කතා විලාසය අනුව සමහරු එහෙම හිතනව ඇති. ඒත් ඔහු උණුවන හදවතක් ඇති සංවේදී පුද්ගලයෙක්. එහෙම කවදාවත් සැර වෙලා නම් නැහැ. රණ්ඩු නම් කවදාවත් ඇති වෙලා නැහැ. ගැටලුවක් ආවොත් දෙදෙනාම කතා කරල විසඳ ගන්නවා.

දරු මුනුපුරන් ගැනත් කියමු?

ලොකු දුව රුෂාන්ති. දෙවැනියා පුතා ප්‍රසන්න. බාල දුව සුරේඛා. දුවලා දෙන්නාම විවාහ වෙලා ඉන්නේ ඔස්ටේ‍්‍රලියාවේ. පුතා අපි දෙන්නා සමඟ ඉන්නේ. ඔහු ව්‍යාපාරික කටයුතුවල නිරත වෙනවා. මේ තුන්දෙනාටම කලා හැකියාව තියෙනවා. නමුත් ඒ සඳහා යොමු වෙන්න උනන්දු වුණේ නැහැ. අපි බල කළෙත් නැහැ. අපිට මුනුපුරන් තුන් දෙනෙකුත් මිනිබිරියන් තුන් දෙනෙකුත් ඉන්නවා. ඔවුනුත් පාසල්වල කලා කටයුතුවලට දායක වෙලා ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ හැමෝම අපිට සතුටක්.

අවසානයේදී මේ සාර්ථක ගමනේ රහස ගැන මම ඇහුවේ ඔහුගෙන්?

ඕනෑම දෙයක් හොයල බලලා තීරණය කරන්න වගේම ඇය මා කෙරෙහි තැබූ විශ්වාසය තමයි මේ සාර්ථක ගමනේ මූලික අඩිතාලම වුණේ. ඇය කවදාවත් මගේ වචනයට පිටින් ගියේ නැහැ. අපි දෙන්නාගේ ගමනේ සාර්ථකත්වය එයයි. ඔහු මෙහෙම කිව්වේ ආදරණිය බිරිඳ කැතරින් දෙස සෙනෙහසින් බලමින්.

කාලය ටිකෙන් ටික ගත වෙයි. කාලය සමඟ අප ද ගමන් කළ යුතුව ඇති බැවින් මෙය අකුරු කරන්නට මම ඒ සෙනෙහෙබර කැදැල්ලෙන් සමුගතිමි.