වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




කංචන, ශානිකා විවාහ වූදා . .

කංචන, ශානිකා විවාහ වූදා . . .

පුංචි තිරයේ දිග හැරුණු ‘වහල් දූපත’ ටෙලි වෘතාන්තයෙන් රසික රසිකාවියන් හඳුනාගත් මේ කඩවසම් තරුණයා අද ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ළඟා වී හමාරය. මේ යෞවනයාගේ ජීවිතයේ වැදගත්ම සංදිස්ථානයක් වූ ඔහුගේ මංගල්‍යය පසුගියදා වර්ණවත් ලෙසින් එහෙත් චාම්ව මීගමුවේ ‘ජෙට්වින් බ්ලූ’ හෝටලයේදී පැවැත්විණි.

ඔහු කංචන කොඩිතුවක්කුයි. ඔහුගේ කැදැල්ලට පියඹා ආවේ පුද්ගලික සමාගමක සේවයේ නියුතු රූමත් ශානිකා පෙරේරා මෙනෙවියයි. මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ඉසුරු සංග්‍රාමයේ මාධවගේ සහ සිඳංගනා ටෙලි නාට්‍යයේ ආදිත්‍යගේ චරිතයන් නිසා මේ දිනවල කංචන රසිකයන්ගේ සිහින කුමාරයා වී හමාරය. ‘අබා’, ‘එකමත් එක රටෙක’, ‘නිලම්බරේ’, ‘ආදරණීය වස්සානය’, ‘භවතරණ’ කංචන රඟපෑ චිත්‍රපටය.

ආගමික චාරිත්‍රානුකූලව කුරණ ශාන්ත ආනා දෙව් මැදුරේදී මංගල මුදු පැළැන්දූ නව යුවල ඉනික්බිතිව මීගමුව ‘ජෙට්වින් බ්ලූ’ හෝටලයට පැමිණියේ ආරාධිතයන් හා එක් වී ඔවුනගේ සතුට බෙදා ගන්නයි.

ශානිකාව සුන්දර මනාලියක ලෙස හැඩ ගැන් වූයේ ප්‍රවීණ රූපලාවන්‍ය හා මෝස්තර නිරූපණ ශිල්පී මයිකල් විජේසූරියයි.

මලින් උත්සවය වර්ණවත් කළේ ‘ලස්සන ෆ්ලෝරා’ ආයතනයයි. ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ඔවුන්ගේ මංගල උත්සවය ආවරණය කළ අතර, මංගල උත්සවයේ ආටෝප, විච්චූර්ණ බොහෝ දුරට අඩුකර තිබූ අතර ඒ සඳහා වැයවන මුදල් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කෘත්‍රීම පාද පණහක් පරිත්‍යාග කිරීමට කංචන කටයුතු යොදා ඇති බැව් පැවසූයේ කාහටත් ආදර්ශයක් වන පරිද්දෙනි.