වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඒබ්‍රහම් ලින්කන්ගේ වැම්පයර් දඩයම

ඒබ්‍රහම් ලින්කන්ගේ වැම්පයර් දඩයම

කුඩා ඒබ්‍රහම් තම සටහන් පොතේ යමක් ලියමින් සිටියි. නිවසින් එළියේ අසාමාන්‍ය මීදුමක් සහිතය. අශ්වයෙකුගේ කුර ගැටෙන හඬක් සමඟ උසැති කළු තොප්පියක් ලාගත් මිනිසෙකු නපුර රැගෙන පැමිණෙයි. තම මවගේ ඇඳට උඩින් පිහිටි ඒබ්‍රහම්ගේ ඇඳ මත බියෙන් තැති ගනිමින් බලා සිටින ඔහු දකින්නේ මවගේ ඇද අසල ඇගේ මුහුණට එබී සිටින ජැක් බාට්ස්වය.

පසුදා උදෑසන යටිගිරියෙන් කෙරෙන කෑ ගෑමක් සමඟ අවදි වන්නෝ සහලවල උණ සෑදී,අත පුරා සර්පයන් දුවන්නා සේ නහර රතු පැහැ ගැන්වී මරු විකල්ලෙන් දගලන නැන්සිව දකී. ඈ අකාරුණික ලෙස මිය යයි. සියල්ල පටන් ගන්නේ එතැනිනි. මේ වෛරයක අවසාන ගිනි පුපුර තෙක් සටන් කරන ඒබ්‍රහම් ගේ අපි නොදන්නා කතාවයි.

මේ 1918 ඉන්දියානාවයි. වහල් සේවය මෙවකට අමෙරිකාව පිළිලයක් සේ වසා ගනිමින් සිටියි. නමුත් වහල් සේවයට වඩා දරුණු යමක් සමාජය වසා ගන්නට මාන බලමින් හිදියි. ඒ වැම්පයර් භීතිකාවයි. මිත්‍යා කතන්දර ලෙස එවකටත් සැලකුණු ලේ උරා බොන්නන් ගැන කියැවෙන 'ඒබ්‍රහම් ලින්කන්:වැම්පයර් හන්ටර්' මිත්‍යාව වැපිරෙමින් පවතින මෙවන් කාලයක නිසියාකාර වෙඩි උණ්ඩයකි. ඒ සියල්ලට වඩා අමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් යනු වහල් සේවය අවසන් කළ පුද්ගලයා පමණක් නොව අමෙරිකාවේ බලය දිනා ගැනීමට සටන් කළ වැම්පයරයන් තුරන් කර දැමූ පුද්ගලයා ලෙස සිනමාපටයෙන් නව අර්ථකථනයක් ලබා දෙයි.

'වැම්පයර් ඩයරීස්','ට්වයිලයිට්','ටීන් වුල්ෆ්' ආදී රූපවාහිනී කථාංග සහ සිනමාපට හරහා ඉමහත් ජනප්‍රියත්වයට පත් වැම්පයර චරිත වත්මන තුළ විස්වාස කළ නොහැකි තරම් දුර කියවීමකට බොහෝ රසිකයන් යොමු කර ඇත. හුදෙක් මේ රූපවාහිනී කථාංග නැරඹීමෙන් සෑහීමකට පත් නොවන ඔවුන් විකිපීඩියා ඇතුළු තොරතුරු සපයන වෙබ් අඩවි සහ මුද්‍රිත පොත් හරහා දැණුම රැස් කර ගනිමින් හිදියි. මෙවන් වටපිටාවක නරඹන්නා මෙවන් මිත්‍යා කථාන්දර අරඹයා වැඩි දැණුමකින් පසුවෙයි.

'ඒබ්‍රහම් ලින්කන්:වැම්පයර් හන්ටර්' දුරාතීතයේ වැම්පයර් ජවනිකාවක් ගෙන එයි. ඒබ්‍රහම් ලින්කන් තම මවුපියන් සමඟ වෙසෙන්නේ ජැක් බාට්ස් නැමති වහල් හිමියාගේ භූමියකය. ඒබ්‍රහම්ගේ පියා ජැක් යටතේ වැඩ කරන මුත් ඔහු වහලෙක් නොවේ. නමුත් සෙසු බහුතරය වහලුන්ය. අප්‍රිකානු,අමෙරිකානු වහලුන්ය. මේ අතරින් කුඩා ඒබ්‍රහම්ගේ යහළුවෙකු වන විලියම් ජොන්සන්ගේ මවුපියන් ජැක් වෙතින් තැලුම් කයි. ඊට විරුද්ධ වන විලියම්ද කසයෙන්ම තැලුම් කයි. අසාධාරණය නො ඉවසන ඒබ්‍රහම් දර කපමින් සිටි පොරොව ගෙන ජැක්ට පහර දීමට දිව යයි. ඉවතට විසි කර දමන කුඩා ඒබ්‍රහම් දෙවැනි වරටත් ජැක් සමඟ වෛර බැඳ ගනී. කුඩා ජොන්සන්ගේ කම්මුල හරහා ජැක්ගේ කසයේ පහර සළකුණු වෙයි.

වසර නවයකට පසුව තරුණ ඒබ්‍රහම් ජැක්ගෙන් පළි ගැනීමට යන්නේ තුවක්කුවක් රැගෙනය. ඒ ජැක් යනු වැම්පයරයෙකු බව නොදැනය. අවාසනාවන්ත ලෙස තුවක්කුව පත්තු නොවී යාමෙන් තරුණ ඒබ්‍රහම් යස අමාරුවක වැටෙයි. සිනමාපටයේ මූලික පුරුක ප්‍රේක්ෂකයා හදුනා ගන්නේ මෙන්න මෙතැනදීය. ඒ වඩා කඩවසම් හෙන්රිය. ජැක්ව ඔසවා වහල කැඩී බිදී යන සේ විසි කරන හෙන්රි ඇටකටු කැඩී අධික තුවාල ලැබූ ඒබ්‍රහම්ව තම නිවසට ගෙන යයි. හෙන්රිගේ අමුතු හැසිරීමෙන් ඔහු මනුෂ්‍යයෙකු විය නොහැකි බවට සැකයේ බීජයක් ප්‍රේක්ෂකයා තුළ වගා කෙරෙන අතර ඒබ්‍රහම් ඒ කිසිවක් නොදැන තම පළිගැනීම පසුපස සිත යොමු කරනු පෙනෙයි.

දැන් හෙන්රි යනු හදිසියේ ප්‍රාදූර්භූත වූ පුද්ගලයෙකු නොව අප කවුරුත් හොඳීන් දන්නා ගැලවුම්කාරයෙකු බව ඒත්තු ගන්වමින් ඒබ්‍රහම් හට වැම්පයරයන් දඩයම් කිරීමේ කලාව උගන්වයි. වෛරයෙන් කුළු ගැන්වුණු සිත් ඇති ඒබ්‍රහම් හෙන්රිගේ අසාමාන්‍ය කාය ශක්තිය හෝ අසාමාන්‍ය හැසිරීම තුට්ටුවකට මායම් නොකරයි. මිත්‍යා කථාන්දරවලට අනුව වැම්පයරයන් හට හිරු එළියේ ගමන් කිරීම අපහසු මුත් මෙහි නිරූපනය වන වැම්පයරයන්ට එසේ නැත. කළු කණ්ණාඩි පමණක් පැළැද ගෙන ඔවුන් හට හිරු එළියේ ගමන් කළ හැකි බවක් පෙන්වයි. වැම්පයර කථා නැරඹූ,කියවූවන්ගේ විස්වාසය බිඳ දමන මේ කරුණු එතරම් සැලකිල්ලට ගත යුතු නැතැයි සිතීම අපහසුය.

එහෙත් මිත්‍යාවකට තමන් කැමති හැඩයක් ගැනීමේ අයිතිය ඇති බැවින් ඒ පසුපස හඹා යාම යුතු නොවේ.

ඒබ්‍රහම් අනපේක්ෂිත ලෙස ආලයෙන් වෙළීමත්,ඒ සමාන්තර කාලය තුළම වෙනත් නගරයකට සංක්‍රමණය වී වැම්පයරයන් දඩයම් කිරීමත් සිනමාපටයේ රසය අවුළුවාලන සුළුය. ඉතාමත් ශෝකී අවස්ථා මෙන්ම අති බිහිසුණු අවස්ථා ඒ ඒ රසයට අනුව උත්කර්ෂයට නැංවීමට සමත් මේ සිනමාපටය භාවිත කර ඇති ත්‍රිමාණ සජීවීකරණ ප්‍රයෝගද සිත් ගන්නා සුළුය. වඩා විස්වසනීයය. 1818 තරම් ඈත කාලයක ජන ජීවිතය චිත්‍රණය කර ඇති ආකාරයද වඩාත් ආකර්ශනීයය.

වැම්පයරයන් මරා දැමීමට ඔහු භාවිත කරන උපක්‍රම ආදිය අතිශය කුතුහලය වඩවනා සුළුය. වහලුන්ව තම ආහාර සපයා ගැනීමේ මාර්ගයක් ලෙස තබා ගන්නා වහල් හිමි වැම්පයරයන් වැම්පයර යුද්ධයකට අවතීර්ණ වීමත්,ඒබ්‍රහම් දේශපාලනයට යොමු වීමත් සමගාමීව සිදු වෙයි. සැබවින්ම මිත්‍යාවක අංශුමාත්‍රික සත්‍යයක් තිබිය නොහැකිදැයි ප්‍රේක්ෂකයා සිතන්නේ මෙන්න මෙවිටය. අතීතයේ යම්,යම් සිද්ධි අතර මෙවන් අසාමාන්‍ය කතාන්තර සමාන කර බලන විට වැම්පයර ඉතිහාසය සමඟත් අපට ගැටෙන්නට සිදු වෙයි. එහෙත් සැනින් එය ඉවතලන්නට සිදු වන්නේ සත්‍ය යැයි පිළිගත හැකි දේ හමු නොවන හෙයිනි. එහෙත් ඇස රවටන මායාව වන් මිත්‍යා කතාන්දර වඩාත් සිත පිනවන්නේ නොවේද?

තම හිතවතා හෙන්රි වැම්පයරයෙකු බව දැන ගැනීමත්,ඔහු තමාව මුලා කළ බව සිතන ඒබ්‍රහම් හෙන්රි සමඟ ගැටීම පටන් ගනී. දේශපාලනය නම් අසමාන කාර්යය ඒබ්‍රහම්ව වඩා ඉහළට ගෙන යන අතර අවසන ඔහු අමෙරිකාවේ ජනධිපතිවරයා ලෙස තේරී පත් වෙයි. එහෙත් ඔහු සමඟ සටනට එන්නේ වැම්පයරයන් මූලික තැන ගත් සතුරන් සමූහයකි. වෙඩි තබා විනාශ කළ නොහැකි මේ වැම්පයර හමුදාව මට්ටු කරන්නට රිදී සොයන ඒබ්‍රහම් වැම්පයරයන් සමඟ සැබෑ සටනකට එළැඹෙයි.

එහෙත් සැබෑ ජීවිතයෙන් පැරදෙන ඒබ්‍රහම් හට තම පුත්‍රයා අහිමි වෙයි. ඔහුව අමරණීය කිරීමට තමාට හැකි බව හෙන්රි පැවසුවත් ඒබ්‍රහම් ඊට එකඟ නොවෙයි. ඒබ්‍රහම්ගේ බිරිය තම පුත්‍රයාව වැම්පයරයෙකු කරන ලෙස ආයාචනා කරයි. එහෙත් නියත මරණයක් ලෙස එය පිළිගන්නා ඒබ්‍රහම් වැම්පයරුන් සමඟ අවසන් යුද්ධයට එළැඹෙයි.

ඒබ්‍රහම් ලින්කන් ලෙස විශිෂ්ට රංගනයක නිරත වන බෙන්ජමින් වෝකර්,හෙන්රි ස්ටර්ජස් ලෙස රඟන ඩොමොනික් කූපර්,ජැක් බාට්ස් ලෙස රඟන මාටන් සෝකස්,නැන්සි ලින්කන් ලෙස රඟන රොබින් මැක්ලෙවි ද සිනමාපටයට සපයා ඇත්තේ විසාල ආලෝකයකි. ටිමර් බෙක්මැම්බටව් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටය නිෂ්පාදනය කර ඇත්තේද ඔහු සහ දෙදෙනෙකු විසිනි. මේ සිනමාපටයට පාදක වී ඇත්තේ සෙත් ග්‍රැහැම් ස්මිත් ගේ ඒබ්‍රහම් ලින්කන්:වැම්පයර් හන්ටර් නම් නවකතාව ඇසුරිනි. සිනමාපටයේ මුල් සති අන්තය උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් 16,306,974 කි. 2012 නොවැම්බර් 15 වැනිදා සිනමාශාලා 3,108 ට නිකුත් කර ඇති මේ සිනමාපටය මේ දක්වා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් 114,389,927 කි. වැම්පයර කථාවකට නො සරිලන තරමේ ගීත 22 ඇතුළත් සිනමාපටය ත්‍රාසය මෙන්ම ආදර තිගැස්මක්ද ඔබට නො අඩුව ලබා දීමට සමත්ය.