වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




දහම් පාසල් උපකරන දෙන්න: සංගීත රාති‍්‍රය 28 දා බුලත්සිංහලදී

දහම් පාසල් උපකරන දෙන්න: සංගීත රාති‍්‍රය 28 දා බුලත්සිංහලදී

බුලත්සිංහල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දහම් පාසල් සඳහා උපකරණ ලබාදීමට ආධාර පිණිස බුලත්සිංහල යොවුන් පදනම සංවිධානය කරනු ලබන සංගීත රාත්‍රිය දෙසැම්බර් 28 වැනිදා රාත්‍රී 7.00 සිට බුලත්සිංහල මහජන ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

සන්ෆ්ලවර් සංගීතයට නිහාල් නෙල්සන්, ධනපාල උඩවත්ත, කේ. සුජීීවා, ජින්ජර්, සේනානායක වේරලියද්ද, ආත්මා ලියනගේ, ප්‍රියා සූරියසේන ඇතුළු ජනප්‍රිය තරු රැසක් ගී ගයන මෙම සංගීත රාත්‍රිය ලක්මිණි රංගායතනයේ නර්තනයෙන් සහ මල් වෙඩි සංදර්ශන සමඟින් විචිත්‍රවත්වේ.


නරි බුරති 29 හංවැල්ලේ

සමුදුර එන්ටර්ප්‍රයිසස් සේවක සුබසාධක සංගමය ඉදිරිපත් කරන සරත් කොතලාවලගේ නරි බුරති මෙම 29 වෙනි සෙනසුරාදා සවස 3.30 ට සහ 6.30 ට හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේදී වේදිකා ගතවේ.


‘ස රි ග ම මාස්ටර්’ කඩුවෙල දී

අදීශ කාන්චන නාට්‍ය නිර්මාණයක් වන ‘ස රි ග ම මාස්ටර්’ වේදිකා නාට්‍යය දෙසැම්බර් 27 කඩුවෙල ‘විජයන්ති’ සිනමා ශාලාවේදී වේදිකා ගත වේ.

සුමිත් ගල්හේන, දයානන්ද හේවගේ, ශ්‍රියාණි කුරුවිට, භාතිය මදනායක, අවන්ත පෙරේරා, ශාන්ත රණතුංග, චින්තක පතිරණ, ප්‍රභාත් ගුණසේකර සහ අදීශ කාන්චන රංගනයෙන් දායක වන අතර වේෂ නිරූපණය ප්‍රේමජයන්ත කපුගේ සහ සංගීතය හර්ෂ ආරියසිංහ විසිනි.


‘සවරංගී ගී සත්කාරය’ හෙට යළි ගීතවත් වේ

ගායන ශිල්පිනී චින්තා ප්‍රියංගනී ගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘සවරංගී ගී සත්කාරය’ මෙම 28 වැනි දා සවස බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ දී පැවැත්වේ.

පසුගියි නොවැම්බර් 02 වැනි දා කලින් මෙය පැවැත්වීමට නියමිතව තිබණත් එදින එය නොපැවැත්වූ හෙයින් එම ආරධනා පත් ද මෙදිනට වලංගුවේ.

මියුරු හඬින් ගීත ගයන චින්තා ප්‍රියංගනී චිත්‍රපට හා ටෙලි නාට්‍ය පසුබිම් ගායිකාවක ද වේ. සංගීතවේදී සුනිල් ධර්මසේන ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් රස ගැන්වෙන ‘ස්වරංගී ගී සත්කාරය’ සඳහා විශාරද එඩ්වඩ් ජයකොඩි, පෝල් ප්‍රනාන්දු, වර්ණන් පෙරේරා, දයාන් විතාරණ, මාලදිවයින සම්මානනීය ගායක අබ්දුල් හන්නාන්, එරන්ද පැතුම් සහ චලන ලහිරු (සුනිල් ධර්මසෙනගේ පුතු) යුග ගායනයෙන් එක්වෙති. කථනය ගුණවර්ධන හෙට්ටිආරච්චි ගෙනි.


විජය කුමාරතුංග විසිපස් වැනි ගුණ සමරුව

ඔබේ නිර්මාණ ජනවාරි 10 ට ප්‍රථම එවන්න

ලබන වසරේ පෙබරවාරි 16 දිනට යෙදෙන විජය කුමාරතුංගයන්ගේ විසිපස් වැනි ගුණ සැමරුම කේන්ද්‍ර කර ගනිමින් ගද්‍ය සහ පද්‍ය රචනා තරඟයක් පැවැත්වීමට මහනුවර විජය කුමාරතුංග සමාජ සංස්කෘතික කේන්ද්‍රය බලාපොරොත්තු වේ.

නිර්මාණ කළ යුත්තේ පහත සඳහන් මාතෘකා යටතේය.

මානව හිතවාදී කලාකරුවා විජය කුමාරතුංග, ජාතික සමගිය සුරක්ෂිත කිරීමට උරදුන් මානව හිතවාදී දේශපාලඥයා, සිනමාව, දේශපාලනය, සමාජය සහ විජය, විජය කුමාරතුංග නම් වූ ඔහු, පද්‍ය නිර්මාණයන් කවි අටකට සීමා විය යුතු අතර ගද්‍ය රචනා වචන එක්දහස් පන්සියයකට අඩු විය යුතුවේ.

ඔබේ නිර්මාණ ජනවාර් මස 10 දිනට ප්‍රථම ලේකම්, විජය කුමාරතුංග සමාජ සංස්කෘතික කේන්ද්‍රය, හාරගම, ගුරුදෙණිය, මහනුවර යන ලිපිනයට යොමු කරන්න.


බන්දු යළි අධ්‍යක්ෂණයට, දියණිය සහ පුතු සිනමාවට

හාස්‍යෝත්පාදක රංගනයෙන් දශක හතරකට ආසන්න කාලයක් අප පින වූ බන්දු සමරසිංහ තෙවැනි වරටත් ‘පීටර් වන්’ සමඟ අධ්‍යක්ෂවරයකු වෙයි. ඉතාම රහසිගත අන්දමින් මුහුරත් උළෙලකින් හෝ මාධ්‍ය දැනුම්දීමකින් තොරව රූගැන් වූ මෙම චිත්‍රපටය බන්දු සමඟ රොඩ්නි වර්ණකුල ප්‍රථම වරට එකට රංගනයේ යෙදීම විශේෂත්වයකි.

එමෙන්ම පීටර් වන් සමඟ බන්දුගේ පුතු කුමර සමරසිංහ සහ දියණි රසෝඝා සමරසිංහ තිරයට හඳුන්වා දෙයි. සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පුතු ජයන්ත රත්නායකගේ කුලුඳුල් සිනමා සංගීත අධ්‍යක්ෂණය ද පීටර් වන්වේ.

බන්දු වසර තුනකට පසු රංගනයට එන පීටර් වන් සඳහා සෙසු චරිත ලක්ෂ්මන් මෙන්ඩිස්, වීණා ජයකොඩි, නිලන්ති ඩයස්, මානෙල් වානගුරු, සරත් කුලාංග, රංජිත් සිල්වා, ටිරෝන් මයිකල්, සුසිල් පෙරේරා, විපුල වන්නිආරච්චි, ශ්‍රී ලියනගේ, ඉන්දික ජයසිංහ, මිල්ටන් සෙබස්තියන්, බුද්ධිමා මධුශානි, ලෂිත ලක්මාල් සමඟ ජිප්සීස් නායක සුනිල් පෙරේරා (ආරාධිත) රංගනයේ යෙදෙයි.

ස්වර්ණ ෆිල්ම්ස්, අක්මාල් වික්‍රමනායක සම නිෂ්පාදකවරුන්ය.

කතාව නිර්මාණය බන්දු සමරසිංහගෙනි. රෝදය සහ පෙම් මල්මාලා බන්දු මීට ප්‍රථම අධ්‍යක්ෂණය කොට ඇත.


අපේ සිනමාවට ‘බ්ලැක් මැජික්’ එයි

කැමරාව ක්‍රියාත්මක කළ මොහොත, රොහාන්, සුනිල් ටී.ඩෙන්සිල් ජයවීර

ඩිජිටල් සිනමාකරණය සඳහා ලොව නවීනතම කැමරාව වන බ්ලැක් මැජික් සිනමා කැමරාවේ දකුණු ආසියානු ක්‍රියාන්විතය රොහාන් වැලිවිටගේ සභාපතිත්වයෙන් ෆයින් විෂන් ආයතනයේදී පසුගියදා ඇරැඹිණ.

සුනිල් ටී. ප්‍රනාන්දු, ජයනාත් ගුණවර්ධන, පුෂ්ප කුමාර රාජගුරු, ජනිත මාරසිංහ, තිස්ස නාගාඩවිතාන, සුදේශ් වසන්ත පීරිස්, ඩෙන්සිල් ජයවීර, නීටා ප්‍රනාන්දු, යොලැන්ඩා වීරසිංහ, පියල් වීරසිංහ ආදීහු මේ අවස්ථාවට සහභාගි විය.

ලොව ප්‍රමුඛ වර්ණ සංයෝජන මෙවලම වන ඩාවින්සි ඩීඅයි පද්ධතිය ද මෙම කැමරාවට අනුබද්ධව නිර්මාණය කළේ බ්ලැක් මැජික් ඩිසයින් අමෙරිකානු සමාගමයි.


පබිලිස් සිල්වා ජීවිත කතාව බර්ට්‍රම් නිහාල්ගෙන් තිරයට නැගේ

ජනප්‍රිය සහ ප්‍රවීණ සුපවේදී පබිලිස් සිල්වාගේ ජීවිතයේ රසමුසු තැන් අළලා වාර්තාමය වැඩ සටහනක් නිර්මාණය වෙමින් පවතියි. එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ විශිෂ්ට රූපවාහිනී නිර්මාණවේයකු වන බර්ට්‍රම් නිහාල් විසිනි.

දුෂ්කර වූ ගමන් මගක පැමිණ වත්මන වනවිට ලංකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රචලිත සුපවේදියකු වූ පබිලිස් සිල්වාගේ ජීවිතය, සුපවේදය සහ දේශීය ආහාර සැකසුම මෙන්ම මෙරට ආහාර සංස්කෘතිය පිළිබඳ රසවත් තොරතුරු ද මෙයට ඇතුළත්වේ. ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඩී. මහින්දපාලයන් කැමරා අධ්‍යක්ෂණය කරන මෙය පබිලිස් සිල්වාගේ ජීවිතයේ සොඳුරු මතක සටහනක් වනු ඇති.

මහින්දපාල සහ බර්ට්‍රම් නිහාල් දීර්ඝ කාලයක් මුළුල්ලේ එකට නිර්මාණකරයේ යෙදුන අතර ඔවුන් මුල් වරට වාර්තා චිත්‍රපටයකට යොමු වූයේ 1979 වසරේදී රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් තැනූ උදා හිරු උදානය වෙනුවෙන්.


කලා භූෂණ සම්මාන උළෙල දා

ශ්‍රී ලාංකේය සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයන්ට නව නිර්මාණ බිහි කරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ වයස අවුරුදු 60 ඉක්ම වූ දැනට ජීවිතයේ සැදෑ සමය පසු කරමින් සිටින කලාකරුවන්ට උපහාර දක්වනු පිණිස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කලා භූෂණ සම්මාන උළෙල පසුගියදා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්විණ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි. බී. ඒකනායක මහතාගේ ප්‍රදානත්වයෙන් සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඒ. කේ. ඩී. එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර් යන මහත්වරු ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් මෙයට සහභාගි විය.

මෙවර සිංහල දෙමළ සහ මුස්ලිම් කලාකරුවන් 264 දෙනකු සඳහා කලා භූෂණ සම්මාන පිරිනැමීම අමාත්‍යාංශය පියවර ගෙන තිබිණ.

මෙම සම්මානලාභීන් තෝරා ගැනීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හින්දු කටයුතු දෙපාර්තමේන්තුව සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ සහය ඇතිව ස්වාධීන විනිශ්චය මණ්ඩලයකින් සිදු කර ඇත.