වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




දොඩම් ගොඩ බදා ගත්ත වගේ හැමදේම බාර අරන් රඟපාන්න බෑ

දොඩම් ගොඩ බදා ගත්ත වගේ හැමදේම බාර අරන් රඟපාන්න බෑ

ඉඳුවරී සුංගි – භාග්‍යා හෙට්ටිආරච්චි

ඇගේ විසල් දෑස් බිම බලාගත් ගමන්ය. ක්ෂණයකින් ඇගේ ලාමක දෑත්වලින් මුහුණ සඟවා ගත්තීය.

සුංගි . . .

මා ඇයට ඇමතුවේ ඇය හඬතැයි බියෙනි.

හිස ඔසවා ඇය මා දෙසත් අප ඡායාරූප ශිල්පී මාලන් දෙසත් වරින්වර බැලුවාය.

මොකද මේ?

මම කතාවට ප්‍රවේශයක් ලබා ගත්තෙමි.

මුකුත් නැහැ. ටිකක් දුක හිතුණා.

ඇයි ඒ?

අනිත් අය කරන සමහර දේවල් සුංගි ආසාවෙන් නෙවෙයි බලාගෙන ඉන්නේ.

ඉතින්?

ඉතින් තමයි.

ඔයා දැන් සුංගි වුණා ඇති.

මම ඇයව සුංගිගෙන් මුදවමි. මේ සුංගි සිටින්නේ ඉඳුවරී නාට්‍යයේ බව අමුතුවෙන් කිව යුතු නැත. භාග්‍යා හෙට්ටිආරච්චි. ඒ සුංගිගේ ඇත්ත නමය.

සුංගිට නම් ගොඩක් තියනවා නේද?

ඔව්. මින්දුලි කියලත් කියනවා. මිෂෙල් සහ අප්සරා යනුවෙන් බොරු නම් දෙකකුත් තියනවා. ඉඳුවරිහි පිටපතට අනුව ඇයට තැන් කිහිපයක නවතින්න වෙනවා. එතකොට ඇය භාවිත කරන්නේ ඒවා.

සුංගිව ඔබට ලැබෙන්නේ?

ඉඳුවරිහි අධ්‍යක්ෂ ලිලින්ත කුමාරසිරි අයියව මං කාලයක් තිස්සේ දන්නවා. ඔහු දිනක් මට කතා කරල ටිකක් සංකීර්ණ චරිතයක් තියනවා කරන්න කැමැති ද ඇහැව්වා. පිටපත කියෙව්වාම චරිතයට ආස හිතුණා.

භාග්‍යා, අන්තිමට රඟපෑවේ සඳසාක්කි ටෙලි නාට්‍යයේ. එතැන් පටන් ඉඳුවරි තෙක් ඔබ කොහෙද හිටියේ?

ඇත්තටම මට ඒ කාලයේ චරිත ගොඩක් ලැබුණා. වෙන අයකුª නම් දොඩම් ගොඩ බදා ගන්නවා වාගේ ඒවා බදා ගන්නවා. ඒත් මට දැනුණ කිසිදු චරිතයක් තිබුණේ නැහැ ඒ අතර. මං සඳ සාක්කි නාට්‍යයෙත් රඟපෑවේ එම චරිතය දෙපා නැති ආබාධිත එකක් වීම හින්දා. එතැන් පසුව මට ලැබිච්ච හොඳම ආරාධනය සුංගි.

සුංගි, කටකාරයි, දඟකාරයි, හිතුවක්කාරයි. තනි තීරණ ගන්නවා ඔබත් එහෙමද?

මෙතෙන්දි තනි තීරණ ගැනීමෙන් විතරයි මං සුංගි හා සමාන වන්නේ. නිවැරැදි තනි තීරණ ගන්නට මං සමත්.

වර්තමානයෙහි රංගන ශිල්පිණියක් වුවත් ඔබේ පුංචි කාලයේ සිහින දකින්නේ ගායිකාවක් වන්න?

රඟපෑවට ඒ හීනෙන් මං දුරස් වෙලා නැහැ. ළඟදීම මගේම ගීයක් එළි දක්වනවා. මං ගුරුවරු සෑහෙන්න දෙනෙකුª යටතේ සංගීතය හැදෑරුවා. අන්තිමට නතර වුණේ කේමදාස මාස්ටර් ගාව. එතැන් පටන් මං එතුමා මියෙනකම් එම ශිල්ප ශාලිකාවේ හිටියා. කේමදාසයන් මේ ක්ෂේත්‍රය ගැන බොහෝ දේ කියා දුන්නා. අවසානයේදියි එතුමාගෙන් සංගීත ඥාණය ලබා ගත්තේ. ඊට පසුව අග්නි ඔපෙරාවේ හිටියා. භේරුණ්ඩ පක්ෂියා, සතර දෙනෙක් සෙන්පතියෝ, සඳ සාක්කි වැනි නිර්මාණවලට ගී ගැයුවා. ඒ අතරතුරදියි රංගනයට පිවිසුණේ. ඒ වෙළෙඳ දැන්වීමකින්.

මාස්ටර්ට ඉක්මනින් කේන්ති යන චරිතයක්. අනන්තවත් බැනුම් අහලා ඇති?

නැතුව, නැතුව. මාව හතර පස් පාරක්ම හොඳටම බැනලා පංතියෙන් එලවලත් තියනවා. නමුත් ඒවා අද මතක් වෙද්දි දුකයි. එතුමා බැන්නේ අපිව දක්ෂයින් කරන්න. අද වුණත් රඟපාද්දී මං හඬ පාලනයේ යෙදෙනවා. එතකොට මාස්ටර්ව මතක් වෙනවා.

කේමදාසයන් උගන්වමින් සිිටියදී ඔබ ඔහුට හොරෙන් ජනේලයෙන් පැන පංතියට ගිය අන්දම මතකද?

හොඳට මතකයි. පරක්කු වෙලා ආවොතින් මාස්ටර් පංතියට ගන්නේ නැහැ. ඉතින් මං පිටුපස ඇති ජනේලයෙන් ඇතුළු වී හිමිහිට ළමයි අතරට එකතුª වෙනවා.

ඔබේ ඒ හොර වැඩේ මාස්ටර්ට හසුවෙලා නැතිද?

අම්මෝ නැහැ. අහුවුණා නම් මාව පතුරු ගහයි.

භාග්‍යාට ක්ෂේත්‍රයේ වැඩිය යාළුවෝ නැත්තේ ඇයි?

විශ්වාස කරන්න පුළුවන් අය අඩු නිසා.

වැඩිපුර කේන්ති යන්නේ?

වෘත්තීය ගෞරවය නොලැබෙන කොට. විශේෂයෙන් අපිව ගන්න ට්‍රාන්ස්පෝර්ට් පරක්කු වුණොත් හෝ නොමැති වුවොත් කේන්ති යනවා.

ඔබ ආගම අදහන්නේ විලාසිතාවක් විදිහටද?

අපෝ ඒක හරි පවු වැඩක්. ආගම අදහන්නේ හොඳින් ජීවත් වන්න. මං හැම පෝයකම මෙන්ම ඉඩක් ලැබුණු වහාම බෙල්ලන්විල පන්සලට යනවා.

ඉඳුවරි නිසා මුහුණ පෑ ත්‍රාසජනක අත්දැකීම කියමු?

මට ධාවනය වන ත්‍රීවිල් රථයකින් පනින්න සිද්ධ වුණා. හැමෝම බය වුණා මං ඊට යට වුණා කියලා. හැබැයි තුවාල සිදු වුණා.

ගොඩක් නිළියෝ මාධ්‍ය ඉස්සරහදි රඟපනවා. ඒත් සැබෑ ජීවිතයන්හි ඔවුන් ඊට හාත්පසින්ම වෙනස්?

ඔහොම අයව මං ඕන තරම් දැකලා තියනවා. නිළියෝ විතරක් නෙවෙයි නළුවොත් එහෙමයි. ඒ වගේ අයත් එක්ක කතා කරන්නත් බයයි.

අකැමැති මිනිසුන් සිටින ක්ෂේත්‍රයක දිගටම රැඳී සිටින්නට තීරණය කළේ ඇයි?

හැමෝම නරකයි කියලා නෙවෙයි මං කියන්නේ. අපි හොඳට හිටියොත් ඇති.

ඔබ හිතට එකඟව කතා කරන කෙනෙක්ද?

ඔව්.

එහෙනම් කියන්නකෝ බලන්න බෝයි ෆෙ‍්‍රන්ඩ්ගේ නම?

එතන ඇබෑර්තුව හිස්.

අන්න බොරුවක් කිව්වා?

නැහැ. මං ඇත්ත කිව්වේ.

ඉදිරියේදී රඟපාන්න කැමැත්තෙන් සිටින චරිතයක් තියනවද?

මත්ද්‍රව්‍යවලට හුරු වූ කාන්තාවකගේ චරිතයක් රඟපාන්න ආසයි.

එන්න තියන ඔබ දායක වූ නිර්මාණ?

මල්විල ෆාම් චිත්‍රපටය සහ මාපිය මල් පිපියන් ටෙලි නාට්‍යය.

මේ දිනවල රූප රචනයකත් ඉන්නවා නේද?

උදය ශ්‍රිගේ මගේ හීනයේ. මාත් හරිම ආස සිංදුවක් ඒක.

ජීවිතයේ හමු වූ සුන්දරම පුද්ගලයා?

ආය වචන දෙකක් නැහැ. කේමදාස මාස්ටර්.

කාටද ස්තුතිය පුද කරන්නේ?

මට උදවු කරපු හැමෝටම.

ලිපිනයත් කියමු?

2/ ඒ, වත්තේගෙදර,මහරගම.