වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




තුන් මස් ගැබිනියක වූ බොන්ඩ් සුරතලිය

තුන් මස් ගැබිනියක වූ බොන්ඩ් සුරතලිය

1977 වර්ෂයේ තිරගත වූ ‘ටුමෝරෝ නෙවර් ඩයිස්’ චිත්‍රපටය ජේම්ස් බොන්ඩ් සිනමාවලියේ 18 වැන්න සහ පියර්ස් බ්‍රොස්නන්ගේ දෙවැනි බොන්ඩ් චිත්‍රපටයයි. මෙහි බෲස් ෆියර්ස්ටන් තිර රචනය කළ අතර අධ්‍යක්ෂණය රොජර් ස්පොටිස්වුඩ් ගෙනි.

ඇල්බට් ආර්. බ්‍රොකොලිගේ අභාවයෙන් පසු නිපද වූ ප්‍රථම චිත්‍රපටය වන මෙය ඔහුගේ දියණිය බාබරා බෙ‍්‍රාකොලි සහ මයිකල් ජී. විල්සන් විසින් නිෂ්පාදනය කළා. මුලින් චිත්‍රපටය නම් කරන ලද්දේ ‘ටුමාරෝ නෙවර් ලයිස්’ යනුවෙන් වුවත් ෆැක්ස් පණිවුඩයකදී එම නම ‘ටුමාරෝ නෙවර් ඩයිස්’ යනුවෙන් වැරැදි ලෙස මුද්‍රණය වී තිබුණ නිසා පසුව මෙම වැරැදි නම දිගටම පාවිච්චි කිරීමට නිෂ්පාදකවරු තීරණය කළා. කිසිම අර්ථයක් නැති නමක් චිත්‍රපටයට ‘රෙජිස්ටර්’ වුණේ ඒ අයුරිනුයි. ඉයන් ෆ්ලෙමින්ගේ නව කතා අවසන්ව තිබූ නිසා ඩොනල්ඩ් ඊ. වෙස්ට්ලේක් ගේ කතාවක් අනුසාරයෙන් බෲස් ෆියර්ස්ටයින් රචනා කරන ලද තිර කතාවක් උපයෝගි කර ගත්තත් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කෙරෙන විටත් තිර පිටපත ලියා අවසන් වී තිබුණේ නැහැ.

ප්‍රධාන නිළි චරිතය වූ පැරිස් ලෙස රඟපෑමේ පරීක්ෂණයට සහභාගි වූ ‘සෙලා වෝඩ්’ට නිෂ්පාදකවරු කැමති වුවත් ඔවුන් කියා සිටියේ තවත් දස වසරකින්වත් වයසින් බාල වූයේ නම් ඇය එම චරිතයට තෝරා ගන්නා බවයි. බ්‍රොස්නන්ට අවශ්‍ය වූයේ ‘මොනිකා බෙලුසි’ ප්‍රධාන නිළිය කර ගැනීමටයි. එහෙත් අවසානයේ වාසනාව උදා වුණේ ‘ලොයිස් ඇන්ඩ් ක්ලාක්’ (සුපර් මෑන්) ටෙලි මාලා නාටකයේ සුපර් මෑන්ගේ පෙම්වතිය ලෙස රඟපෑ ‘ටෙරී හැචර්’ වෙතයි. බොන්ඩ් කෙල්ලක් තම බිරිඳ කර ගැනීමට පුල පුලා බලා සිටි ඇගේ සැමියාගේ ආශාව ද එමඟින් ඉටු වුණා.

බොන්ඩ් ගේ තවත් සුරතලියක් ලෙස ‘මිචෙල් ඉයෝ’ ද රඟපෑවා. එම චරිතයට මුලින් යෝජනා වී සිටියේ නටාෂා පෙන්ස්ට්‍රිජ් නම් නිළියක්. චීන සම්භවයක් ඇති මිචෙල් අවදානම් දර්ශනවලදී තමාම පෙනී සිටීමත් රඟපෑමේදී දැක් වූ දැඩි කැපවීමත් බ්‍රොස්නන් මහ ඉහළින් අගය කළා. ඇතැම් ත්‍රාසජනක දර්ශන රඟපෑමේදී අධ්‍යක්ෂක රොජර් බොහෝ අවස්ථාවලදී ඇයට අනතුරු ඇඟවීම් කළේ ඈ අනතුරකට පත්වීම වලකාලීමටයි. ප්‍රවීණ නළු ඇන්තනි හොප්කින්ස් ප්‍රධාන ප්‍රතිවාදී චරිතය සඳහා යෝජනා වී සිටියත් ‘ජොනතන් ප්‍රයිස්’ ඒ සඳහා ;තා්රා ගැනුණා. ඔහුගේ අතවැසියා ලෙස ගොට්ස් ඔටෝ නම් ජර්මන් ජාතික නළුවෙක් පෙනී සිටියා. කුලී ඝාතකයා ලෙස රඟපෑවේ වින්සන්ට් ෂියාවෙල්ලි නම් නළුවෙක්. කාන්තා චරිතයක් වූ එම් 16 ප්‍රධානියා ලෙස ජුඩ් ඩෙන්ච් සහ ඩෙස්මන්ඩ් ලෙවලින් මිස්ටර් ‘කිව්’ ලෙසත් සී. අයි. ඒ ඒජන්ත ජැක් වේඩ් ලෙස ජෝ ඩොන් බේකර් ද රංගනයනට එක් වුණා.

කාවර් මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වූ එලිියට් කාවර් නම් මානසික උම්මත්තකයෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා ලෝක නායකයින් තුන් වැනි ලෝක යුද්ධයකට යොමුවන විට එය වලකාලීමට බොන්ඩ්ගේ මැදිහත් වීම පාදක කරගෙන චිත්‍රපටයේ කතාව විකාශනය වී ඇත. මේ චරිතය ලොව මාධ්‍ය ප්‍රධානියකු වූ රූපට් මර්ඩොක් ගේ චරිතය ඇසුරෙන් ගොඩ නැඟුණකි.

1997 ජනවාරි 18 දා මූලික රූගත කිරීම් ඇරැඹුණ අතර ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, වියට්නාමය, තායිලන්තය සහ චීනයේ දකුණු මුහුදු කලාපයේ දර්ශන තල චිත්‍රපටයට ඇතුළත් වුණා. ප්‍රධාන වශයෙන් රූගත කිරීම් සිදු වුණේ වියට්නාමයේ හෝ - චිමිං නගරය, තායිලන්තයේ බැංකොක් නුවර සහ පින් – කාන් දූපත වැනි ස්ථානයන්හිදීයි. බොන්ඩ් සහ පැරිස්ගේ පෙම් ජවනිකා ගෝල්ඩ් ෆින්ගර් චිත්‍රපටයේ පසුතලයක් ලෙස යොදා ගත් ‘ස්ටොක් පාක්’ ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී රූගත කෙරුණ. නිතර දර්ශන තලයට පමා වී පැමිණෙන ටෙරී සමඟ බ්‍රොස්නන් නොසතුටෙන් පසු වූ අතර ඒ වන විටත් ඈ තුන්මස් ගැබිනියක් බව දැනගත් පසු ඇගෙන් සමාව අයැද සියලු විරසක සමහන් කොට ඈ හා දැඩි ස්නේහයෙන් කටයුතුª කිරීමට පටන් ගත්තා.

ටෙරී තැචර් නිරූපණය කළේ ප්‍රතිවාදී එලියට්ගේ බිරිඳ වූ පැරිස්ගේ චරිතයයි. පැරිස් සහ බොන්ඩ් අතර වූ පෙම් සබඳතතාවය දැනගන්නා එලියට් ඔහුගේ සගයන් ලවා බොන්ඩ්ගේ නිිදි යහන මතදීම ඇය ඝාතනය කරනු ලැබීමෙන් පසු බොන්ඩ්ගේ සහායට එන්නේ චීන රහස් ඔත්තු සේවයේ නියෝජිතවරියක් වන වායි – ලින් ය. ඉන් අනතුරුව චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශන වැඩි ප්‍රමාණයක පෙනී සිටින්නේ ඔවුන් දෙදෙනාය.

එලියට් විසින් මුහුදේ ගිල්වන ලද බ්‍රිතාන්‍ය නෞකාව ඇතුළු බ්‍රිතාන්‍ය නාවුක හමුදා සේනාංක ඇතුළත් දර්ශන රූගත කෙරුණේ 1997 දී ‘ටයිටැනික්’ චිත්‍රපටය රූගත කෙරුණු මැක්සිකෝවේ ‘ෆොක්ස් බජා’ චිත්‍රාගාරයේ පසුතල දර්ශනයන්හිදීයි. අධ්‍යක්ෂක රොජර් ස්පොටිස්වුඩ් ගේ අදහසක් අනුව තිර පිටපතේ සඳහන් නොවුණු ත්‍රාසජනක ක්‍රියාදාම දර්ශන සමූහයක් චිත්‍රපටයට ඇතුළත් කරන ලද්දේ වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගැනීමේ අපේක්ෂාවෙනි. බොන්ඩ් සහ වායි – ලින් ගේ මෝටර් සයිකල් ධාවනය, රියැදුරු රහිත දුරස්ථ පාලක බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථ ධාවනය ඉන් සමහරෙකි. රථයේ පසුපස අසුනේ සවි කරන ලද සුක්කානමක් සහ පරිඝනක තිරයක් ආධාරයෙන් එම ත්‍රාසජනක රිය ධාවනය රෙමී ජුලියෑන්ගේ ස්ටන්ට්’ රියැදුරෙකු විසින් සිදු කළ අතර රූගත කිරීමට සති තුනක කාලයක් ගත විය.

සංගීතවේදී ජෝන් බැරීගේ නිර්දේශයක් අනුව බාබරා බෙ‍්‍රාකොලි විසින් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය භාර දෙනු ලැබුවේ ඩේවිඩ් ආර්නෝල්ඩ් වෙතයි. බැරී විසින් නිර්මාණය කරන ලද පැරැණි පසුබිම් සහ තේමා වාදන ඉලෙක්ට්‍රොනික සංගීත සංයෝජනයෙන් නවීකරණය කොට ප්‍රති නිර්මාණය කිරීමට ආර්නෝල්ඩ් පියවර ගෙන තිබුණා. තේමා ගීතය ගායනා කළේ ‘ෂෙරිල් ක්‍රෝ’ විසිනි. ආරම්භයේ සහ අවසානයේ තේමා ගී දෙකක් භාවිත කළ 4 වෙනි බොන්ඩ් චිත්‍රපටය මෙය වන අතර ඩේවිඩ් ආර්නෝල්ඩ් අවසන් තේමා ගීය ගායනා කළා.

1997 දෙසැම්බර් 9 දා ලන්ඩන් ලෙසිස්ටර් චතුරස්‍රයේ ඕඩියන් ශාලාවේදී පූර්ව දර්ශනයත්, ඇමෙරිකාවේ සහ අයිස්ලන්තතයේ ආරම්භක තිරගත කිරීම් දෙසැම්බර් 12 දාත් උත්සවාකාරයෙන් පැවැත්වුණා. චිත්‍රපටය ඇමෙරිකාවේ සිනමාහල් 2807 ක තිරගත කෙරුණු අතර ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලත් ආදායම ඩොලර් මිලියන 330 ක් ඉක්ම වූවා.

තේමා ගීතය ගැයූ ෂෙරිල් ක්‍රෝ වසරේ හොඳම ගායිකාව ලෙස ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මානය සඳහා නිර්දේශ වූ අතර ‘ග්‍රැමී’ සම්මානය සඳහා ද ඇගේ නම යෝජනා වුණා. ‘සැටර්න්’ සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස නිර්දේශ වූයේ පියර්ස් බ්‍රොස්නන්ගේ නමයි. චිත්‍රපටයට ලැබුණු විචාරක ප්‍රතිචාර හොඳ හා නරක අතර සම සමව බෙදී ගිය අතර ඇතැමෙක් එය කලෙකට පසු දුටු හොඳ බොන්ඩ් චිත්‍රපටයක් ලෙස හඳුන්වනු ලැබුවා. කෙසේ වෙතත් වසරේ ආදායම් වාර්තා අනුව එය දෙවැනි වී තිබුණේ ‘ටයිටැනික්’ චිත්‍රපටයට පමණයි.

ලෝ පතල කෝටිපති තෙල් සල්ලිකාරයා වූ ශ්‍රීමත් රොබට් කිං සහ ඔහුගේ සරාගී දියණිය ඉලෙක්ට්‍රා කිං ගේ ඉරණම විසඳුණු අයුරු දැන ගැනීමට ‘ද වර්ල්ඩ් ඉස් නොට් ඉනෆ්’ චිත්‍රපටයත් සමඟ ලබන සතියේ හමුවෙමු.