වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රියංකාගේ දත් සෙට් එක ජෝගුවේ

ප්‍රියංකාගේ දත් සෙට් එක ජෝගුවේ

යකඩ දෝලි දර්ශන තලයට ගිය සොඳුරු චාරිකාව

තුසිත ද සිල්වාගේ අධ්‍යක්ෂණයක්
වසන්ති චතුරානිගේ නිෂ්පාදනයක්

තුසිත

කැලණිය පූජා භූමිය අසල මා සිටි කුඩා අතු පාරෙහි වාහන දෙකක් මාරුවීමට ඉඩක් නොවීය. වාහනයක් යන සෑම මොහොතකම මෙඟහි කෙළවරටම වී සිටින්නට මට සිදු විය. හෝන් හඬ නංවමින් තවත් වාහනයක් පසුපසින් පැමිණෙයි. මම එයට ද යන්න ඉඩදී නැවතත් අයිනට වීමි.

බරාස් . . . හඬ නංවමින් එය මා අසල නැවැත්වීය. හිස ඔසවා බැලූ මට එම වාහනය පොලිස් ජීප් රථයක් බැව් පෙනුණි. එහි ඉදිරි ද්වාරයෙහි වීදුරුව පාත් විය.

තමා කොහෙද මේ යන්නේ? අවෙලාවේ ගමන් යන්න හොඳ නැහැ. නගිනවා ජීප් එකට.

පොලිස් නිලදරුවකුගෙන් මට විධානයකි. ඔහුගේ වචනවල කිසිදු තෙතමනයක් නැත. අනික ‘අවේලාවේ’ යන වචන මට කිව්වේ ඇයිදැයි සිතා ගන්නට බැරිය. මන්ද යත් ඒ මොහොතේ කිසිදු අවෙලා ගතියක් නොතිබුණු හෙයිනි.

මං මොකටද ජීප් එකට නගින්නෙ? මොකක්ද මං කළ වරද? මාව දන්නවද ඔයාලා?

මගෙන් ප්‍රශ්න පත්‍රයකි.

මම නම් ඔහේව අඳුරන්නේ නැහැ. ඒත් අපේ ලොකු මහත්තයා ඔය මූණ හොඳට දන්නවා.

කෝ එයා?

අන්න පිටිපස්සෙ ඉන්නවා.

රථයේ පිටුපස දොරෙහි වීදුරුව පහත් විය. ඔහු කියූ දෙය නිවැරිදිය. පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස සැරසී සිටි ඔහු බුද්ධදාස විතානාච්චිය.

නගින්න නගින්න යං අපි යන තැනට.

ඔහුගේ වචනවල කරුණාව ගැබ්ව ඇත.

බුද්ධි අයියා කවදා ඉඳලද පොලීසියට බැඳුණේ?

තුසිත ද සිල්වා තමයි මාව මේ සේවයට ඇතුළත් කළේ.

ඔහු කියන නම මට හුරුය. ධවල කඩුල්ල, පුංචිරාල, පාරමිතා, පුනරාගමනය වැනි ටෙලි නාට්‍ය තැනුවේ ඔහුය.

කතාබස් කරමින් අප පැමිණියේ ඔවුන් හඳුනන මා නාඳුනන තැනකටය.

තුසිත පෙරමගට ඇවිත් සිටියේය.

ආ . . . මේ යාළුවෙකුත් මුණ ගැහිලා තියෙන්නේ?

ඔහු මගේ කරට අතක් දැමීය. මේක තමයි මගේ අලුත්ම නාට්‍ය නිර්මාණය වන තැන. ඒකේ නම යකඩ දෝලි.

වට පිට බැලූ මට දර්ශන තලයේ සිටින වසන්ති චතුරානි ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියංකා සමරවීර, එරංග ජීවන්ත යන අයව දැක බලා ගත හැකි විය. ඒ අතර උන්නු තවත් නව යෞවනියකි. දීපා මෙහ්තාගේ වෝටර් චිත්‍රපටයෙන් ඇයගේ පුංචි කාලයේ රංගන හැකියාවන් අත්වින්දෙමු. දීර්ඝ කාලයකට පසු ඇය රංගනයට අවතීර්ණ වී ඇත. ඇය සරලා කාරියවසම්ය.

මෙයා තමයි නාට්‍යයේ මගේ දුව.

වසන්ති සරලාව තුරුළට ගත්තාය.

යකඩ දෝලි ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට හසු වූ කාන්තාවක් වටා ගොඩ නැගෙන්නකි. එම චරිතය වසන්ති රඟනු ලබයි. යකඩ දෝලි වසන්තිගේ නිෂ්පාදනයක් බව ද කිව යුතුයි.

ගිරිරාජ් මෙහි පොලිස් නිලධාරියකු මෙන් වෙස් ගන්වා ඇති අයුරින් දෙවතාවක් බැලුවොත් මිසක හඳුනාගන්නට බැරිය.

එනවද යන්න පොඩි ගමනක්? වැඩිදුර නෙවෙයි අල්ලපු වත්තට?

ඔහු මගෙන් විමසයි. මම කැමැත්ත දෙන්නට ප්‍රථම තුසිත මාව එම ගමනට එකතුª කර ගත්තේය.

ගිරිරාජ්ගේ අපූරු වැඩ ගැන මම මීට ප්‍රථම අසා ඇත්තෙමි. එහෙයින් මේ ගමන ද මට දෙගිඩියාවකි.

ගිරා නැවතුණේ අසල ඇති ෆාමසියක් ළඟය. අපට එළියෙන් ඉන්නට යැයි පවසමින් ඔහු ඇතුළට ගියේය.

නෝනා, මගේ ඔළුව පුපුරන්න වගේ. වෙලාවකට කොන්දට අකුණු ගහනවා වගේ. දෙන්නකෝ බෙහෙතක්?

ගිරා එහෙම කියනු අපිට ඇසෙයි.

එතැන සිටි තැනැත්තිය ගිරාගේ ක්‍රියාකාරකම්වලට අසරණ වී ඇත.

මේකා මට කිව්වේ පැරසිටමෝල් පෙත්තක් ගන්න යනවා කියලානේ. මොනවද මේ කරන්නේ?

තුසිත විමතියට පත්ව ඇත.

මේ ෆාමසියට බලපත්‍ර තියනවද?

ගිරා තවත් ප්‍රශ්න කරයි.

අවසන ගිරා එළියට පැමිණියේ හිස් අතිනි.

බෙහෙත් ගත්තද?

මට ඕන බෙහෙතක් නැහැ. නිකම් ආවේ. කාවවත් බයිට් කෙරුවෙත් නැහැනේ, ඒකයි.

අපි නැවත දර්ශන තලයට ආවේ හොඳට හිනාවෙමිනි.

ප්‍රියංකාගේ අතෙහි තරමක් විශාල ජෝගුවකි.

දන්නවද මේක ඇතුළෙ තියෙන්නේ මොකක්ද කියලා?

නැහැ යනුවෙන් මම හිස දෙපසට සැලුවෙමි.

මේකෙ තියෙන්නේ මගේ දත් සෙට් එක.

මොකක්?

ඔව් . . . ඔව් . . .

ඇය නිවස තුළට ගොස් ආපහු ආවේ එය කටෙහි පැලඳය. දැන් ඇය මුව විවර කළ විට භයානක ස්වරූපයක් ගනී. ප්‍රියංකා මෙහි රඟන සිත්තම්මා චරිතයට අනුව එය මනාව ගැළපේ.

මම ඇය සමඟ සරලාව සිටුවා සේයාරූ කිහිපයක් ලබා ගත්තෙමි.

ප්‍රියංකා අක්කලෑ ගෙදර ඉස්සරහින් මිනිස්සු යන්න බයයිලු. මෙයා දත්සෙට් එක දාගෙන ඒ පැත්තෙ ඉන්න ගොඩක් අයව බය කරලා.

සරලාගෙන් පුංචි විහිළුවකි.

අප සැමට නිශ්ශබ්ද වන්නට යැයි විධානයක් ලැබිණ.

ඇක්ෂන් . . .

තුසිත, වසන්ති සහ එරංග සිටිනා දර්ශනයක් රූගත කරයි.

ඒ ඇසිල්ලෙහි මම මෙහි සෙසු රංගන ශිල්පීන් සහ නිෂ්පාදන කණ්ඩායම ගැන සහාය අධ්‍යක්ෂවරයකුගෙන් අසා ගත්තෙමි.

ඒ අනුව සෙසු චරිත රඟන්නන් මෙසේය. ගාමිණී හෙට්ටිආරච්චි, රින්ස්ලි වීරරත්න, සීතා කුමාරි, නයනා හෙට්ටිආරච්චි, මියුරි සමරසිංහ, කුසුම් රේණු, ඩී. බී. ගංගොඩතැන්න
සහාය අධ්‍යක්ෂණය – වසන්ත අමරසිංහ
අංග රචනය - සංජය නිපුනආරච්චි
නිෂ්පාදන කළමනාකරු - සරත් විජේසේකර
කලා අධ්‍යක්ෂණය – චමින්ද ඉලුක්වත්ත
සංගීතය – කපිල පූගලආරච්චි
කැමරාව - තිසර තුල්වන්
සංස්කරණය - භාතිය දුනුසිංහ
කතාව, දෙබස් තිර රචනය - සරත් ධර්මසිරි