වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ගයාන් ඔප කළ තරු මිහිරක හැඩ

ගයාන් ඔප කළ තරු මිහිරක හැඩ

පොල්ගස්ඕවිට සිට උදෙන්ම පැමිණි චාන්දනි රොසයිරෝ, බලාපොරොත්තු සහගත බැල්මකින් මඟ බලාගෙන සිටියා. ඊටම එක් වූ කැලණියේ ශෙහාරා වීරක්කොඩිත්, ගිංතොට තිළිණි දිල්රුක්ෂිත්, නාගොඩ ධනුෂ්ක ඉෂාරත් යන මේ සිවු දෙනාගේම බලාපොරොත්තුව වූයේ එකකි.

ඒ පුංචි තිරයේ දඩබ්දරයා දැක ගැනීමේ බලාපොරොත්තුවයි. මේ දඩබ්බරයාගේ ආගමනය සිදුවන තුරු බලා සිටින මේ පිරිවරට ඉස්පාසුවක් නොවූයේ ඔහුගේ පැමිණීම මඳක් ප්‍රමාදවන හෙයිනි.

‘අම්මෝ වෙලා ගියා නේද? . . . හිරු එකේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකයි ටිකක් වෙලා ගියේ’

අද අපේ කතා නායකයා වූ පුංචි තිරේ දඩබ්බරයා සරසවිය ඡායාරූපාගාරයට එකවරම පැමිණියේ එසේ කියාගෙනයි.

ගයාන් වික්‍රමතිලක.

අද තරු මිහිර, මිහිරෙන් මිහිරට ගෙන යන අපේ ආගන්තුකයායි.

‘දැන් දහයයි තිහයි. මම පැය භාගයක් පරක්කුයි ඔක්කොම මට සමාව දෙනවා නේද?’

එසේ කියූ ගායන් පැමිණ සිටි හැමෝම හඳුනා ගත්තා.

ආ . . . එක්කෙනෙක් අඩුයි නේද? කෝ එයා . . .? මම පත්තරේ දැක්කා පස් දෙනෙක්ගේ නම් තියෙනවා.

ධනුෂ්කට සළුසල තිළිණය ගයාන්ගේ අතින්

චාන්දනීගෙන් තෑගි

ආ . . . ඒ අපේ ලකී යාපා . . . එයා හිරිවඩුන්නේ ඉඳලා එන්නේ . . . ඒ පැත්තට වැස්ස නිසා අද එන්න විදියක් නැතිලු. චාන්දනී එසේ එක දිගටම කියාගෙන ගියා.

ගයාන් . . . ඔයා ඉස්සෙල්ලම රඟපෑවේ මොන නාට්‍යයෙද? ශෙහාරා ඇසුවා.

ජයලත් මනෝරත්න මහත්තයා නිර්මාණය කරපු ‘මගේ කවිය මට දෙන්න’ කියන ඩ්‍රාමා එකේ.

ඔයා නාට්‍ය හා රංග කලාව ගැන හදාරලා තියෙනවද? ඒ ධනුෂ්කගේ පැනයයි.

මුල් කාලයේ අපේ මහේන්ද්‍ර පෙරේරා ප්‍රවීණ රංගන ශිල්පියා කළ වැඩමුළුවලට සහභාගී වුණා. එයින් ලොකු අත්දැකීමක් ලැබුණා. ඊට පස්සේ මේ ක්ෂේත්‍රයේ විවිධ අංශ ගැන, විවිධ පුද්ගලයන්ගෙන් අඩු වැඩි වශයෙන් ඉගෙන ගන්න ලැබුණා.

ඔයා නාට්‍යවල රඟපානවා වගේ හැබෑ ජීවිතයෙත් ඔච්චර නපුරුද?

මෙපමණ වෙලාවක් නිහඬව සිටි තිළිණි ඇසුවා.

නැහැ. යම් චරිතයකට අවතීර්ණ වෙන කොට ඒ ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනෑ. එතකොට තමයි ඒක දැනෙන්න රඟපාන්න පුළුවන්.

ඔයා ළඟදී අලුත් චිත්‍රපටයක රඟපෑවේ නැතිද? ධනුෂ්ක නැවතත් ඇසුවා.

ළඟදී සිරි දළදාගමනය චිත්‍රපටයේ රඟපෑවා. දුෂ්ට කුමාරයකුගේ චරිතයක් රඟපාන්න තිබුණේ. ආ ... මගේ ෆෝන් එකේ තියෙනවා ඒ රඟපෑව ඒවායේ ෆොටෝ . . . මේ බලන්න යැයි කියමින් ගයාන්ගේ ජංගම දුරකතනයේ ඇති ඡායාරූප ඔවුනට පෙන්නුවා.

කවුද මේ ලස්සන බබා . . . ජංගම දුරකතනයේ වූ කුඩා දරුවකුගේ ඡායාරූපයක් දැක ශෙහාරා ඒ ගැන විමසුවා.

මේ මගේ ලොකු පුතා. දැන් අවුරුදු හතරයි වයස. තවම නර්සරි යනවා.

ඒක නෙමේ දළදාගමනය රඟපාන කොට අකරතැබ්බ එහෙම වුණේ නැතිද? චාන්දනී නැවතත් ඇසුවා.

ඕනෑ තරම් කරදර වුණා.

ඔය අශ්වයොත් එක්ක රඟපාන කොට අපේ අය හෙල්ල, කඩු අරන් දුවනවනේ. අශ්වයෝ දන්නේ නැහැනේ රඟපානවා කියලා. උන් හිටපු ගමන් කලබල වෙනවා. මම කිහිප වතාවක්ම අශ්වයන්ගේ පිටෙන් වැටුණා. එක දවසක් අපේ ප්‍රසිද්ධ සටන් නළුවෙක් අශ්වයාගේ පිටේ නැගලා රඟපානවා. එයාට හොඳට අශ්වයා හුරු විදියට තමා හිටියේ. හැබැයි එක පාරටම කඩුව, හේල්ල, තෝමර දැක්කා විතරයි අශ්වයා කලබල වෙලා දුවන්න ගත්තා.

අපේ යාළුවා අශ්වයා පිටෙන් බිම වැටුණා. අපි ළඟට ගිහින් බලන කොට එයා කිසිම හාවක් හූවක් නැතිව බිම වැටිලා ඉන්නවා. කිසිම කතාවක් නැහැ. ඉක්මනට ඉස්පිරිතාලේ ගෙනි යන්න හදන කොට හරි හරි මට අමාරු නැහැ කියලා මිනිහා නැගිට්ටා. ඔය වගේ දේවල් නම් ගොඩක් තියෙනවා.

ඔයාගේ ගම කොහෙද? ඒ තිළිණියි.

අපි යාළුයි ...

මම මාතලේ කොල්ලෙක්. ගයාන් කිව්වේ හැමෝම සිනා සයුරේ ගිල්වමිණි.

ගයාන් සිංදුවක් කියන්නකෝ?

ඒ ඉල්ලීම ශෙහාරා හා චාන්දනීගෙන්.

ආශා නිරාශා මැවූ . . . ඈ ස්වප්න මායාවකි . . .
පේ‍්‍රමේ තැවුල් ස්නේහේ ගඟුල් මැවූ ඉන්ද්‍රජාලී ඇයයි . . .

ගයාන්ගේ මිහිරි ගී හඬ පැමිණ සිටි සියල්ලන්ගේම සිත් සිහින සයුරක ගිල්වන්නට සමත් වුණා.

ගයාන්ගේ ගී හඬින් වසඟ වී සිටි පිරිස අතරින් සරසවිය කර්තෘ මාණ්ඩලිකයන් ද සිටියා.

ගයාන්ට ලස්සනට සිංදු කියන්න පුළුවන්නේ. ඔයා සංගිත සංදර්ශනවල සිංදු කියන්න යන්නේ නැද්ද? විමසිල්ලෙන් බලා සිටි තිළිණි විමසුවා.

ඉස්සර නම් සිංදු කිව්වා. හැබැයි දැන් මට කරන්න පුළුවන් රාජකාරිය කරගෙන ඉන්නවා.

ඇයි ඔයා දඩබ්බර චරිතම රඟපාන්නේ? ඒ ශෙහාරයි.

මම තිර පිටපතේ සඳහන් විදියට රඟපානවා. ඒවා දඩබ්බරද නැද්ද කියලා බලන්නේ නැහැ.

ඔයා රඟපාන කොට චරිත තෝරා බේරා ගන්නවද? ධනුෂ්ක නැවතත් ඇසුවා.

අනිවාර්යයෙන්ම. අනෙක් කරුණ තමයි අදාළ අධ්‍යක්ෂවරයා ගැනත් හොයලා බලනවාමයි.

වෙනදා නම් තරු මිහිරෙන් කේක් ලැබෙන්නේ. ඔන්න මෙදා නම් අපේ කෑමක් කුරහන් හැලප. ආ . . . මගේ ගානෙ හැමෝටම’ කියූ ගයාන් හැමෝටම හැලප කවන්න වුණා.

චාන්දනී රොසයිරෝ ගෙනා තෑගිත් ගයාන්ට ලබා දුන්නා. ශෙහාරාගේ තෑගිත් ලබා දුන්නා. තරු මිහිරේ අනුග්‍රාහකයා වූ ‘ලක් සළුසල තෑගි වවුචර්’ මෙවර ලබා දුන්නේ විශේෂ ලියුම් කවරයක බහාලමින්.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියත් මේ පිරිසට සමු ගැනීමේ සිතක් නම් පහළ වන්නේ නැත.

තමන් දැඩි සේ ආදරය කරන කලා තරුව හමු වූ මේ ‘තරු මිහිර’ට ස්තුති කරන්නට මේ පාඨක පිරිස අමතක කළේ නැහැ.

ගයාන් වික්‍රමතිලකගේ ආගමනයෙන් හැඩ වූ තරු මිහිරක සතුටු හෝරා දෙක ඉක්මනින් ගෙවී ගියත්, ඔවුන් ලබාගත් සතුට සිත් හි දරාගෙන තරු මිහිරට සමු දුන්නා.

චාන්දනී, ශෙහාරා, ධනුෂ්ක හා තිළිණි ගයාන්ගෙන් සමුගෙන ගියේ නැවත දවසක ඔවුන් හමුවීමේ අභිප්‍රාය ඇතිවයි.

සරසවිය ඡායාරූපාගාරයට වී තවත් මඳ වේලාවක් අප සමඟ ගත කළ ගයාන් නික්ම ගියේ ජීවිතයේ හමු වූ හොඳම රසික පිරිස හමු වූයේ සරසවිය නිසා බව නිහතමානීව පවසමිණි.