වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ටාර්ස්ලා පිටුපස සිටි ස්පෝට් ස්ටාර්

ස්ටාර්ස්ලා පිටුපස සිටි ස්පෝට් ස්ටාර්

විරාජ් වැලිවත්ත

උදෑසන දෝත දරා ගනිමින් මොරටුව වේල්ස් කුමර විදුහලට පැමිණෙන කුඩා දරුවෙකි. දිනපතා උදෑසනම පාසලට පැමිණෙන මේ දරුවා ක්‍රීඩාවට දැක් වූ උනන්දුව කොතරම් ද කියතොත් හේ උදෑසනම තම පුහුණුවීම් ඇරැඹුවේ කවදාක හෝ අපේ රට රනින් බබළවන ක්‍රීඩා තරුවක් වීමේ සිහිනය පෙරදැරි කොට ගනිමිනි. ක්‍රමයෙන් නංවාගත් ක්‍රීඩා කෞෂල්‍ය නිසාම මේ දරුවා වයසත් සමඟ තම නම පාසල් ක්‍රීඩා තලයේ ඉහළටම ගෙන ආවේ පාසල් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වෙමිනි. මේ ප්‍රකට කළ දස්කම් නිසාම පාසලේ ක්‍රිඩා නායකයා බවට පත් වූ අපේ කතාවේ නායකයා තුළ කලාකරුවකු ද සැඟව සිටිනා වග දැනගත්තේ තිස්ස ගුණවර්ධන නම් ගුරුවරයා විසිනි.

‘අපි නාට්‍යයක් හදනවා . . . ඒකට එකතු වෙන්න තමන්ටත් පුළුවන්’

හැකියාව නිරීක්ෂණය කළ ගුරුතුමා මේ දරුවා තුළ ජීවත්වන කලාකරුවා තමා හඳුනා ගත් වග නොපෙන්වා කීවේය. ජගත් චමිල, රුක්මාල් නිරෝෂ්, ශ්‍රීනාත් මද්දුමගේ වැනි තරුණ නළුවන් අතරට අලුත් තරුවක් එක් වූයේය.

ක්‍රීඩාවට පමණක් පාසලේ ජනප්‍රිය වූ මේ තරුණයා ඉන් අනතුරුව කලාකරුවකු ලෙසට ද විදුහලේ ජනප්‍රිය තරුවක් වූයේය. ක්‍රීඩාවේ ජවය සිරුර තුළ දිවූ මේ තරුණයාගේ ජීවිතය ක්‍රමයෙන් කලාව වෙත පෙරළෙමින් පැවැති යුගයයි මේ.

එසේ ඇරඹි ගමන තුළ කලකදී ඔහුගෙන් ක්‍රීඩාව ගිලිහී ගියේ නොදැනුවත්වමය. ඉතා සියුම් තැන් ස්පර්ශ කරමින් කලාව තුළ ජීවත් වූ ඔහු කලක් ඇවෑමෙන් පුංචි තිරයේ පිටුපස පෙරළිකාර ජවසම්පන්න ක්‍රියාශීලී තරුණයකු වූයේය. එය කෙතරම් ප්‍රබල ගමනක්ද කියතොත් ඔහු අද අපේ රටේ රූපවාහිනී කලාවේ මෙතෙක් බිහි වූ ළබාලතම වැඩ සටහන් කළමනාකාරවරයාය.

විරාජ් වැලිවත්ත . . .

නම කියූ සැනෙන් ඔබ නොහඳුනන ඔහු රූපවාහිනිය ඉදිරියේ සිටින ඔබ රසවත් කරන්නට බොහෝ වෙහෙසෙන චරිතයකි. සුපර් ස්ටාර්, ඩාන්සින් ස්ටාර්, ලක්ෂපති වැනි වැඩසටහන් සඳහා කලක් තම නිර්මාණශිලී දායකත්වය ලබා දුන් විරාජ් අද වන විට හිරු ටී. වී. හි වැඩසටහන් කළමනාකාරවරයාය.

* විරාජ් අපි වේල්ස් කුමර විදුහලේ සොඳුරු අතීතය අතරින්ම මේ කතබහ අරඹමු.

ඒ අතීතය නම් හරිම මිහිරියි. සශ්‍රීකයි. මං පුංචි කාලේ හීන මැව්වේ ලංකාවේ හොඳ ක්‍රිඩකයකු වෙන්න. නිවාඩුවක් ලැබුණු හැම වෙලාවෙම කළේ දුවන , පනින එක නැත්නම් ව්‍යායාම කරමින් ඊට අවශ්‍ය ජවය සම්පාදනය කරගන්න. ඒ කලේ ඉස්කෝල අතර මාව තරමක් ජනප්‍රිය වෙලා තිබුණේ ක්‍රීඩකයකු විදියට. මේ අතරේ දවසක් පාසලේ නාට්‍යයක් සඳහා මාව යොමු කළේ තිස්ස ගුණවර්ධන ගුරුතුමා. ඒ යොමු කිරිම කෙතරම් ප්‍රබල ද කියනවා නම් මං ජාතික පාසල් නාට්‍ය කණ්ඩායමේ සමාජිකයකු බවටත් පත්වුණා.

මේ සාමාන්‍ය පෙළ විභාග කාලය. ක්‍රීඩාවට යොමුවෙලා හිටිය මං හෙමින් හෙමින් කලාව පැත්තට නැඹුරු වුණ ආකාරය අදටත් මට පුදුමයි. ක්‍රීඩාව ජීවිතේ කොටසක් වෙලා තිබුණු මට කලාව ජීවිතේම වුණා. යාළුවන් එක්ක එකතු වෙලා නාට්‍ය කලා. පිටපත් ලිව්වා. ක්‍රමයෙන් මගේ හිතේ ජීවත්වුණු ක්‍රීඩා වීරයා වෙනුවට කලාකරුවකු උපන් කාලය තමයි මේ.

තිස්ස සර්ගෙන් මං පොතපත පරිශීලනය කරන්න ඉගෙන ගත්තා. හොඳ කලා කෘති ගැන කතාබහ කරන්න පටන් ගත්තා. මෙහෙම කලක් ගත වුණා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට වගේම ක්‍රිඩා නායකයා විදියට කටයුතු කළ මම උසස් පෙළින් පසුව පාසලෙන් සමු ගත්තේ කලාකරුවකු හිත තුළ ජීවමාන කරගෙනයි. විභාගයෙන් පසුව විවිධ රැකියාවන් සඳහා කැඳවුම් ලැබුණා. නමුත් ඒ කිසිම දෙයකට හිත ගියේ නැත්තේ කලාව තුළම ජීවත් වුු නිසා වෙන්නට ඇති.

* මේ කාලයේදී ඔබ සිරස රූපවාහිනියට සම්බන්ධ වෙනවා.

ඔව්. සහාය නිෂ්පාදකයකු විදියට මං සිරස රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ මේ කාලේ. මගේ රූපවාහිනී ගුරුවරයා වෙන්නේ නිලේන්ද්‍ර දේශප්‍රිය. ඔහු මා තුළ සිටි නිර්මාණකරුවා මටම හඳුන්වලා දුන්නේ හරිම අපූරු විදිහට. ඔහු ඇසුරේ වැඩ කිරීම විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා වගෙයි. මේ කාලය ඇතුළත සිරස සුපර් ස්ටාර් ආරම්භය, ඩාන්සින් ස්ටාර්, ලක්ෂපති වගේ වැඩසටහන් ඔහුත් සමඟ සම්බන්ධ වී පෝෂණය කරන්නට මට හැකි වුණා.

ඇතැම් වෙලාවට කලකිරීම් ඇති නොවුණාම නොවෙයි. ඒ මොහොතවල හැම දේම දමළ ගහලා යන්න හිතුණු වාරත් අනන්තයි. ඒත් ඒ හැම මොහොතකම නිලේන්ද්‍ර දේශප්‍රිය කියන ගුරුවරයා මට යෝධ ශක්තියක් වෙමින් හිටියා.

* හිටි ගමන් ඔබ හිරු ටී. වී. එක්ක සම්බන්ධ වෙනවා.

ඔව් . . . වැඩසටහන් කළමනාකරු ලෙස මං හිරු ටී. වී. සමඟ සම්බන්ධ වෙනවා.

* දැන් හැම නාලිකාවීම රියැලිටි පස්්සේ යනවා. ඒත් රියැලිටි සඳහා මුලික වුණු ඔබ ඔබේ නාලිකාවට රියැලිටි වැඩසටහන් ගෙනෙන්නේ නැහැ.

රියැලිටි වැඩසටහන් කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය වර්ගයේ වැඩසටහන් විශේෂයක්. නමුත් ඒවායේ පැවැත්මට ගුණාත්මක බව අත්‍යවශ්‍යයි. අපේ ඇතැම් නාලිකා රියැලිටිවලට මුල් තැන ලබා දීලා අනෙක් වැඩසටහන්වලට කුඩම්මාගේ සැලකිලියි දුන්නේ. ඒ නිසා රියැලිටි උඩට එද්දී අනෙක් වැඩසටහන් පහළට බැස්සා. අපි රියැලිටි වෙනුවට වෙනස්ම වැඩසටහන් සමුදායක් ජනතාවට හඳුන්වලා දුන්නා. ඒවා ඉතාමත් සාර්ථකව ජනතාව වැලඳ ගත්තා. උත්තරීතර, ආයෙමත් ආදරෙන්, ඛ්චතබ, ට්‍රැවල් චදඤ ඹ්ඪමඪදඨ වගේ වැඩසටහන් හරහා අපි වෙනස්ම මඟක ගමන ඇරැඹුවා.

* ඒ කියන්නේ හිරු රියැලිටි කරන්නේ නෑ කියන එක ද?

නැහැ. අපි රියැලිටි වැඩසටහනක් කරන්නේ හොඳට සැලසුම් කරලා. මොකද අපට තරගයක් නැහැ. කවුරුත් කරන දේ ඒ විදියටම කරන්න අපේ කළමනාකාරිත්වයට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඉදිරියේදී හොඳට සැලසුම් කරලා ලෝකයේ නවතම රියැලිටි වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. නියම රියැලිටිවල හැඩය පැහැය ජනතාවට පෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

* හිරු ටී. වී. කියන්නේ මෙගා නාට්‍ය වටා රොක් වූ ජනතාව ඉලක්ක කරගත්තු නාලිකාවක් කියලා කිව්වොත්.

ඔව් . . . හරියට හරි. ඒක අපේ එක ඉලක්කයක්. නමුත් ඔබ ඔය කියන බාල මෙගා නාට්‍ය නෙවෙයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙගා කියන ගණයේ නාට්‍ය පෙන්වන්න අපි කටයුතු කරලා තිබෙනවා. අද වන විට ජනතාව ඒ බව දන්නවා. ඒ නිසා හිරු නාට්‍ය බලන්න ප්‍රෙක්ෂකයා හිතාමතා රූපවාහිනිය ඉදිරියේ ඉඳගන්නවා. අපේ නාට්‍ය එකිනෙකට වෙනස් අර්ථාන්විත ඒවා.

* හිරු නාළිකාවට යොදා ගත්තේ උසස්ම තාක්ෂණය කියල කිව්වත් එය ප්‍රේක්ෂකයාට දැනෙන බවක් පෙනෙන්නට තියෙනවාද?

තාක්ෂණයේ තිබෙන න්‍යායාන්, මුලධර්ම ප්‍රේක්ෂකයාට නොවැටහෙන්නට පුළුවන්. ‘හිරු නං ටොපට පේනවා’ කියල තමයි ප්‍රෙක්ෂකයා ඒ තාක්ෂණයට අර්ථකථනය දෙන්නේ. ‘හිරු ටී. වී. එකේ සවුන්ඩ් නං මරු’ කියල ප්‍රෙක්ෂකයා අර්ථ දක්වන්නේ මේ තාක්ෂණික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය.

* නිවේදන කටයුතුª සඳහා නිරූපණ ශිල්පීන්, ශිල්පිනියන්, ගායකයන් යොදා ගන්නේ ප්‍රචාරක උපක්‍රමයක් විදියටද?

නැහැ . . . කවුරුන් හෝ එහෙම හිතාගෙන ඉන්නවා නම් එය වැරැදි මතයක්. අපි හැම දේම කරන්නේ හොඳ අධ්‍යයනයක් ඇතුව. මේ කටයුත්තත් කළේ එහෙමයි. අපි තෝරා ගත්ත කණ්ඩායමක් තමයි නිවේදන කටයුතුවලට තෝරා ගත්තේ.

විරාජ් වැලිවත්ත කියන්නේ ක්ෂේත්‍රයේ ප්‍රකට අලුත් මත, නිර්මාණ වගේම අදහස් දරන චරිතයක්. හිරු ටී. වී හරහා කල එළි බසින්නේ ඔබේ අදහස්වල උපරිමයද?

මෙහෙමයි . . . විශේෂයෙන්ම රූපවාහිනී නිර්මාණයක් කියන්නේ සාමුහික කටයුත්තක්. රෙනෝ ද සිල්වා මහතා ප්‍රම්‍රඛ අපේ කළමනාකාරිත්වය නිර්මාණශීලී අදහස් දරන පිරිසකගේ එකතුවක්. වැඩක් කරන කොට හැමෝගෙම උපරිමය අවශ්‍යයි. එවිට තමයි එය සාර්ථක වෙන්නේ. උපරිමය කියන්නේ නිර්මාණශීලී අදහස් ඉවරයි කියන එක නෙවෙයි. මම කරන ඕනෑම දෙයක් උපරිම කැපවීමෙන් කරන කෙනෙක්.

* මේ ආලෝකමත් ගමනට හේතුව ඒ කැපවීමද?

අනිවාර්යයෙන්ම ඔව්. නිර්මාණශීලී අදහස්වලට කැප වීම සහ ඉවසීම වගේම නිහතමානී බව එක්වුණාම ගමන ඉතාමත් සුබයි.

* ඉදිරි ගමන ගැන කතාබහ කරමින් තාවකාලික නැවතීමක් තබමු.

ගෙවී ගිය අතීතයේ හැම තත්ත්පරයකම මම යමක් ඉගෙන ගත්තා. අනාගතයේත් එහෙමයි. ඒ ඉගැනීම තුළ ජීවත් වෙන්නේ. අලුත් යමක් කරන්න තමයි මම වෙහෙසෙන්නේ. සම්ප්‍රදාය කඩන්නට උත්සාහ දරන්නට ඕනේ සම්ප්‍රදාය දැනගෙන. ඒ නිසා ඉදිරි ගමනේදීත් විරාජ් වැලිවත්ත අලුත් විදියට අලුත් ලෝකය දකීවි.