වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන් ගෙන් අහන්න

අර්ජුන් ගෙන් අහන්න

දරුවනේ චිත්‍රපටය සහ එහි නිෂ්පාදක පිළිබඳ ඔබගේ අදහස කෙබඳු ද?

චන්දන වන්නිආරච්චි –

දෙහිඅත්තකණ්ඩිය

දරුවනේ චිත්‍රපටය මෑත කාලයේ පැමිණි චිත්‍රපට අතර රස විඳිය හැකි චිත්‍රපටයක්. එහි කිසිම විවාදයක් නැහැ. එය කිසිසේත්ම නරක චිත්‍රපටයකුත් නොවේ. එය ඇතැම් අංගෝපාංගවලින් එයට පාදක වූ දෙමළ චිත්‍රපටයත් අභිබවා යනවා යැයි මගේ හැඟීම. එහි නිෂ්පාදකවරයා මේ රටේ සිනමා කර්මාන්තයේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපද වූ නිෂ්පාදකයා පමණක් නොවේ. සිංහල සිනමාවේ වැඩිම ජනප්‍රිය රැලි රාශියක් ගොඩ නැගූ නිෂ්පාදකවරයායි.

මේ සියල්ලටම වඩා මා ඔහුව අගය කරන තවත් කාරණයක් තියෙනවා. සරසවිය සම්මාන උළෙල ඇති සෑම විටකම ඒ පිළිබඳ නිෂ්පාදකවරුන් දැනුවත් කිරීමේ සිරිතක් පවතිනවා. එමෙන්ම උළෙල සඳහා නිෂ්පාදකවරුන්ගේ චිත්‍රපට ලබාගත යුතුයි. ඒවායෙහි කාර්මික තොරතුරු ලබාගත යුතුයි. ඇතැම් විට සමහරක් නිෂ්පාදකවරුන්ගෙන් චිත්‍රපට ලබාගන්නට ගිය විට, මහත් දුෂ්කරතා පැන නගිනවා. නමුත් කිසි කලෙක චිත්‍රපටයක් උළෙලට ඉදිරිපත් කිරීමේදී කිසි විටෙක කරදරයක් නොවන නිෂ්පාදකවරයෙක් සුනිල්. ඔහු කිසි දිනෙකවත් තමාගේ චිත්‍රපටයට සම්මාන ලැබෙනවාද හෝ ජූරියේ සිටින්නේ කවුරුන්දැයි විමසන්නේ හෝ නැහැ. ඒ විතරක් නොවේ ඔහු ඉල්ලා සිටින්නේ එකම දෙයයි. ‘අපට සම්මාන ඇතත් නැතත් මොන චිත්‍රපටයට හරි සම්මාන ගන්නේ අපේ එකෙක් බවයි.’ ඒ නිසා ඒ අපේ එකාට අත්පුඩි ගහන්න මොන වැඩේ තිබුණත් උළෙලට එන බවයි.

ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුජාත දියණි’ කොරියානු නාට්‍යයෙහි රඟපාන නළු නිළියන් පිළිබඳ ලිපියක් පළ කරන්න පුළුවන් ද?

එස්. ගයානි දර්ශා - දොඹේමඩ,

රඹුක්කන

ගිය සතියේ සරසවිය කියෙව්වා නම් ඔබේ ඉල්ලීම ඉටු වී ඇති බව පෙනෙයි.

යම් කිසි නිර්මාණයක අවමඟුල් දර්ශන රූගත කරද්දී ඇත්තම අවමඟුල් ගෙදරකට යනවාද?

ඒ. කරුණාදාස - යාලගම – ඉඳුරුව

අනුන්ගේ මළ ගෙවල්වල බූරු පිටි පවත්වනවා කියලා නම් දන්නවා. ඒත් අනුන්ගේ මළ ගෙවල්වල තමන්ගේ චිත්‍රපටි කරන්නට ඉඩ දෙන ලෝකයක් නැහැ. එසේ කළ හැකි නම් අපේ චිත්‍රපටවල වියදම් කපා හැරීමට එහෙම මළ ගෙවලුත් හොය හොයා රූගත කරාවි. ඒ නිසා යම් කිිසි රූගත කිරීමකදී අවමංගල දර්ශන වෙනම නිර්මාණය කෙරෙනවා.

සමහර චිත්‍රපට එකවර විශාල පිටපත් ප්‍රමාණයක් සිනමා ශාලා විශාල ප්‍රමාණයක දින සියයක් වැනි කාලයක් තිරගත කිරීම අනෙක් චිත්‍රපටවලට කෙරෙන අසාධාරණයක් නේද?

සමන් ගාල්ලගේ – කැටපල

සිනමා කර්මාන්තය තුළ එහෙම එකක් තියෙනවා. එය දීර්ඝව සලකා බලා සාකච්ඡා කළ යුතුª ප්‍රශ්නයක්.එහෙත් එසේ තිරගත කිරීමෙන් ලැබෙන වාසි ගැනත් සලකා බැලිය යුතුයි.

එකක් දැවැන්ත ප්‍රචාරණය සඳහා යන වියදම යම් ප්‍රමාණයකට අඩුවීම. සමහර විටක පිටපත් 60 ක් වගේ ප්‍රමාණයක් සිනමාශාලා 60 ක ප්‍රදර්ශනය කළ විට දවස් 100 කින් ලබන ආදායම දවස් 50 කින් උපයාගන්න පුළුවන්. එවිට ඊළඟ චිත්‍රපටයට තිරගත කිරීමේ වාසියක් ඇති වෙනවා. ඒ වගේම අලුත් චිත්‍රපටයක් එකවර රට පුරාම දැකගන්න පුළුවන්. ඒ වගේම පිටපත් 50 ක් 60 ක් තිරගත කිරීමට බැරි නිෂ්පාදකයනුත් සිටිනවා. ඒ යුගයේ මුදා හරින වැඩිම පිටපත් ප්‍රමාණය පිටපත් 15 ක් හෝ 16 කට සීමා වුණේ ඒකයි. එදාට වඩා අද රූපවාහිනිය මඟින් තමන්ගේ ප්‍රචාරණය කළ හැකි බැවින් මේ ක්‍රමය වඩා සුදුසු යැයි ඇතැම් නිෂ්පාදකවරු කල්පනා කරනවා විය හැකියි.

කොහොම වුණත් මේ පිළිබඳ නිසි සංවාදයක් ඇති වෙනවා නම් මම කැමැතියි. සුපර් මාකට් හැම හන්දියකම හැදුනට හැම සිල්ලර කඩයක්ම වැහුණේ නෑ වගේ, සිල්ලර කඩ වැහුණා කියා සුපර් මාර්කට් ඇරෙන එකත් නතර වුණේ නැහැ.

ජබීර් ඒ. කාදර් නිපද වූ ‘සුරතලී’ චිත්‍රපටය හින්දි චිත්‍රපටයක අනුකරණයක් ද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

ඔව්. එය ‘බර්සාත්’ චිත්‍රපටයේ අනුකරණයක්.

බාලා තම්පෝ හා රොබින් තම්පෝ ඥාතීන්ද?

ඩබ්. රණසිංහ - කොළඹ 14

ඔව්.

මාරියෝ ජයතුංගගේ නවතම චිත්‍රපටයේ නම ‘කුපාඩියා’ කියා දැමීම සුදුසු ද?

ආනන්ද වික්‍රමාරච්චි - ඉහළ තල්දූව

අධ්‍යක්ෂ සුදුසුයි කියා සිතනවා නම් ඒ නම ගැළපෙනවා කියා නිෂ්පාදක සිතනවා නම් අපට ඒ ගැන ගැටලුවක් නැහැ.

සුප්‍රකට හින්දි ගායන ශිල්පී මුකේෂ් හින්දි චිත්‍රපටවල රඟපා තිබේද?

විජය ඉලංගකෝන් – ගම්පොළ

ඔව්. ඔහු ‘ආග්’ චිත්‍රපටයේ රඟපෑවා.

බොලිවුඩ් සිනමාවේ නවක නළු නිළියන් ඉක්මනින් දික්කසාද වෙන්නේ ඇයි?

වියානි ගුණවර්ධන - වෙන්නප්පුව

පැරැණි මිනිසුන්ට වඩා හිතට එකඟව ජීවත් වෙන්න ඔවුන්ට අවශ්‍ය නිසා.

ලව් ඉන් ටෝකියෝ චිත්‍රපටයේ කාර්මික අංශය ගැන විස්තරයක් කරන්න.

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ

1966 වැඩිම ආදායම් ලබමින් තිරගත වුණ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රමෝද් චක්‍රවර්ති. පසු කලෙක ජනප්‍රිය තිරකතා රචකයකු වූ සචින් බෝමක්ගේ මුල්ම තිර පිටපත මෙයයි. ජෝයි මුකර්ජී, ආශා පරෙක්, ප්‍රාන්, මෙහ්මුධි, ලලිතා පවෙර්, මදන් පූරි මෙහි රඟපෑ පිරිසයි.

ශංකර් ජායිකිෂන් සංගීතවත් කළ මෙහි ගීත රචනා කළේ පස්රත් ජායිපූරී විසිනි.

‘ආන්’ චිත්‍රපටය ගැන හැඳින්වීමක් කරන්න.

එස්. චන්ද්‍රසේකර – යාගොඩමුල්ල

‘ආන්’ චිත්‍රපටය මෙහෙබුබ් විසින් කළ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක්. ඉන්දියන් සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූයේ මෙයයි. මේ චිත්‍රපටය තනන්නට ඇසුරු කරන්නේ විලියම් ශේක්ෂ්පියර්ගේ ‘ටේමින් ඔෆ් ශි‍්‍රව්’ නම් කෘතියයි.

අප ජන කතාවක් වන නපුරු කුමාරියගේ කතාවත් එයට සමානයි. දිලිප් කුමාර්, නදීරා, නිම්මි, ප්‍රේම්නාත් මෙහි ප්‍රධාන චරිත රඟපෑවා. 1952 තිරගත වූ මෙම චිත්‍රපටය අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් ලෙස එකල තිරගත වූවා. එමෙන්ම එංගලන්තයේ තිරගත කළ ප්‍රථම හින්දි චිත්‍රපටය එයයි. මෙම චිත්‍රපටය තැබූ ආදායම් වාර්තා වසර තුනට පසු බිඳ හෙළුවේ ‘ශ්‍රී 420’ චිත්‍රපටයයි. කැමරාවෙන් ෆරුඩුන් ඒ. ඉරානි හා සංස්කරණයෙන් සම්සුදීන් කදීර් දායක වූ මෙහි අතිශය ජනප්‍රිය ගී රචනා කළේ සකීල් බදායානී විසින්. මොහමඩ් රාෆි, ලතා මංගෙෂ්කාර්, සම්සාද් බෙගම් මෙහි එන ගීත 10 ගායනා කළා.