වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන්නට පෙර බීජිං සම්මුතියක්

රඟපාන්නට පෙර බීජිං සම්මුතියක්

ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්ෂේත්‍රයට අදාළ බීජිං සම්මුතිය

නළු නිළි, ගායක ගායිකා සහ රංගන ශිල්පීන්ගේ ආර්ථික සහ සදාචාර අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා වූ නව ජාත්‍යන්තර සම්මුතියක් 2012 ජුනි මස 26 දින චීනයේ බීජිං නගරයේ පැවැත් වූ ජාත්‍යන්තර සම්මේලනයකදී සම්මත කරනු ලැබීය.

මෙම සම්මුතිය චීනයේ බීජිං නගරයේදී සම්මත වූ බැවින් එය ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ බීජිං සම්මුතිය ලෙස නම් කෙරිණ. 1961 ඔක්තෝම්බර් 26 වන දින රෝම නගරයේදී ප්‍රථම වරට රංගන ශිල්පීන්, තැටි නිෂ්පාදකයන් සහ ගුවන් විදුලි විකාශන සංවිධානවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ රෝම සම්මුතිය ඇති කර ගැනිමෙන් වසර 60 කට පසු ඇති කර ගන්නා ලද නව සම්මුතිය නළු නිළි සහ රංගන ශිල්පීන්ගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කරන්නක් ලෙස හැඳින්විය හැකිය. (ශ්‍රී ලංකාව මෙම සම්මුතියේ පාර්ශවකරුවකු නොවේ).

නව බීජිං සම්මුතියට අනුව ඊට පාර්ශවකරුවන් වන රටවල නළු නිළි සහ අනෙකුත් රංගන ශිල්පීන්ට තමන්ගේ රංගනයන් විදේශීය රටවල ඉදිරිපත් කරන අවස්ථාවලදී ඉන් ලැබෙන ආදායමින් කොටසක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කර ඇත. නිදසුනකින් මෙම කාරණය පැහැදිලි කරතහොත් සිනමා නිර්මාණයක් ප්‍රතිනිෂ්පාදනය කොට එම නිර්මාණය අයත් වන රටින් පිටත විදේශීය රටකට විකිණීමේදී හෝ විදේශීය රටක ප්‍රචාරය කිරීමේදී ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් එම නිර්මාණය අයත් වන රටට ලැබිය යුතු වන අතර එය එම නිර්මාණයට දායකවන ශිල්පීන් අතර බෙදා හැරිය යුතුවේ.

බීජිං සම්මුතියෙන් ඩිජිටල් තාක්ෂණය පවත්නා පරිසරයක් හමුවේ නළු නිළි සහ රංගන ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම් සඳහා ආරක්ෂාව සලසා ඇත. සිනමාපට හෝ වීඩියෝ හෝ අන්තර් ජාලය හරහා සිදු කරන ප්‍රචාරය කිරීම් පාලනය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මෙම සම්මුතියෙන් සලස්වා ඇත.

බීජිං ජාත්‍යන්තර සම්මේලනයට සහභාගි වූ සම්මානනීය නිළි මෙරිල් ස්ට්‍රිප් එහිදී තම අදහස් ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවාය. ‘නළු නිළියනට සහ රංගන ශිල්පීන්ට තම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනිමට අරගලයක යෙදීමට සිදුව ඇත. ඩිජිටල් තාක්ෂණය හමුවේ අපගේ ක්‍රියාකාරකම් ප්‍රතිනිෂ්පාදනය කිරීමටත්, ප්‍රචාරය කිරීමටත් එමඟින් තෙවන පාර්ශවයකට මුදල් ඉපයීමටත් වංචනික ලෙස යොදා ගැනීමත් පහසුවෙන් කිරීමට හැකි වී ඇත.’

නයිජීරියාවේ නළු නිළි සංසදයේ සභාපති සෙගුන් අරින්සු මෙහිදී ප්‍රකාශ කළේ නළු නිළියන්ගේ වෘත්තීය සහ ජීවන මාර්ගය රැඳී ඇත්තේ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම මහජනතාව වෙත ගලා යාමේදී ඒවා පලනය කිරීමට ඇති හැකියාව මත බවයි.

‘ඩිජිටල් තාක්ෂණය සහ අන්තර් ජාලය නිසා ලෝකය පුරා විසිරී සිටින ප්‍රේක්ෂක ජනතාවට සීමාවකින් තොරව නළු නිළියන්ගේ සහ රංගන ශිල්පීන්ගේ ක්‍රියාකාරකම් නැරැඹීමට හැකියාව ලැබී ඇත. මේ නිසාම ඔවුන්ගේ හැකියාවන් සහ ජීවන මාර්ගය සූරා කෑමකට ලක් වී ඇත. බීජිං සම්මුතිය තුළින් අපේක්ෂා කරනුයේ නළු නිළියන්ගේ සහ අනෙකුත් රංගන ශිල්පීන්ගේ අයිතිවාසිතකම් ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂා කරදීමට කටයුතු කිරීමයි’ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රන්සිස් ගුරී මහතා මෙහිදී පැවසුවේය.

බීජිං සම්මුතියට අනුව නළු නිළියන්ගේ සහ රංගන ශිල්පිීන්ගේ ආර්ථික අයිතිවාසිකකම් පමණක් නොව ඔවුන්ගේ සදාචාර අයිතිවාසිකම් ද ආරක්ෂා කළ යුතු වේ. මෙම අයිතිවාසිකම් වසර පනහක කාලයක් ආරක්ෂා විය යුතු බවට ද එම සම්මුතියට පාර්ශවකරුවන් වූ රටවල් එකඟ වී ඇත. මීට පෙර නළු නිළියන්ගේ සහ රංගන ශිල්පීන්ගේ අයිතිවාසිකම් ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂා කරන කාල සීමාව වූයේ වසර විස්සකි. (2003 අංක 36 දරන මෙරට බුද්ධිමය දේපළ නීතියෙන් ද නළු නිළියන්ගේ සහ රංගන ශිල්පීන්ගේ අයිතිවාසිකම් එම රංගනය හෝ ඉදිරිපත් කිරීම සිදු කළ දින සිට වසර පනහක කාලයක් ආරක්ෂා විය යුතු බවට නීතිමය ප්‍රතිපාදන සලස්වා ඇත. මෙරට නීතිය ජාත්‍යන්තර නීතියට වඩා ඉදිරියෙන් පැවතිය ද එම ප්‍රතිපාදනවලින් නළු නිළියන් හෝ රංගන ශිල්පීන් ප්‍රයෝජන ගන්නා බවක් නම් මෙතෙක් දැනගන්නට නැත. නළු නිළියන් සහ රංගන ශිල්පීන් තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්ව ඇති බවක් ද පෙනෙන්නට නැත).

‘බීජිං සම්මුතිය නළු නිළියන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි. ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ ඉදිරිපත් කරන අපට දෙවන මට්ටමේ පුරවැසියන් ලෙස සැලකූ කාලය අවසන්ව ඇත. මින් පෙර මෙම අයිතිවාසිකම් ලබා නොදීම පුදුමයකි. එහෙත් වර්තමානයේ හෝ එය සිදුවීම ජයග්‍රහණයකි.’ මෙලෙස පවසන්නේ ඕස්ට්‍රේලියාවේ නළු සයිමන් බර්ක්ය.

‘ලෝකය පුරා විසිර සිටින නළු නිළියන්ගේ රඟපෑම්වලට ආරක්ෂාව ලැබිය යුතුය’ නළු නිළියන්ගේ ජාත්‍යන්තර සංගමයේ සභාපතිනි නෝර්ව්ජියානු නිළි ඇග්නට් හාලන්ඩ් පැවසුවාය.

‘මෙය ලෝකය පුරා සිටින නළු නිළියන්ට ඉතා වැදගත් සිද්ධියකි. දැන් අපේ අනාගතය ස්ථාවර වන බව පෙනෙන්ට ඇත.’ බ්‍රිතාන්‍ය නළු නිළි වෘත්තීය සංගමයේ උප සභාපති ජීන් රොජර්ස් පැවසුවේ.

ලතින් කලාකරුවන් නියෝජනය කළ චිලී නළු එස්පෙරන්සා සිල්වා මෙහිදී සඳහන් කළේ මෙම ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීමට නම් ඊට පාර්ශවකරුවන් වූ සෑම රටක්ම තම රටවල දේශීය නීතිය එම සම්මුතියේ විධිවිධානවලට අනුව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කළ යුතු බවයි. මෙම සම්මුතිය නළු නිළියන්ගේ සහ රංගන ශිල්පීන්ගේ යහපත පිණිස පමණක් නොව ලෝක සංස්කෘතියේ ප්‍රවර්ධනය සඳහා ද හේතුªවන බව ඔහු සඳහන් කළේය.

බීජිං ජාත්‍යන්තර සම්මේලනය අවසානයේදී රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන තිහක් මෙම සම්මුතියට අත්සන් කිරීමෙන් ආරම්භක සාමාජිකත්වය ලබා ගත්හ. ඉන් අනතුරුව රටවල් 18 ක් මෙම සම්මුතියේ පාර්ශවකරුවන් බවට පත් වූහ.

මෙම සම්මුතියට අත්සන් තැබූ රටවල් එම සම්මුතියේ කොන්දේසිවලට අනුකූලව තම රටවල දේශීය නීතිය සකස් කර ගත යුතු වෙයි. සම්මුතියට අත්සන් කළ පමණින් එය ක්‍රියාත්මක කළ හැකි නොවේ. ඒ සඳහා දේශීය නීතිය සකස් කර ගැනිම අත්‍යවශ්‍ය වෙයි.

‘බීජිං ජාත්‍යන්තර සම්මේලනයට සහභාගි වූ නියෝජිතයන්ගේ අදහස් සහ නිරීක්ෂණවලට මම සවන් දුනිමි. ඔවුහු මෙම සම්මුතියේ ඇති වැදගත්කම අවධාරණය කළහ. මෙය බුද්ධිමය දේපළ නීති ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනීය අවස්ථාවකි.’ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රන්සිස් ගුරී සම්මේලනය නිමා කරමින් පැවසුවේය.