වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ප්‍රසන්න - හඳගමට සම්මාන

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ප්‍රසන්න - හඳගමට සම්මාන

ප්‍රවීණ සිනමාකරුවන් දෙදෙනකු පසුගියදා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඒ මෙහි විශේෂත්වයවන්නේ සිනමාකරුවන් දෙදෙනකු ලියූ නාට්‍ය ග්‍රන්ථ ද්විත්වයක් වෙනුවෙන් සම්මාන හිමිවීමය.

එහිදී සම්මානයෙන් පිදුම් ලැබූයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේයි. අශෝක හඳගමගේ ලියූ ‘මාඝාත’ නාට්‍ය කෘතිය හා ප්‍රසන්න විතානගේ පරිවර්තනය කළ ‘පුත්‍ර සමාගම’ පසුගියදා මුද්‍රණද්වාරයෙන් එළිදැක්විණ.

‘මාඝාත’ සඳහා හොඳම සිංහල ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙසත්, ‘පුත්‍ර සමාගම’ සඳහා හොඳම සිංහල පරිවර්තන නාට්‍ය කෘතිය ලෙසත් සම්මාන හිමි විය.

දරුවනේ දින 75 යි රන්ජා වැඩ අරඹයි

අලුත් චිත්‍රපටයක මුහුරත් උළෙලද, තවත් චිත්‍රපටයක දින 75 ක් සපිරීමේ දුර්ලභ අවස්ථාවක් පසුගියදා උදාවිණ. මෙම අවස්ථා දෙකම සමරනු ලැබුවේ පසුගියදා රාජගිරියේ පැවති උත්සවයකදීය.

එදින මූලික වැඩ කටයුතු ඇරැඹි චිත්‍රපටය වූයේ රන්ජාය.

දරුවනේ දින 75 සපිරූ චිත්‍රපටය විය. එහෙයින් දරුවනේ සියලුම ශිල්පීන්ට සම්මාන පිදීමක් ද සිදු වූහ.

දරුවනේ මෙන්ම රන්ජා ද සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

එය සුනිල්ගේ පනස්පස් වැනි සිනමා නිෂ්පාදනයයි. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන එය රන්ජා නම් වූ ගමක ජීවත්වන චණ්ඩි තරුණයකු වටා දිග හැරෙන කතා පුවතකි.

එම චරිතයට පණ පොවනුයේ රන්ජන් රාමනායක විසිනි.

සෙසු ප්‍රධාන චරිතයන් රෙක්ස් කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, රොජර් සෙනෙවිරත්න, පියුමි ශානිකා, සඳුන් විජේසිරි, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, දෙනුවන් සේනාධි, නිල්මිණි කෝට්ටේගොඩ, ප්‍රේමදාස විතානගේ, විනෝජා නිලන්ති, රොහානි වීරසිංහ, කීර්ති රංජිත් පීරිස්, ශාන්බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරණ, දොන් ලීලාරත්න ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.රන්ජා සමඟින් අලුත් මුහුණු යුවළක් රිදී තිරයට හඳුන්වා දෙයි. ඒ ඒෂියා දිසානායක සහ රිතු ආකර්ෂායි.

කතාව දෙබස් තිර රචනය ද සුදේශ්ගේය.

කැමරාව ගාමිණී මොරගොල්ලාගම මෙහෙයවයි. සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය කුමාරසිරි ද සිල්වාගෙනි.

කේෂාන් සුදන්ත පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි.

සරත් සමරවික්‍රම කලා අධ්‍යක්ෂවරයායි. සංඛ අබේසිංහ නැටුම් අධ්‍යක්ෂණයෙන්ද, වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. සරත් රණවීරගේ අංග රචනයකි. නිෂ්පාදන කළමනාකරණය දොන් ලීලාරත්නගෙනි.

චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ සජිත් වී. චතුරංග ගී පද රචනා කොට ඇති අතර ගැයුම් භාචි සුසාන්, ශානිකා මධුමාලි, සුරංජි ශ්‍යාමලී සහ සුදේශ් වසන්ත පීරිස්ගෙනි.

එහි අවස්ථා කිහිපයක් මෙලෙස කැමරාවෙහි සටහන් වුණි. සේයාරූ - ඉන්දික ප්‍රභාත්

‘රන්ජා’ ට පිරිස ඕනෑ කර තිබේ

සුදේශ් වසන්ත පීරිස් සිය නවතම සිනමා කෘතිය සඳහා මේ දිනවල වෙහෙසෙමින් සිටියි.

රන්ජා ලෙස නම් කොට ඇති එය සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

එහි රංගනය සඳහා රන්ජන් රාමනායක සහ ටෙනිසන් කුරේ තෝරා ගෙන ඇත.

රන්ජා හි රංගනය සඳහා අතිරේක නළු නිළියන් දෙසිය පණහක් පමණ අවශ්‍ය යැයි සුදේශ් දන්වා සිටියි.

එම ශිල්පින් බඳවා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳ වැඩි විස්තර 0773262632 අංකයෙන් විමසිය හැකියි.

‘ෆයින් විෂන්’ 30 වෙනි සංවත්සරයේදී

මෙරට සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන ආයතනයක් වන ෆයින් විෂන් හි තිස්වැනි සංවත්සරය නිමිති කර ගනිමින් ලොව නවීනතම ඩිජිටල් වර්ණ සංයෝජන උපකරණ සහ තාක්ෂණීය ක්‍රමවේද මෙරට සිනමා සහ රූපවාහිනී නිර්මාණකරුවන් වෙත හඳුන්වා දීම පසුගියදා පොල්හේන්ගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදුවිණ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආරියරත්න ඇතුගල, ස්වාධීන රූපවාහිනී සභාපති රොස්මන්ඩ් සේනාරත්න, සිනමා කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය, රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපති දේවප්‍රිය අබේසිංහ, ජැක්සන් ඇන්තනී, ධර්මසේන පතිරාජ, සුනිල් ටී. ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, ශ්‍රියාණි අමරසේන යන මහත්ම මහත්මීන් සහභාගීව සිටියහ.

සේයා රුවින් දැක්වෙනුයේ වැඩසටහන ආරම්භවීමට මත්තෙන් සාම්ප්‍රදායානුකූලව චරිත හේරත් මහතා පොල්තෙල් පහන දැල් වූ මොහොතයි.

ආරියරත්න ඇතුගල සහ ටවර් හෝල් පදනමෙහි සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන යන මහත්වරුන්ද පසෙකින් වෙති.

1983 දී ඇරැඹි ෆයින් විෂන් හි සභාපති වශයෙන් රොහාන් වැලිවිට කටයුතු කරයි.

ප්‍රසාද් සමරතුංග