වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ මුල්ම චිත්‍ර කතාව නීලා තැනුණේත් ඇයගේ නමින්

50 ස්වර්ණ ජයන්තිය අබිමුව

ලංකාවේ මුල්ම චිත්‍ර කතාව නීලා තැනුණේත් ඇයගේ නමින්

සරසවිය පොබ කළ මාධ්‍යවේදිනී නෙළුම් විමලරත්න මගේ පියා ජී. එස්. ප්‍රනාන්දුය. ඔහු මෙරට නමක් දිනු චිත්‍ර ශිල්පියෙක් මෙන්ම එකල පැරැණි ලංකාදීපයේ සේවය කළේය. තාත්තාගේ නිර්දය කාටුන් දුටු එවකට අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඔහුව කඳවල වලව්වට කැඳ වූ අයුරුත් අනතුරුව ඔහු සමඟ ආහාර ගෙන අදාළ කාටුන්වල මුල් පිටපත් ලබාගත් අයුරුත් පත්තර ලෝකයේ මතකයන්ය.

පත්තර මිතුරන් බම්බලපිටියේ අපේ නිවසට නිතර ආ ගියහ. එමෙන්ම පුවත්පත් කර්තෘවරුන්, පුවත්පත් ආයතන ප්‍රධානීන් ඔහුත් සමඟ සමීප ඇසුරක් පවා පැවැත්වීය. තාත්තා පත්තරවලට සම්බන්ධ වීම නිසාම මගේ සිතත් පත්තරවලට ඇදී ගියේ මටත් හොරාය. තාත්තා මගේ අනෙක් සහෝදරයන් දෙදෙනාටත්, සහෝදරියටත් වඩා ආදරය කළේ මට යැයි මා තුළ අදටත් සිතුවිල්ලක් ඇත.

මගේ නම වූයේ නෙළුම් නීලමනී ප්‍රනාන්දුය. දැඩි ආදරය නිසාම මට ගෙදරට කීවේ නීලා කියාය. නෙළුම් යන්න උප්පැන්නට සීමා වූ නමක් වුව ද වැඩි හිතවතුන් පිරිසක් ද මා ඇමතුවේ ගෙදර අය මට කියන නීලා නමිනි. මා පුංචි දැරිවියක සිටින අවධියේ සිදු වූ අපූරු සිද්ධියක් ද මට මතකය.

ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ධර්මසිරි ජයකොඩි මහතා නිතර අපේ ගෙදරට ආ ගිය කෙනෙකි. ඔය වකවානුවේ ලංකාදීපයට ලපටි පෙළ නමින් ළමයින් වෙනුවෙන් පුවත්පතේ පිටු කීපයක් වෙන් කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා සිංහල චිත්‍ර කතාවක් නිර්මාණය කිරීමට අදහසක් ඇති විය. මෙය රචනා කිරීමට ධර්මසිරි ජයකොඩි මහතා බාර ගත් අතර එහි චිත්‍ර නිර්මාණය කරනු ලැබුවේ මගේ පියාණන් වූ ජී. එස්. ප්‍රනාන්දුය. මෙලෙස අඳින චිත්‍ර කතාවට නමක් දැමීමට දිනක් ධර්මසිරි ජයකොඩි මහතා අපේ ගෙදර පැමිණියේය.

එලෙස පැමිණ තාත්තා සමඟ විවිධ නම් යෝජනා කරද්දී ගවුම් පොඩිත්තකින් සැරසී තාත්තා ළඟට දුවගෙන විත් තාත්තාගේ උකුලට මම පැන ගතිමි. ඒ මොහොතේ ධර්මසිරි ජයකොඩි මහතා මේ කෙලි පොඩ්ඩිගේ නම මොකක්ද යැයි විමසුවේය. නෙලුම් නීලමනී. අපි ගෙදරට නීලා කියලා තමයි කියන්නේ.

තාත්තා එසේ කීවේය. එහෙනම් අපේ කතාවට නීලා කියල නම දාමු යැයි යෝජනා විය. ඒ අනුව නීලා නමින් මගේ පියාණන් අතින් චිත්‍ර කතාව ඇඳිණි. මෙය අතිශයින් පාඨකයන් අතර ජනප්‍රිය විය. මුල්ම සිංහල චිත්‍ර කතාව නීලා වූයේ එපරිද්දෙන් මගේ නමිනි.

බාල වියේ පටන් මම ලංකාදීපයේ ළමා පිටුව සඳහා කුඩා ලිපි ලිව්වෙමි. මට මතක හැටියට මා එලෙස පුවත්පතක් සඳහා ලිපියක් ලියනු ලැබුවේ ගිරවකු ගැනය. එය ලංකාදීපයේ ළමා පිටුවේ පළවීමත් සමඟ මම ලොකු ආශ්වාදයක් ලැබුවෙමි.

එහෙත් මා ලියන කුමක් හෝ පුංචි ලිපියක් කුණු කූඩයට නොයා පත්තරයේ පළවීමට හේතුව වූයේ සමහර විට මගේ පියාණන් ලංකාදීපයේ වැඩ කළ නිසා විය හැක. පසු කලක කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ප්‍රතිඵල බලාපොරොත්තුව නිවසට වී සිටියේ කම්මැලිකමිනි.

ඒ අවධියේ ලේක්හවුස් ආයතනය කාන්තා පත්තරයක් පටන් ගන්නා බව සඳහන් දැන්වීමක් දිනමිණ පුවත්පතේ පළ විය. ඒ සඳහා උපාධිධාරී ඉංග්‍රීසි දැනුම මනා ලෙස ඇති අය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන් කර තිබිණි.

පත්තරයකට සම්බන්ධ වීමට මා තුළ ඇති ආශාව ගැන තාත්තා ද එවක ලංකාදීපයේ සිටි ප්‍රධාන කර්තෘවරයා වූ මහානාම දිසානායකයන්ට ද කියා තිබිණි. ඒ අදහස ගැන මහානාම දිසානායක මහතා තාත්තාගෙන් අසා තිබුණේ දුවගේ ඉංග්‍රීසි දැනුම කොහොමද කියාය. නිවසට පැමිණි තාත්තා මගෙන් ඉංග්‍රීසි දැනුම ගැන විමසමින් මාව දැනුම් පරීක්ෂාවකට එක්කර ගත්තා ද මතකය.

එහෙත් මහානාම දිසානායකයන් තාත්තට ලේක්හවුස් එකෙන් කාන්තා පත්තරයක් පටන් ගන්න ආරංචිය කියා තිබිණි. ඒ අනුව පියාගේ උපදෙස් පරිදි මම ලේක්හවුස් ආයතනයට ඉල්ලුම් පතක් දැමුවෙමි. ඒ කාලයේම විශ්ව විද්‍යාලයේ ප්‍රතිඵල පිටවිණි. මා විෂයන් ලෙස කර තිබුණේ භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව හා සිංහලත්ය. ඒ නිසා ඉල්ලා තිබූ සුදුසුකම් ද මා සතු විය.

මේ පුවත්පත සඳහා පුහුණු මාධ්‍යවේදී තනතුරට අති විශාල ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී තිබුණි. ඒ සියල්ලෙන්ම අපව තෝරා ගැනීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ කීපයක්ම පැවැත්විණි. ලිඛිත පරීක්ෂණවලදී ඩේලිනිවුස් පුවත්පතේ කර්තෘවරයා විසින් මාර්ටින් වික්‍රමසිංහයන් ගැන ඉංග්‍රීසියෙන් පළ වූ ලිපියක් සිංහලට පරිවර්තනය කිරීම සඳහා ලබා දෙනු ලැබීය.

ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ ගැන පළ වූ සිංහල ලිපියක් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටත් මට සිදු විය. අද මෙන් නොව එදා පුවත්පත් කලාවට ප්‍රවිෂ්ටවීමේදී අපේ හැකියාවන්, දැනුම උරගා බැලුවේ පළපුරුදු කර්තෘවරුන් මාර්ගයෙනි.

අවසානයේ මාව සම්මුඛ පරික්ෂණය සඳහා යොවු වූයේ ජී. බී. එස්. ගෝමස් මහතාටය. එවක එතුමන් ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයායි. එතුමන් මගෙන් කාන්තා පුවත්පතක අඩංගු විය යුතු දේවල් ගැන විමසීමක් කළේය. කාන්තාවන් අඳින පළඳින දෑ, ආහාර පාන හදන හැටි, මැහුම් ගෙතුම්, ඇඳුම් නිර්මාණ, රූපලාවන්‍ය වැනි බොහොමයක් දෑ ගැන පැවසීමි.

එසේ මා පිළිතුරු දුන්න ද රැකියාව සඳහා බඳවා ගනී ද යන්න මට විශ්වාසයක් නොවිණි. සම්මුඛ පරීක්ෂණය අවසන් වී දින කීපයකට පසු අප්‍රේල් පළමුවැනිදා දවසක මට පත්වීමේ ලිපිය භාර ගන්නා ලෙස දන්වා ලිපියක් ලැබිණි. එහෙත් එය මට විශ්වාස කළ නොහැක්කක් විය. එයට හේතුව වූයේ අප්‍රේල් පළමුවැනිදා මෝඩයන්ගේ දවස නිසාවෙනි.

මෙය කාගේ හෝ විහිළුවක් යැයි මට සිතුණි. ලේක්හවුස් පැමිණීමට ලිපිය ලැබෙන දිනයේම මා වෙනත් රැකියා කීපයකට ඉල්ලුම්පත් දමා තිබූ බැවින් ඒ ආයතනවලින්ද මට කැඳවීම් තිබිණි. ලීවර් බ්‍රදර්ස්, කිරි මණ්ඩලය මෙන්ම ගුරු පත්වීමක් සඳහා ද මට ලිපි ලැබී තිබුණි.

මේ ලිපියේ ඇත්ත නැත්ත තාත්තා මාර්ගයෙන් සොයා ගත් මම අනෙකුත් රැකියා සඳහා නොගොස් පුවත්පත් කලාව සඳහා ලේක්හවුස් ඒමට තිරණය කළෙමි. අති විශාල පිරිසක් අතුරින් තරුණී පුවත්පත පටන් ගැන්ම සඳහාම කාන්තාවන් තිදෙනෙක් තෝරා ගෙන තිබිණි. එවක නෙළුම් නීලමනී වූ මමත්, ඉඳුනිල් අමරසේකරත්, නන්දනී මෛත්‍රීවර්ධනත් ඒ තිදෙනා විය.

පුහුණු පුවත්පත් කලාවෙදීන් ලෙස අපි තිදෙනා තරුණී පුවත්පතට එක්වන විට එහි ප්‍රධාන කර්තෘවරයා වූයේ හික්කඩුවේ ශ්‍රීලාල් ලියනගේ නම් ප්‍රවීණ පුවත්පත් කලාවේදියාය. අපි තිදෙනාට අමතරව එවකට පළපුරුදු මාධ්‍යවේදිනියකව සිටි අනුල ද සිල්වා ද සිටියේය. බොහෝ විට අපි අතින් මුල් කාලයේ පත්තරය සඳහා ලිපි ලියවුණේ නැති තරම්ය.

ඒ වෙනුවට අපෙන් කර්තෘවරයා බලාපොරොත්තු වූයේ පත්තරය සඳහා ලැබෙන කවි, ගීත නිර්මාණ වෙන් වෙන් වශයෙන් සකස් කිරීම, පුවත්පත සඳහා අවශ්‍ය පින්තූර සොයා ගැනීම වැනි දෑය. ටික කලකින් නන්දනී මෛත්‍රිවර්ධන ගුරු පත්වීමක් ලැබ ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස් විය. මම විවාහවීමත් සමඟ නෙළුම් නීලමනී විමලරත්න විය. එබැවින් මා ලිවීමට භාවිත කළේ නෙළුම් විමලරත්න නමය. සුමනා සපරමාදු මහත්මිය තරුණී ප්‍රධාන කර්තෘ ධූරයට පත්වීමත් සමඟ මා හට තරුණී පුවත්පත සඳහා ලිපි ලිවීමේ අවස්ථාව උදා විය.

මා ඉංග්‍රීසියෙන් කතා කිරීම ගැන සපරමාදු මහත්මිය මට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ යැයි බොහෝ දෙනා අතර කතාබහක් ද ඇති වී තිබුණි. සුමනා සපරමාදු මහත්මිය මා හට මුලින්ම ලිපියක් ලිවීමට භාර කළේ මහරාජා ආයතනයේ පොන්ඩ්ස් පවුඩර් ප්‍රචාරක දැන්වීම් ලිපියක් සැකසීමටය. මේ සඳහා එම ආයතනයේ ප්‍රධානියා හා සාකච්ඡාවක් පැවැත්වීම මා හට භාර කෙරිණි.

මා එම සාකච්ඡාවෙන් පසු ඒ සඳහා සීතා නමැති කාන්තාවක් ලිපියට චරිතයක් ලෙස මවාගෙන ඒ අනුව කතාවක් ලෙසින් එම ලිපිය රචනා කළෙමි. මගේ ඒ නිර්මාණය ගැන බොහෝ සේ පැහැදුණු සපරමාදු මහත්මිය එය අගය කිරීම මට මහත් සතුටට කරුණක් විය.

එවක පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම් සඳහා පැමිණි රාජ්‍ය තාන්ත්‍රික පිරිස අතර සිටි කාන්තාවන් හා සාකච්ඡා කොට කාන්තාවන්ට වැදගත් වන ආකාරයේ ලිපි ලිවීම ද මට භාර වී තිබුණි. සුමනා සපරමාදු මහත්මිය ඉතා සැර පරුෂ කාන්තාවක් බව කා අතරත් මතයක් තිබූ හෙයින් බොහෝ අය ඇය හා රාජකාරි මට්ටමේ වැඩ සිදු කරනු ලැබුවේ බොහෝ භය පක්ෂපාතීවය. එවක ඡායාරූප ශිල්පියකුව සිටි උපාලි ෆොන්සේකා මට නිතර විහළු කරනු ලැබුවේ නෙළුම් නම් මිස් සපරමාදුගෙන් කවදාවත් බැනුම් අහන්නේ නෑ, ඉංග්‍රීසියෙන් කතා කරන නිසා කියාය.

ඉතිරි කොටස ලබන සතියේ