වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




විජය ජන්ම දිනය 09 වැනිදා

විජය ජන්ම දිනය 09 වැනිදා

සිංහල සිනමාවේ සදානුස්මරණීය නළු විජය කුමාරතුංගයන් ජීවත්ව සිටියා නම් මේ ඔක්තෝබර් 09 වැනි දිනට 67 වසර සපිරෙනු ඇත.විජය උපන්නේ 1945 වසෙර්ය.හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන විජය ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයේ කිරුළ පළඳීන්නට සමත් වූයේය.

අහස් ගව්ව,බඹරු ඇවිත්,පාර දිගේ,කැඩපතක ඡායා,ගඟ අද්දර,බැද්දේගම,අහසින් පොළවට වැනි චිත්‍රපට මෙන්ම තුෂාරා,ජය සිකුරුයි,අංජානා,මමයි රජා වැනි සිනමාකෘති වලද එක ලෙස රඟපෑ විජය ඝාතනය කරන ලද්දේ 1988 වසරේ පෙබරවාරි 16 වැනි දිනය.ඒ වන විට ඔහු 43 වැනි විය සපුරමින් සිටියේය. ඔහුගේ ජීවිතය එතරම් කෙටි කලකින් අහිමි වුවද ඇතැම් මිනිසුන් සිය වසරක් ගෙවුවද නොලැබෙන කීර්තියක් ඔහු අත්පත් කර ගෙන තිබිණ.

ආදරණිය විජය සිනමාවට පිවිසෙනුයේ සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙනි.

සරසවිය සම්මාන උළෙලයන් රැසකම ජනප්‍රිය නළුවා සම්මානය දිනා ගත් විජය හොඳම ගායකයා ලෙසද සම්මානයට පත් විය.

විජය කුමාරතුංගයන්ගේ නාමය සරසවිය සදාකාලිකවම සිහිපත් කරයි.


විජය ගුණ සමරා කෙටි නාට්‍ය තරගාවලියක්

විජය කුමාරතුංගයන්ගේ විසිපස් වැනි ගුණ අනුස්මරණයට සමගාමීව දීප ව්‍යාප්තව පවත්වනු ලබන කෙටි නාට්‍ය තරගාවලිය සඳහා අයැදුම්පත් සහ පිටපත් භාර ගැනීම දැන් සිදු කෙරේ.

පිටපත් රචනය විය යුත්තේ පාට ගොඩක් – එකම රටක් යන මැයෙන් විය යුතු අතර එය උපරිම විනාඩි 20 කට සීමා විය යුතුය. පිටපත් භාර ගැනීම මෙම මස 25 දිනට අවසන් වන අතර ඒවා සහ අයැදුම්පත් 131/20, මහවෙල පාර, පහළ බියන්විල, කඩවත යන ලිපිනයට එවිය හැකිය.

මෙය ජාතික මහජන සංසදයේ සංවිධානයකි.


රෝමියෝ සහ දාන්තේ සෙනසුරාදා ස්වාධීන රූපවාහිනියේ

බෙනට් රත්නායකගේ අධ්‍යක්‍ෂණයක්

ජාත්‍යන්තර සහ මෙරට සම්මානයන්ට පාත්‍ර වූ බෙනට් රත්නායක ගේ නවතම ටෙලි නාට්‍ය මාලාව ‘රෝමියෝ සහ දාන්තේ’ ඔක්තෝබර් 13 වැනි සෙනසුරාදා සිට රාත්‍රී 8.00 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරේ.

සාර්ථක ව්‍යාපාරිකයකු තම ජීවිතයේ දී විවිධ ගැටලු වලට මුහුණ දෙන අයුරුත්, හදිසියේ සැමියාගේ මරණයෙන් සහ තිබූ සැප සම්පත් නැතිවී යාමෙන් කම්පනයට පත් ගැහැනියක්, තම පියාගේ වියෝවෙන් සහ මවගේ හිතුවක්කාර ක්‍රියාවන් නිසා ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම්වලට මුහුණ දී ස්වාධීන ජීවිතයක් ගත කිරීමට තැත් කරන තරුණියක්, පවතින සමාජ අසාධාරණයටත්, අයුක්තියටත්, අවනීතියටත්, එරෙහිව නැගී සිටින විශ්ව විද්‍යාල තරුණයෙක් සහ බිරිඳ තමා අතහැර දැමීම නිසා කම්පනයට පත් අයකු වටා ‘රෝමියෝ සහ දාන්තේ’ කතාව ගෙතී ඇත. පාලිත සිල්වා, කාංචනා මෙන්ඩිස්, ජනක කුඹුකගේ, ඕෂනී ලියනගේ, උදාර රත්නායක, කංචන කොඩිතුවක්කු, බුද්ධික දමයන්ත, බෙනට් රත්නායක, මධු නිත්‍යානි, ගිවන්ත අර්ථසාද්, එස්. විශ්වනාදන්, නිලූකා රාජමන්ත්‍රී, අනුරුද්ධ ගාම්භීරආරච්චි, ගාමිණී ජයලත්, තරංග ජීවන්ත, ශ්‍රීමතී ජයවීර, දයාසිරි හෙට්ටිආරච්චි, සුරේෂ් ඉලංගෝ, රාජ් මෙන්ඩිස්, අයේෂා දිසානායක සහ දයා වයමන් මෙහි රංගනයෙන් දායක වෙති.

ගරු රඟපෑම් ක්ලීටස් මෙන්ඩිස් සහ වසන්ත මොරගොඩ විසිනි.

නිෂ්පාදනය සමන්මලී හේවාමාන්න, කැමරාකරණය චන්දන ධර්මපි‍්‍රය, විධායක නිෂ්පාදනය භාග්‍යා රත්නායක, කලා අධක්‍ෂණය රුවන් ආර්. අමරසූරිය, ප්‍රදීප් ජයසිංහ සහ එම්. ඒ. ඉන්දික නිරෝෂන්, අංග රචනය ප්‍රියන්ත ඊශ්වර, සංස්කරණය විශ්වරංග වික්‍රම සුරේන්ද්‍ර සහ සහාය අධ්‍යක්‍ෂණය ප්‍රසන්න ඉත්තෑපාන විසිනි.


‘විජය කුවේණි’ දින 150 යි

සුගත් සමරකෝන්ගේ විජය කුවේණි සිනමා සිතුවම තිරගත වන්නට පටන්ගෙන මෙම මස 6 වැනිදාට දින 150 ක් සපිරෙයි.

එලෙස අති සාර්ථක ගමනක යෙදෙන එය මේ වන විට ලක්ෂ 1500 කට ආසන්න අදායමක් උපයා ඇති බව විජය කුවේනි නිෂ්පාදක ගයාන් රණධීර පවසයි.

චිත්‍රපටය මේ දිනවල ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බහරේන් ආදී රටවල ද තිරගත කෙරේ.


අහුබුදු සූරීන්ගේ ග්‍රන්ථ පිළිගැන්වූදා

කලාසූරී අරිසෙන් අහුබුදු වියතාණන්ගේ පළමු ගුණසමරු උළෙලේදී ප්‍රකාශයට පත්කරන ලද අරිසෙන් අහුබුදු හරසරණිය හා අරුත නිරුත, රන්කිරුළ, අහුබුදු වත, මාලය, හෙළ දෙරණ වග යන ග්‍රන්ථ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාට අරිසෙන් අහුබුදු සූරීන්ගේ බිරිය වන සඳා අහුබුදු මහත්මිය විසින් පිළිගන්වනු ලැබූ අයුරුයි මේ.

අහුබුදු සූරීන්ගේ දියණි සමන්ති අහුබුදු සහ මිණිබිරිය සඳනි අහුබුදු සේයාරුවෙහි වෙති.