වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




විජය කුවේණි සමඟ සම්බන්ධවීම සතුටක්

විජය කුවේණි සමඟ සම්බන්ධවීම සතුටක්

කලා අධ්‍යක්ෂ ධම්මික හේවාදුවත්ත

ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂවරයෙකි. විජය කුවේණි ඇතුළු නිර්මාණ ගණනාවකටම සිය දායකත්වය සැපයූ ඔහු සිහින දුටුවේ රංගන ශිල්පියකු වන්නටය. එයින් තරමක් දුරස්ථ වුණත් කලා අධ්‍යක්ෂවරයකු ලෙස යුහුසුලුව වැඩ කරන ධම්මික සිය තතු විත්ති හෙළි කළ අන්දමයි මේ.

එදා නම් රඟපාන්නයි කැමැත්ත තිබුණේ. ඒත් අද වන විට මගේ වෘත්තිය කලා අධ්‍යක්ෂණය බවට පත් වෙලා. මං දැන් ඒකට ප්‍රියයි.

ගෞතමී ටෙලි සිතුවම තමයි මාව නළුවෙක් කරන්නේ. හැබැයි මං සිටි දර්ශනයේ මාව හරියාකාරව පෙනුණෙත් නැහැ. රඟපාන්න තිබුණත් නැතත් මං ගෞතමී ලොකේෂන් එකට වෙලා හිටියා. එහෙම ඉන්න කොට නාට්‍ය සඳහා මට ඇති උනන්දුව පිළිබඳ එක් අයකු දැක්කා. ඔහු තමා ගෞතමීහි සහය අධ්‍යක්ෂ ජෝසප් ජෙරම් පෙරේරා. අද නම් ඔහු අධ්‍යක්ෂවරයෙක්. ජෙරම් අයියා මාව නාට්‍යයෙහි ආර්ට් ඩිපාර්ට්මන්ට් එකට වැඩට ගත්තා. ක්‍රමයෙන් මා එහි සහාය කලා අධ්‍යක්ෂ බවට පත්වුණා. මට ඒ පිළිබඳ ඇල්මක් ද හට ගත්තා.

ටික කලකින් ජෙරම් අයියා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා තරුවක් පොළවට නමින්. මං එහිත් සහාය කලා අධ්‍යක්ෂ.

මේ වගේ වැඩ කළත් යම් කිසි දැනුමක් ලබා ගන්න මට හිතුණා කලා අධ්‍යක්ෂණය පිළිබඳ හදාරන්න. මොරටුවේ සුමිත් හිරාන් කියලා කලා අධ්‍යක්ෂවරයකු හිටියා. ඔහු මට මේ ගැන කියලා දෙන්න පොරොන්දු වුණා. ඔහුත් සමඟ මං අවුරුදු තුනක් හිටියා. බොහෝ දේ දැනගත්තා.

සුමිත් කුමාර මහත්මා සුපිරි වාසනා නාට්‍ය පටන් ගත්තේ මේ කාලේ. ඔහු සුමිත් හිරාන් අයියාට කතා කළා කලා අධ්‍යක්ෂණය කරන්න එහි. නමුත් ඔහු එම නාට්‍යයහි කලා අධ්‍යක්ෂණය කරන්නැයි මට කීවා. මං හොඳටම බය වුණා. සුමිත් හිරාන් මහතා මගේ බිය සැක දුරු කරලා සුමිත් කුමාරට හඳුන්වා දුන්නා. සුපිරි වාසනා තමයි මං පළමුවරට තනිව කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණු ටෙලි නාට්‍යවලත්. පසුව දියතක සෙනෙහස, මායා මන්ත්‍රී, වීදුරු මල්, දූවරු, පියවි වැනි ටෙලි නාට්‍යවලින් විජය කුවේණි, අඟර දඟර වැනි චිත්‍රපටවලටත් මං කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

මෙහිදී විජය කුවේණි ගැන කතා නොකරම බැහැ. එය අති දැවැන්ත චිත්‍රපටයක්. මං ඒවගේ එකක කලින් වැඩ කරලා නැහැ. අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ මාර්ගයෙනුයි මට සුගත් සමරකෝන් මහතාව මුණ ගැහෙන්නේ. ඔහු සහ එහි නිෂ්පාදක ගයාන් රණධීර මට නොබියව මේ වැඩේ කරගෙන යන්න බාර දුන්නා කිසිදු බලපෑමකින් තොරව. හොඳින් කාලය ගෙන බොහෝම සූක්ෂමව මට භාර දුන් වගකීම ඉටු කළා. මේ වන විට ඔවුන්ගේම තවත් නිෂ්පාදන කිහිපයකටම දායක වී සිටිනවා.

රඟපෑමේ හීනය දැන් මගේ ගාව නැහැ. නමුත් කවුරුන් හෝ හිතවතෙකු මට කතා කළොත් රඟපාන්නට පැකිලෙන්නෙත් නැහැ.

මං වැඩක් භාර ගැනීමට මත්තෙන් පිටපත හොඳට කියවනවා. සෑම රූප රාමුවක්ම හොඳින් නිරීක්ෂණය කරනවා. අනතුරුවයි වැඩේට බහින්නේ. මේ දිනවල තුෂාරි අබේසේකරගේ ‘හෝ පළ අරණ’, චාමර පීරිස්ගේ ‘යාය හතර’, දී. ග. සෝමපාලගේ ‘අහස අහිමි කුරුල්ලෝ’ වැනි ටෙලි සිතුවම්වල වැඩ.

මං ඉගෙන ගත්තේ අතුරුගිරිය මහ මාත්‍ය විදුහලෙන්. මේ වෙලාවේ මගේ ගමනට දිරිය ශක්තිය ලබා දුන් මගේ අම්මා ඩී. සීලවතී, තාත්තා සරත් අබේපාල, මල්ලි නලින් ජීවන්ත, රාහුබද්ධ, සේන උදය, අනුරාධපුරයේ අජිත්, සෝබා අක්කා, ප්‍රියාන් අනුර ශ්‍රී, වසන්ත විට්ටච්චි, ශ්‍රීලාල්, දිමුතු, චම්පි ඇතුළු පිරිසට මා තුති පුදනවා.දැනට මං ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු නවයයි. මට ඕනේ කවදා හරි ලංකාවේ හොඳම කලා අධ්‍යක්ෂ හැටියට නමක් දිනාගන්න. ඒක තමයි මගේ එකම පැතුම.