වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මසිරි ගමගේ අභිනන්දන ප්‍රණාම උපහාර උළෙල 06 දා

ධර්මසිරි ගමගේ අභිනන්දන ප්‍රණාම උපහාර උළෙල 06 දා

ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ගේ 73 වැනි ජන්ම දිනය සිහිකැඳවමින් පැවැත්වෙන ‘ධර්මසිරි ගමගේ අභිනන්දන ප්‍රණාම උපහාර උළෙල’ මේ මස 06 වැනිදා සෙනසුරාදා පස්වරු 6.00 ට ජෝන්ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

මෙම උළෙලේදී ධර්මසිරි ගමගේ අභිනන්දන ප්‍රණාම උපහාරයෙන් පිදුම් ලබන්නේ විවියන් ද සිල්වා බොරලැස්ස, වින්සන්ට් ද පෝල් පීරිස්, අනුලා බුලත්සිංහල, ලූෂන් බුලත්සිංහල යන කලා ලොවේ ප්‍රවීණ කලාකරුවන් රැසකි.

මේ උළෙලේ සංවිධාන කටයුතුª පිළිබඳ මූලික අනුග්‍රාහකත්වය දරන්නේ ධර්මසිරි ගමගේ මහතාගේ කලා දිවියට ආදරය කළ ඔහුගේ රසිකයකු වූ ජයන්ත සරත් කුමාරයි.

මේ අභිනන්දන උළෙල සඳහා පැමිණෙන්නැයි ධර්මසිරි ගමගේ නම් ආදරණීය මිනිසාට ආදරය කරන සහෘද ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.


නීති විද්‍යාලයේ සම්මානනීය නාට්‍යකරුවාහර්ෂණ

ඔහු නීති විද්‍යාලයේ යොවුන් නාට්‍යකරුවෙකි. නමින් හර්ෂණ එම්. ද සිල්වා වන හෙතෙම ඉදිරිපත් කළ කෙටි නාට්‍යයකට ඉකුත් දා පැවති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වාර්ෂික කලා මංගල්‍යදා සම්මාන පිට සම්මාන දිනා ගන්නා ලදී.

ඔහුට එහිදී අහිමි වූයේ හොඳම නිළියට හිමි සම්මානය පමණි. ඒ ඔහුගේ නාට්‍යයෙහි නිළියක නොසිටිය බැවිනි. මේ කෙටි සටහන ලියවෙනුයේ ඔහු වෙනුවෙනි.

හර්ෂණ මේ වන විට නීති විද්‍යාලයේ දෙවැනි වසරෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂ උපාධියක් හදාරයි. ඔහු කලා කටයුතුවල යෙදෙන්නේ මේ අතරතුරදීය.

නීතිය ඉගෙන ගත්තත් මගේ හිත වැඩිපුර නවතින්නේ කලාව ළඟ. ඒ නිසාම හැකි පරිදි ඉඩ ලැබෙන මොහොතවල්වලදී කලා කටයුතුවල නියැලෙනවා. අප විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන කලා උළෙලට මම හැම වර්ෂයකම කෙටි නාට්‍යක් ඉදිරිපත් කළා. මෙවර මගේ නාට්‍ය වුණේ ‘කාලකණ්නි කතාවක්’. මං ඒ සඳහා හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත ඇතුළු සම්මාන දොළහක් දිනා ගත්තා. ඇත්තටම ඒක නීති විද්‍යාල ඉතිහාසයේ වාර්තාවක්. ඒ වගේම එහි විවාද තරගාවලියේ ද ප්‍රථම ස්ථානය දිනා ගත්තෙත් මං.

දෙරණ රියල් ලීඩර් තරගාවලිය ඔබට මතක ඇති. එහි තෙවැනි තැන දිනා ගත්තේ ද හර්ෂණයි.

රියල් ලීඩර් කියන්නේ ලෙහෙසි පහසු තරගයක් නෙවෙයි. හරිම දුෂ්කර තරගාවලියක් ඒක. හරිම වැරවෑයමෙන් මං තරගයේ ඉදිරියටම ගොස් තෙවැනි තැන දිනා ගත්තා.

හර්ෂණ හිරු නාලිකාවටත් කලක් සම්බන්ධ වී සිටියා.

එහි පටිරෝල් වැඩසටහන ඉදිරිපත් කළේ මං. ඒත් තියෙන කාර්යබහුලකමත් එක්ක මං එයින් අයින් වුණා.

කවි පොතක් ලියන්න තමයි හර්ෂණගේ බලාපොරොත්තුව.

ඒක ළඟදීම එළි දැක්වේවි.


රත්නශීලා ගේ සින්දු පැදුර 8 වැනිදා පුංචි තියටර්

නිවේදිකා රත්නශීලා පෙරේරාගේ ‘සින්දු පැදුර’ මේ මස 08 වැනිදා බොරැල්ල පුංචි තියටර්හිදී පැවැත්වේ.

සින්දු පැදුරෙහි ගීත ගයන්නේ බන්දුල විජේවීර, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, සූරිය කුමාර මුත්තලගේ, නොයෙල් රාජ්, තිස්ස ජයවර්ධන සහ උපසේන සුබසිංහකෝපි කඩේ පාල, වික්ටර් වික්‍රමගේ යන ශිල්පීන් විසිනි. සංගීතය මෙහෙය වන්නේ කැළුම් ගී ගනගේ ප්‍රමුඛ වාද්‍ය මණ්ඩලයයි.


ට්‍රයිකෝ ප්‍රසංගය 05 වැනිදා ඩුබායි හිදී

ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන දැවැන්ත සංගීත ප්‍රසංගයක් ඔක්තෝබර් 5 සිකුරාදා රාත්‍රී 7.00 ට ඩුබායි අල් නසාර් ලෙෂර් ලෑන්ඩ් අයිස් රින්ක් හි දී පැවැත්වේ. සංගීතය පර්පල් රේන්ජ්. කථනය ගුවන් විදුලි රූපවාහිනී ප්‍රාසාංගික නිවේදක වසන්ත රෝහණගෙනි.


හොඳම සිංහල ගීත සාහිත්‍ය සම්මානය ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහට

හොඳම සිංහල ගීත සාහිත්‍ය කෘතියට හිමි සම්මානය හිමි වූයේ දිනමිණ පුවත්පතෙහි සේවය කරන ප්‍රවීණ මාධ්‍යවේදී මෙන්ම ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහටයි.

එය ඔහුගේ ‘සඳුනි’ කෘතිය සඳහායි.


ස්වර මියැසි විරාමය 07 වෙනිදා ආනන්ද විද්‍යාලයේ

රුසියානු මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් සංවිධානය කරනු ලබන ‘ස්වර මියැසි විරාමය’ විචිත්‍රවත් සංගීත සැඳෑව මෙම මස 07 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

සංගීත් නිපුන් විශාරද අමරසිරි පීරිස්, විශාරද වික්ටර් රත්නායක, විශාරද සුනිල් එදිරිසිංහ, විශාරද නිරෝෂා විරාජිනී යන කලාකරුවන්ගේ ගැයුමෙන් එදින ප්‍රසංගය හැඩ ගැන්වනු ඇත.

ජයන්ත රත්නායක සංගීතය මෙහෙයවනු ලබයි. කථනය වසන්ත රෝහණගෙනි.