වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සඳපානක් සේ ඇවිදින් සඳපානක නොපෙනී ගිය

සඳපානක් සේ ඇවිදින් සඳපානක නොපෙනී ගිය

ඉටි මල් තැනූ නාලක මහරගම නාවින්නේ දී , බිහිසුනු රිය අනතුරකින් මරුට

නිල් අහස අඳුරුය. සෝබරිතව මළ හිරු සැඟවෙන්නට තැනක් සොයමින් සිටින්නේය. අද සැබැවින්ම සන්තාපමය දවසක්ය. ඔහු නොඑන්නට යන්නේ අදය. ළබැඳි හිතෛෂියෝ කොතෙක් හැඬුවත් ඒ යොවුන් නිර්මාණකරුවා ආයෙත් ‘ඇක්ෂන්’ කට් කියන්නට නැවත අප අතරට එන්නේ නැත.

නාලක වෙදමුල්ල නම් ඔහු මේවන විටත් සිය අවසන් නින්දෙහි පසු වන්නේය.

නාලක වත්මනෙ හි අපට බොහෝ සෙයින් සමීපය. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘ඉටිමල්’ ටෙලි සිතුවමෙහි දෙවන අදියරෙහි අධ්‍යක්‍ෂවරයා වශයෙන්ය.

පිටපතෙහි ඇති චිත්ත සිතුවිලි අපූරුවට කැමරා කාචයට නඟා අප පිනවූ නාලක ඉටිමල් සඳහා ද දායක වූයේ අප්‍රමාණ කැමත්තකින්ය. කෙනෙකු භාගයට නවතා තිබූ නිර්මාණයක ඉතිරිය කිරීමට ඇතැමෙක් අකැමැතිය.

එහෙත් නාලක ඉටිමල් දෙවන අදියරෙහි සිට ප්‍රේක්‍ෂකයන්ට කිසිදු වෙනසක් නොපෙන්වීමට වගබලා ගනිමින් එය නිදහසේ අධ්‍යක්‍ෂණය කළේය.

1976 වර්ෂයේ සැප්තැම්බර් 11 වැනි දින ගාල්ලේ උණ වටුණේ උපන් නාලක සිප්සතර හැදෑරුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ය. හය හතර නොදන්නා සමයේ සිට කලාවට ආදරය කළ හෙතෙම නාට්‍යකරණයට ඇති ආසාව නිසාම උසස් පෙළ කරන සමයේ ‘ගාලු නඩය’ නම් වූ වීදි නාට්‍ය කණ්ඩායමට බැඳුනේය.

ඔහුගේ පි‍්‍රය බිරිය වූ රංගන ශිල්පිනී චන්දි රණතුංග නාලකට හමුවන්නේ එතැන්හි දීය. ක්‍රම ක්‍රමයෙන් කලාවට ඇති ඇල්ම වැඩිවෙත්ම නාලක කොළොම් පුරයට පැමිණෙන්නේය. ක්‍ෂේත්‍රයට පිවිසීමට පොටක් සොයමින් සිටි ඔහුට සිරස ආයතනයේ නිෂ්පාදන සහායකයකු වශයෙන් වැඩ කිරීමට අහඹු අවස්ථාවක් ලැබෙන්නේය.

ඒ අනූව දශකයේ අගභාගයේ පමණය. එම ආයතනය නිෂ්පාදනය කළ නිදි කුමාරි, දෙවරක් චක්කරේ, ආදී නාට්‍යවලද අහන්න ආසයි ගයන්න, කාගෙද ගී නද වැනි වැඩසටහන් වලද නිෂ්පාදන සහායකයා වූයේ නාලකය. පසුව නිදහස් නිර්මාණකරුවකු වශයෙන් පරිණතභාවයට පත්වන හෙතෙම ඉර මැදියට, මගේ වම් අත, අසනි වර්ෂා යන චිත්‍රපටයන් හි නිෂ්පාදන සහායකයකු වශයෙන් දායක වන්නේය.

ඉන් මහත්වූ අත්දැකීම් රැසක් මිටි මොලවාගත් ඔහු සහාය අධ්‍යක්‍ෂවරයකුගේ භූමිකාවට පණ පොවන්නට පටන් ගන්නේය. ලාබයි ඇපල්, සයුරි, වසන්තය අරන් ඇවිත්, සරා ඔහු එලෙස සහාය අධ්‍යක්‍ෂණය කළ නිර්මාණයන්ය.

සරා හි කොටස් සියයෙන් පසුව එහි අධ්‍යක්‍ෂණ භූමිකාවට නාලකට ඇරැයුම් ලැබෙන්නේය. ලද අභියෝගය මනාව පාලනය කොට නියමිත ඉලක්කයට ගමන් කළ ඔහු සරාගෙන් පසුව මිණිපුර හටන, දංකුඩ, බහිරව කන්ද (විකාශය වීමට නියමිත) වැනි ටෙලි සිතුවම් අධ්‍යක්‍ෂණය කරමින් නිර්මාණ කරුවකු බවට පත්වන්නේය.

ඉටිමල් ඔහු අවසන්වරට අධ්‍යක්‍ෂණය කළ නාට්‍යය ය. නාලක එහි අධ්‍යක්‍ෂණය කළේ දෙවන අදියරෙහි කොටස් - 75 ය. ඔහු එය ඉතාම සාර්ථකව සිදු කළේය. එම අදියරෙහි අවසන් රූපගතකිරීම තිබුණේ පසුගිය ඉරිදාය. එම දිනය ඉටිමල් හි දෙවන අදියරෙහි සේම තමන්ගේ සුන්දර ජීවන ගමන් මගෙහි අවසාන දර්ශන පෙළ ලියැවෙන දා යැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

සියලු කාර්යයන් සුබදායීව ගෙවුනු එදින සවස්වරුව වනවිට ඉටිමල් කණ්ඩායමේ නිෂපාදන කණ්ඩායම පන්නිපිටියේ පිහිටි සිය සුපුරුදු නවාතැනට පැමිණියහ. හුරුපුරුදු විහිළු තහළු, පුරුෂ පාර්ශවයට පමණක් සීමාවූ කතන්දර පවසමින් කැමරා ආම්පන්න ද නියමිත තැන්වල තබා එතැන වූ එළිමහන් භූමියට පිරිස එක්රැස් විය.

සියල්ලන්ටම නිශ්ශබ්ද වන්නට යැයි අතින් සන්කොට නාලක පුංචි වදන් කිහිපයක් සිනහමුසුව පැවසීය.

අපි ගොඩක් හොඳින් වැඩ කළා. හිතුවටත් වඩා කට්ටිය මට සපෝට් එකත් දුන්නා. ආ . . . ඔක්කෝටම කලින් චාමරට ස්තුති කරන්න ඕනේ. මෙයා තමයි මාව ඉටිමල් නාට්‍යයට ගෙනාවේ.

ඔහු එය කීවේ ඉටිමල් හි රේඛීය නිෂ්පාදක චාමර සමරවික්‍රමගේ කරට අතක් දමන ගමන්ය.

එතැන් පටන් ඔවුහු එම සතුට සැමරූහ. පෙරදා නැඟුණු පෝය සඳෙහි ඉතිරි වූ කැල්ම මෙම අවස්ථාව තවත් ආනන්දනීය කළේය. නාලකගේ ගායන හැකියාව අවදි වන්නේ මෙවන් මොහොතකදීය. මැදියමට ආසන්න විය. අදින් පසුව රූගත කිරීම් දින කිහිපයකට නතර වන බැවින් ඔහු අතුල සමිතාගේ සඳපානක් සේ ඇවිදින් ගීතය විරිදුවක තාලයට ගායනා කළේය. අන්තිමට ආයෙමත් ස්තුති කළේය.

ඇතැමෙක් තමන්ගේ බඩු බාහිරාදිය අස්පස් කිරීමට කාමරයට ගියහ. චාමර ඒ අතර සිටියේය. පැය භාගයකට පසු ඔහු යළිත් පිටතට පැමිණෙන විට නාලක එතැන නොසිටියේය. කලබල වූ ඔහු නාලක කොහිදැයි සෙව්වේය. ඒ වන විටත් නාලක එම නාට්‍යයෙහිම නිෂ්පාදන කළමනාකරු වූ බුද්ධික ඉරෝෂණ සමඟ සිය නිවසට පිටත්ව ගොසින්ය. නාලක කිසිවෙකුගෙන් සමුගෙන තිබුණේ නැත.

තමාටත් නොකියා නාලක ගිය ගමන ගැන චාමරට ඇති වූයේ විස්සෝපයකි. ඔහු ජංගම දුරකථනයට ඇමතීය. එවිට වේලාව මැදියම ගෙවීය. ‘මං ගෙදර යනවා’ නාලක චාමරට පැවසීය.

තවත් වැඩි යමක් කතා නොකොට කුතුහලයකින් යුතුව චාමර දුරකථනය විසන්ධි කළේය. ඉන් මිනිත්තු කිහිපයකට පසුව නාලක රැගත් මෝටර් රථය මහරගම නාවින්න නගරය ආසන්නයේදී තවත් රථයක් සමඟ ගැටිණ. ඔහුගේ ජීවිතය එතැනදීම මරු තුරුලට පත් විය. එය අතිශය බිහිසුණු එකක් විය.

ඔවුන්ගේ රථය අනතුරින් පසු උඩුබැලි අතට හැරී තිබුණි. ඔහු සමඟ ගමන් කළ බුද්ධික බරපතළ තත්ත්වයෙන් මේ වන විට ජයවර්ධනපුර රෝහලෙහි ප්‍රතිකාර ලබමින් පසු වන්නේය.

කෙසේ නමුත් ඒ අවාසනාවන්ත රාත්‍රිය නිමා වූයේ අපෙන් සොඳුරු මිනිසකු පැහැර ගනිමින්ය.

සිය ආදරණීය ස්වාමි පුරුෂයා නැති සොවෙන් චන්දි වැළපෙන්නීය. සිව් හැවිරිදි නාලකගේ ආදරණීය දියණිය මේ කිසිත් නොදැන පුරුදු පරිදි තාත්තා ගැන විමසන්නීය.

නාලක රංගන ශිල්පියකු වශයෙන් ද විවිධ නිර්මාණවලට දායක වූ බව කවුරුත් නොදන්නේය. ඔහු 1990 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ විශිෂ්ටතම රංගන ශිල්පියා ද වූයේය. එපමණක්ද නොව 1994 – 2012 දක්වා ලයනල් රන්වල ජන ගී කණ්ඩායමේ රංගන, රංග වින්‍යාස ශිල්පියකු සහ ප්‍රධාන සම්බන්ධීකාරක වශයෙන් කටයුතුª කරන ලද්දේය.

ඉටිමල් සුවඳ නැත. එහෙත් පර නොවන්නේය. සුවඳ ඇති මල් බෙහෙවින් සුන්දරය. නමුත් ඒවා ඉක්මනින් පරවන්නේය. නාලක ද එවැනිම වූ සුවඳැති මලක්ය.