වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




අද ලංකාවේ කලාකරුවන්ට වෘත්තීය මට්ටමක් නෑ

අද ලංකාවේ කලාකරුවන්ට වෘත්තීය මට්ටමක් නෑ

දුලීකා මාරපන සමඟ කතාබහක්

ඩිංගිරි අම්මා මගේ මුත්තම්මාට සමානයි

අත්තා පල් - මුත්තා පල්
රෑ වෙනකල් - අල්ලා පන්
කියලා මාර ගහ වටේ දුවන කෙලි
පැටික්කියන්ගේ හඬින් මුළු පාසලම

දෙවනත් වුණා. බේබිනා ආච්චි පය ඉක්මන් කළේ මේ පැටික්කියෝ මොනවා කරාවිද කියන සැකයෙන්. පාන්දරම කිරි කොක්කු වගේ කිරි සුදට බැබළි බැබළි ආව පැටික්කියන්ගේ ගවුම කහම කහ පාටයි.

එක් කෙනෙකුගේ අතක් ඉරිලා. අනෙක් එක්කෙනාගෙ ටයි එක ඇදිලා. තව කෙනෙකුගේ සුදු ගවුම් පටිය ලිහිලා. ගවුමේ බොත්තම් ගැලවිලා. පැටික්කියන් අතරේ දඟම පැටික්කි දුලීකා. ඇගේ දැඟලිල්ල මට්ටු කරන්න අම්මටත් බෑ. බේබිනා ආච්චිගේ අත කම්මුලට යන්නේ ඉබේටම.

දුලීකාට නටන්න, සින්දු කියන්න, රඟපාන්න වගේම චිත්‍ර අඳින්නත් පුළුවන්. සුරංජලිකා, ධම්මිකා කියන ‘කා’ කණ්ඩායමේ ප්‍රධානියා වුණේ දුලීකා. ඕ ලෙවල්වලින් ඒ ලෙවල් වලට පාස් වුණත් කරනා දඟකාරකම්වල නිමක් කොණක් ඈට තිබුණේ නැහැ. කොණ්ඩේ දිග දුලීකාට හැමෝම ආදරය කළා.

‘දුලීකාගේ කොණ්ඩය වගේ . . .’

හංස සංදේශය කියාදෙන ගුරුතුමා කිව්වේ දුලීකාව පෙන්වමින්. සාහිත්‍ය විෂයයට දුලීකාගේ තිබුණේ පුදුම කැමැත්තක්.

‘මේ කැමැත්ත ඈව අරගෙන ආව දුරක්’

මට එහෙම හිතුණා. දුලීකා මාරපන කියන ඔබගේ ආදරය දිනාගත් ඈට ඔබ ආදරය කරන්නේ සඳමාලි ටීචර් නිසා.

‘සඳමාලි ටීචර් වස්දඬුව වයන අපූරුව’

හැමෝම කිව්වා. නිවෙස ඉස්සරහ තිබෙන ගහ පාමුල වාඩි වුණ සඳමාලි ටීචර්ගේ දුක වස්දඬුව දිගේ පාවෙලා ගියා. මේ අඳ යුවතියගේ සංවේදී බව ප්‍රේක්ෂකයන්ට දැනුණා. ‘සඳ අමාවකයි’ හි සඳමාලි ටීචර් ලංකාවෙම ජනතාව ආදරය කරන ටීචර් වුණා. මේ දවස්වල ඔබ අතරට ඇය එන්නේ දෙරණ රූපවාහිනියේ රාත්‍රී 9.15 ට විකාශය වන ‘මලී’ ටෙලි නාට්‍යයේ ඩිංගිරි අම්මා විදියට.

‘මලී’ කියන්නේ මේ කාලවකවානුවේ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ‘මලී’ මගේ රංගන ජීවිතයටත් සුවිශේෂී ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යයේ ජීවත් වෙන්නේ මහ පොළවේ ජීවත්වන චරිතයි. අපේකම, අපේ රට, පරිසරය, අතීතයේ තිබුණු දේ, ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණු ජාතියක් විදියට, සිංහල භූමියත් සමඟ බද්ධ වෙලා ජීවත් වන ඩිංගිරි අම්මා ඇතුළු චරිත ඉදිරිපත් කරනා අපේකම මිනිස්සුන්ට දැනුණා. ඒකට ඔවුන් ආදරෙයි.

නිතරම දුරකථන ඇමතුම් දෙන අය කියන්නේ ඩිංගිරි අම්මා නිසා ඔවුන්ගේ අම්මා, අත්තම්මා, ගම මතක් වෙන බවයි. ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයා වුණු ජානක සිරිවර්ධන මහත්තයාටත් අවශ්‍ය වුණේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ නැති වූ දේ නැවත මතක් කරන්නයි. අපට තිබුණු දේ නැවත මතක් කරන්නයි. ඔහු නිතරම ඩිංගිරි අම්මා කිව්වේ මේ මහ පොළවයි. මහ පොළව රකින්න, එය විනාශ කරන අය විනාශ කර දමා හෝ තමන්ගේ රට, දරුවන් රකින්න උත්සාහ කරන ආකාරයයි ඩිංගිරි අම්මාගේ චරිතයෙන් කියන්නේ. ඩිංගිරි අම්මගේ චරිතය ලියන අවස්ථාවේ මාව ඊට සුදුසුයි කියලා තෝරගෙන ලිව්ව ‘මලී’ පිටපතේදී ඔවුන් සිතූ දේ ඔවුන්ට ලැබුණා. ජානක සිරිවර්ධනගේ අදහස මල්ඵල ගැනුණා.

අනික් කාරණය වෙන්නේ මලී කියන්නේ දීර්ඝ නාට්‍යයක් වුණත් ඒ ඔස්සේ මිනිස්සුන්ගේ සරල වින්දනයට එහා ගිය යමක් දෙන්නත් නිෂ්පාදකවරයාට ඕනෑ වුණා. සමාජයට යහපත් පණිවුඩයක් දෙන, යහපත් නිර්මාණයක් කරන්නට ඔහුට උවමනා වුණා. ‘මලී’ වටා සිටින ප්‍රේක්ෂකයන් පිරිස දෙස බලද්දී ඒ දේ ඔප්පු වෙනවා.’

දුලීකා හා හා පුරා කියලා ඉස්සෙල්ලාම ස්පර්ශ කරන්නේ වේදිකාව. විවෘත වේදිකාවේ කළ ‘සපත්නී’ කෙටි නාට්‍යයේ රංගනය දුලීකාගේ ගමන් මගේ අපූරු කඩඉමක්. හොඳම නිළිය විදියට සම්මානය ගන්න ඈ වේදිකාවට දිව්වා. ස්වර්ණමාලි, සෙවණැලි සහ මිනිස්සු, කටු යහන තවත් ඈව ප්‍රේක්ෂකයාට ළං කළා. දිගින් දිගටම හොඳම නිළිය විදියට අභිෂේක ලැබුව දුලීකා ප්‍රේක්ෂකයන්ගේ හදවත සොරා ගත්තා. පුංචි තිරයේදී වුණත් ඈ පුංචි තිරය නරඹන්නන්ගේ විශ්වාසය බින්දේ නෑ. ඒත් එක පාරටම ඇද හැලුණු මෙගා නාට්‍ය වැස්සෙ මෙන්න දුලීකා. ‘මලී’ කියන මෙගා ටෙලි නාට්‍යය අන් මෙගා ටෙලි නාට්‍ය අතරින් වෙනස් මගක් ගත්ත නාට්‍යයක්ද කියලා ඇගේ රසික – රසිකාවන්ට නැගුණේ ප්‍රශ්නයක්.

‘මලී’ කියන්නේ අනෙක් මෙගා නාට්‍යවලින් වෙනස් වුණ නාට්‍යයක්. ‘මලී’ ට ස්ථිර වූ ඉලක්කයක් තිබෙනවා. ඒ නිසා නාට්‍යයේ ඊළඟ ෂෙඩුල් එක ආරම්භ කරන්න කලින් ඒ කොටසේ පිටපත මේ ෂෙඩුල් එකේදී අපේ අතට ලැබිලා ඉවරයි. සුනන්ද සිල්වා මහත්තයා ඉතාමත් මහන්සියෙන් කටයුතු කරන කෙනෙක්. සමහර මෙගා ටෙලි නාට්‍යවල වගේ උදේට පිටපත අපට ලැබෙන්නේ නෑ. ඒ කාරණාව අපට අදාළ වෙන්නේ නෑ. ඒ තත්ත්වය අපේ නාට්‍යයේ නෑ. අපි මුල, මැද, අවසානය දැනගෙන හිටියා. මේ නිසා අපට චරිතය ගොඩ නඟා ගන්න පහසුවක් වුණා. නමුත් ටෙලි නාට්‍යය මේ තරම් දීර්ඝ කරන්න අදහසක් ඔවුන්ට තිබුණේ නෑ. දෙරණ නාලිකාවෙන් කළ ඉල්ලීමකටයි එහෙම වුණේ.

‘මලී’ නාට්‍යයත් සමඟ ප්‍රේක්ෂකයෝ බැඳිලා හිටිය ප්‍රමාණයත් එක්ක නාට්‍යය දිගටම කරන්නට තීරණය කළා. එතැනින් එහාට මලී දීර්ඝ වෙන්නේ නෑ. මම හිතන්නේ ’මලී’ කියන්නේ එහෙම අවසානයි කියලා නවත්වන්න පුළුවන් නාට්‍යයක් නෙමෙයි. තවත් අවස්ථාවක තවත් කෙනෙකුට වෙනත් ආකාරයේ නිර්මාණයක් සමඟින් නැවත දෙවැනි කොටස පටන් ගන්න ඉඩක් ඉතුරු කරමින් අපි මලී අවසන් කරනවා.

හේතුව මේ මහ පොළව විනාශ වෙන්නේ නෑ. මහ පොළව මත ජීවත්වන දරුවෝ, සතා සිව්පාවා, ගහ කොළ විනාශ වෙන්නේ නෑ. මේ සමාජයේ ගමන් කරනා වැරැදි දිශාව කනට පාරක් දීලා කියා දෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒක තමයි නිර්මාණයකින් විය යුත්තේ. ‘මලී’ නාට්‍යය පුරාම යන්නේ බොරුව හා ඇත්ත අතර වෙනසයි. මිනිස්සු දියුණුව කරා යන ගමනේදී තමන්ගේ ජීවිතය කොයි තරම් බොරුවෙන් වහ ගන්නවද? ආටෝපයෙන් වහ ගන්නවද? මේ යථාර්ථය අතර තිබෙනා වෙනස මින් කතාබහ කරනවා.’

ඩිංගිරි අම්මා තමන්ගේ ගෙදරට වගේම මුළු ගමටමත් අම්මා. ඈ බලාපොරොත්තු වෙන්නේ ගමේ සියල්ලන්ගේම සුබ සිද්ධිය. ඈ වෙදකම් කරන්නෙත් ඒ අදහස පෙරදැරිව. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන මේ හැම දේකින්ම ඩිංගිරි අම්මා පතන්නේ සුවයක්. සෙතක්. බරට අඩි තියමින් යන ඩිංගිරි අම්මට ආවේණික ගමන අපට හොඳට මතකයි. මේ ගමන් තාලය ඈ ඇගේ පරම්පරාවෙන් අරගෙන ආ එකක් වගෙයි.

‘ඩිංගිරි අම්මාගේ සමහර ලක්ෂණවල මගේ අම්මගේ චරිත ලක්ෂණ තියෙනවා. බරක් දීලා ඇවිදින ගතිය මගේ අම්මටත් තිබුණා. මම කවදාවත් මගේ මුත්තම්මා දැකලා නෑ. නමුත් මගේ හැඩරුව මුත්තම්මාගේ වගේ කියලා දවසක් මට අම්මා කිව්වා. ඒ නිසා ඩිංගිරි අම්මාගේ චරිතය මගේ මුත්තම්මාගේ හැඩය වගේම මගේ අම්මා මට දුන් හැඩය කියලා මට හිතෙනවා. මගේ ගමේ මේ වගේ චරිත තවමත් ජීවත් වෙනවා. ඒ අය කතා කරන කොට, ඇවිදින කොට පොළවට ඒක දැනෙනවා. ඔවුන් සරල නැහැ. සැහැල්ලු නැහැ.

මගේ අම්මත් ඒ කුලයේ ගැහැනියක්. අපි ගැහැනු ගැන කතා කළාට ගැහැනුකම ගැන මොනවද දන්නේ. අපේ අත්තම්මලා මුල් කාලයේ ගැහැනු හැටියට ජීවත් වුණා. එදා මේ අය පිරිමියෙකුට වඩා ශක්තිමත්. ප්‍රෞඪයි. ඒ බර ඩිංගිරි අම්මාගේ චරිතයේ තිබෙනවා. මුලින්ම මේ තරම් බරක් දැනෙන චරිතයක් රඟපාන්න පුළුවන් වේවිද කියලත් මට බයක් දැනුණා. චරිතය පිළිබඳ ජානක සිරිවර්ධන වගේම සුනන්ද සිල්වාත් සමඟ කතා කරන විට ලැබුණු සහයෝගය අපමණයි. ඩිංගිරි අම්මාගේ චරිතය සොයාගෙන යන අවස්ථාවේ ලැබුණු බොහෝ දේත් සමඟ අපේ රටට දැනෙන චරිතයක් රඟපාන්නට මට හැකි වුණා.’

‘දුලීකාත් මෙගා නාට්‍යවල රඟපානවා’

මෙගා නාට්‍යවලින් දුලීකාගේ රඟපෑම බලාපොරොත්තු නොවුණු බොහොම දෙනෙක් කිව්වා. දුලීකා විතරක් නෙවෙයි. ඒ වගේ දක්ෂයෝ බොහොම දෙනෙක් අද මෙගාවලට ඇවිල්ලා. සමහර අය මෙගාවලට බනිනවා. මේ අය මොනවා කිව්වත් ඔවුන්ගේ ජීවත තත්ත්වය ගැන කතා කරන්න කවුරුවත් අද පෙලඹෙන්නේ නෑ.

මේ අදහස සම්බන්ධයෙන් ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?

දූලීකා මාරපනගෙන් අප විමසුවා.

‘මෙගා නාට්‍ය ක්‍රමවේදයේ වැරැද්දක් මා දකින්නේ නෑ. මා වැරැද්ද දකින්නේ මෙගා නාට්‍ය කරන පිරිස ඒක කරගෙන යන ආකාරයේයි. බොහොම දෙනෙක් කිව්වේ විශිෂ්ට නිර්මාණ සඳහා තිබෙන ඉඩකඩ ඇහිරී යන බවක්. ඇයි අපේ අයට නොහැකි ඉතා උසස් රස වින්දනයක් තිබෙන කලා කෘති මෙගා හරහා කරන්න. ඔෂින් කියන නිර්මාණයෙන් සරල වින්දනයක් ද දුන්නේ. මුළු ජපානයම ගොඩ නැගුණේ ඔෂින් හරහා. මෙගා කියන නම හරහා බොහෝම දෙනෙක් සරල බාල තැනකට එනවා. ඒ වගේම මෙගා නාට්‍ය හරහා මුදලාලි පැළැන්තියක් බිහි වුණා. මේ හරහා තමන්ගේ ආර්ථිකය පොහොසත් කර ගන්න උත්සාහ කළා මිසක් නිර්මාණයක් කළේ නෑ. ඒකයි ගැටලුව.

මේ සම්බන්ධයෙන් කතා කළ යුතු අනිත් කාරණය වෙන්නේ ක්ෂේත්‍රයේ සමහර ශිල්පීන්ට වැඩ කටයුතු පැවරුණේ ඉඳල හිටලා. මේ හරහා ඔවුන්ගේ දරු මල්ලන් පෝෂණය කරන්නට අවස්ථාවක් ලැබුණා. මෙගා නාට්‍ය හරහා පවුල් කිහිපයක් පෝෂණය වුණාද? ඔය ලොකු කතා කියන කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නෑ. ලංකාවේ කලාකරුවන්ට වෘත්තීය මට්ටමක් නෑ. නමුත් දීර්ඝ නාට්‍ය හරහා වෘත්තීය හැඩයක් හැදුණා. අපි අද යම් තැනකට ඇවිත් තියෙන්නේ ඒ යම් සුළු සුළු කටයුතුවලින් අපට සහාය වන ඔවුන් නිසයි. කිසිම හේතුවක් නිසා මෙගා නාට්‍යවලට මම බනින්නේ නෑ. මේ නාට්‍ය ක්‍රමවේදයට බනිනවාට වඩා ඊට වඩා යමක් කරන්න අපි උත්සාහ ගන්න ඕන. ඒක කරන්න පුළුවන්. නාට්‍යයක් ආරම්භයේදී තිබෙන්නා වූ උද්යෝගය අවසානය දක්වා තිබෙනවා නම් දීර්ඝ නාට්‍ය හොඳ නාට්‍ය ක්‍රමවේදයක් කරා රැගෙන එන්නට හැකියි.’

වේදිකාවට ආදරය කළ දුලීකා වේදිකාව අතහැරලද?

හැමෝගෙම සිත්වල නළියන ප්‍රශ්නය මා ඈට යොමු කළා.

‘වේදිකාවට මම තවමත් ආදරෙයි. අවුරුද්දකට එක නාට්‍යයකට වඩා කරන්න මට හැකියාවක් නැහැ. ඒ මගේ හඬේ තිබෙනා ගැටලුව නිසයි. දීර්ඝ වශයෙන් කතා කිරීම නිසා ස්වර තන්තු හානියට ලක්වෙලා. වෛද්‍යවරු මට උපදෙස් දීලා තිබෙන්නේ කතා කරන එක නවත්වන්නයි. එහෙම වුණොත් මගේ ගෙදර යුතුකම් කොටස ඉටු කරන්නේ කොහොමද කියන ගැටලුව පැන නඟිනවා. මේ දවස්වල ‘බර්නාඩාගේ සිපිරි ගෙය’ වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් සහභාගි වෙනවා. ප්‍රවීණයන් රාශියක් සිටිනා මෙම නාට්‍යයේ මම අගය කරන ආදරය කරන අයත් ඒ අතර ඉන්නවා. එහි පුංචියාගේ චරිතය බොහොම ආදරයෙන් මා රඟපානවා.’

වේදිකාව, පුංචි තිරය ජය ගත්ත දුලීකා සිනමාවත් තරණය කරනවා. ඒ දරුවනේ චිත්‍රපටයෙන්. චිත්‍රපට රංගනයට ඊටත් පෙර ඈට ආරාධනා ලැබෙන්නේ ගාමිණී ෆොන්සේකා කියන අද්විතීය රංගධරයාගෙන්.

‘ඒ ඔහුගේ චිත්‍රපටයේ ඔහුගේ පෙම්වතියගේ චරිතය රඟපාන්න තමයි මා තෝරා ගත්තේ. ඔහු සමඟ ඇසුරු කළ කාලයේදී අපූරු උපදෙසක් ගාමිණී ෆොන්සේකා මහත්තයා මට දුන්නා. ඔයා කවදා හරි මේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වේවි. ඒ වුණාට තමන්ගේ වැරැදි අඩුපාඩු මේ සමාජයේ මිනිස්සුන්ට පේන්න දෙන්න එපා. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුට අතපාන්න එපා. කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න. තමන්ට මේකේ වැඩ කරන්න බෑ කියලා හිතුණදාට ආපසු හැරිලා ගමට ගිහින් කුඹුරු කොටන්න කිව්වා. ක්ෂේත්‍රය පිළිබඳ සිතන්න පුරුදු වෙන කාලයේදී ඒ වගේ ප්‍රවීණයෙක්ගෙන් උපදෙස් ලැබීම මට අප්‍රමාණ සතුටක්.’

ඒ චිත්‍රපටය සිනමාවට නොනැඟුණත් දුලීකාට ලැබුණු ඒ අවවාදය ඉස්තරම්. ඈ නිතරම හිතන්නේ කලාව කියන දේට ඈ යොමු වුණේ යුතුකමක් ඉෂ්ට කරන්න බවයි. මේ පොළවට ණයක් පියවන්න බවයි.

අර්ථවත් කලාවක් ඔස්සේ යමක් කරන්න මතු බලාපොරොත්තු වෙන දුලීකා මාරපන කියන ඔබ ආදරය කරන ඈ සොඳුරු හදවතක් හිමි අපූරු රුවැත්තියක්. ඇගෙන් සමු ගන්න මත්තෙන් මට හිතුණා.