වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රන්වන් රැයක් ප්‍රසංගයේ ආධාර ළමා රෝහලට

රන්වන් රැයක් ප්‍රසංගයේ ආධාර ළමා රෝහලට

පාලිත කස්තුරිආරච්චිගේ ප්‍රධානත්වයෙන් රන්වන් රැයක් නම් වූ විචිත්‍රවත් සංගීතමය නර්ථන ප්‍රසංගයක් පසුගිය දිනෙක අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැත්විණ.

එය වෙන්ව තිබුණේ සබීතා පෙරේරා වෙනුවෙන්. එම ප්‍රසංගයෙන් ලැබුණු මුදල් කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලට ප්‍රදානය කිරීමට එහි සංවිධායකවරයෝ බලාපොරොත්තු විණ. පසුගිය දා උදෑසන නිල වශයෙන් එම මුදල රෝහලට ලබා දෙන ලදී.

සේයාරුවින් දැක්වනුයේ ලේඩි රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා රුපියල් මිලියනයක් වූ ඒ මුදල භාරගත් අවස්ථාවයි. සබීතා පෙරේරා සහ පාලිත කස්තුරිආරච්චි ද පසෙක වෙති.

 ‘අපේ පවුලෙ’ ටෙලියෙ කලා පවුල් ගොඩයි

මෙරට වෙසෙන රංගනයට සබැඳි කලා පවුල් රැසකි.

වරකාගොඩ පවුල, ශ්‍රියන්ත මෙන්ඩිස් පවුල, ආනන්ද වික්‍රමගේ පවුල ඉන් කිහිපයකි. මේ කුටුම්භයන්හි ජීවත් වන අයකු දෙදෙනෙකු වරින්වර පුංචි තිරය රිදී තිරය ඔස්සේ අප හමුවට ආවෙමු.

නමුදු තව නොබෝ දිනකින් මේ පවුල්වල සියලුම සාමාජිකයන් එකවර එකම වේලාවක ඔබට දැක ගැනීමට හැකිවනු ඇත. ඒ අපේ පවුල ටෙලි සිතුවම හරහායි. නිතර අලුත් අලුත් අත්හදා බැලීම්වල යෙදෙන නව පරපුරෙහි අධ්‍යක්ෂවරයකු වන සම්පත් ශ්‍රී රෝෂන් මෙම අපූරු ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරනු ලබයි.

ඉහත සඳහන් කළ කලා පවුල්වලට අමතරව ශලනි තාරකා සහ ඇගේ මව නිර්මා සුරංජි, සුසිලා කෝට්ටගේ, රහල් බුලත්සිංහල පවුල, ගාමිණී හෙට්ටිආරච්චි, දියණි ප්‍රතිභා, සුසන්තා චන්ද්‍රමාලි සහ දියණි තිසුරි යුවනිකා යන පිරිස අපේ පවුල සඳහා රංගනයෙන් දායකවීමට නියමිතයි.

දුර්ගා බියගමදී

කුමාරසිරි අබේකෝන්ගේ නවතම ටෙලි සිතුවම වූ ‘දුර්ගා’ හි මුහුරත් උළෙල පසුගියදා බියගම විලේජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

දුර්ගා නම් වූ තරුණියක වටා ගෙතී ඇති කතා පුවතක් වූ එය තුෂාර සම්පත් ලියනගේ ගේ නිෂ්පාදනයකි.

චන්දික නානායක්කාර, උමයංගනා වික්‍රමසිංහ, මාධනී මල්වත්තගේ, නිමල් පල්ලෙවත්ත, සරත් දික්කුඹුර, අංජලී ලියනගේ, අසේල සපුආරච්චි, යුරේනි නොෂිකා, ගයාත්‍රි රාජපක්ෂ සමඟ පවිත්‍රා වික්‍රමසිංහ දුර්ගා රංගනයෙන් හැඩ කරති.ඉරෝෂන් සමරදිවාකරගේ නිෂ්පාදන කළමනාකරණයකි. සරත් දික්කුඹුරගේ කතා සංකල්පයට අනුර වීරවර්ධන පිටපත රචනය කරයි. ලක්ෂ්මන් දේවසුන්දර කලා අධ්‍යක්ෂවරයාය. දමිත් එරන්ද සමරදිවාකර සංස්කරණ ශිල්පියා වේ.

මෙහි අධ්‍යක්ෂ කුමාරසිරි අභයකෝන්, එක් මෘගාංගනාවියක්, රැජින, සමනලී ආදී නාට්‍ය මීට ප්‍රථම අධ්‍යක්ෂණය කර ඇත.

සිත්තරාවි කුරුණෑගල

චන්දන සමරසේකර ‘සිත්තරාවි’ සමඟ නැවතත් පුංචි තිරයට ඇවිත්. එහි මුහුරත් උළෙල ඉකුත්දා

බියගම විලේජ්හිදී පැවැත්වුණා. මිල්රෝයි සල්ගාදුගේ නිෂ්පාදනයක් වූ සිත්තරාවි ටෙලි සිතුවම

මේ දිනවල කුරුණෑගල අවට ප්‍රදේශයන්හි රූගැන්වේ.

ආනන්ද වික්‍රමගේ, කංචන කොඩිතුවක්කු, අනූෂා රාජපක්ෂ, මංජුල මොරගහ, ගයාත්‍රී රාජපක්ෂ සිත්තරාවි රංගනයෙන් ඔපවත් කරනවා. උදාර සසදරගේ කැමරා අධ්‍යක්ෂණයකි. ඉරෝෂන් සමරදිවාකර නිෂ්පාදන කළමනාකරු. ඉන්දික බරුහුපළ සහාය අධ්‍යක්ෂණයෙන් දායක වන සිත්තරාවි හි අංග රචනය තුෂාරා ජීවන්තිගෙන්. කමල් කුමාරසිංහ සහ සුපිපි දොඩංගොඩ කලා අධ්‍යක්ෂවරුන් වෙති. සිත්තරාවි හි සම නිෂ්පාදනය තුෂාර සම්පත් ලියනගේගෙනි. සේයාරුවින් දැක්වෙනුයේ සිත්තරාවි හි පිරිවර වේ.

දෑස වැසූ අය ඇරැඹේ

යසලාල් ලියනගේ ගේ කුලුඳුල් වේදිකා නාට්‍යය නිර්මාණය දෑස වැසූ අය හි මුහුරත් උළෙල ඉකුත්දා සරසවිපාය රඟහලේදී පැවැත්විණ.

හෙක්ටර් කුමාරසිරි ගේ රචනයක් වන මෙහි දමයන්ත පෙරේරා, ඩේමියන් ජයලත්, ස්ටැනී ද සිල්වා, ප්‍රේමදාස විතානගේ, හර්ෂ ආරියසිංහ, කාවින්ද ශ්‍රීමාල්, සංජීව ප්‍රනාන්දු සහ ප්‍රේමලාල් වීරසිංහ රංගනයෙන් දායක වෙති.

පසුතල නිර්මාණයෙන් ස්ටැනී ද සිල්වා, ආලෝකකරණයෙන් සුනිල් සමරකෝන්, අංග රචනයෙන් හෙන්රි ප්‍රේමරත්න, සංගීත නිර්මාණයෙන් හර්ෂ ආරියසිංහ, වේදිකා පරිපාලනයෙන් ප්‍රේමලාල් වීරසිංහ, ප්‍රචාරණ සැලසුමෙන් උපුල් දේවප්‍රිය කටයුතු කරන මෙය නීල් ගාමිණී සිල්වාගේ සහ ලාල් ලියනගේ ගේ නිෂ්පාදනයකි.

‘රොම්බ තෑන්ක්ස්’ මුහුරත් උළෙල දා

සජීව මල්මාලආරච්චි වසර දොළහකට පසු වේදිකාවට ගෙන එන රොම්බ තෑන්ක්ස් හි මුහුරත් උළෙල පසුගියදා මරදාන ටවර් රංග ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.

හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍යයක් වන මෙහි ගිහාන් ප්‍රනාන්දු, දමිතා අබේරත්න, සරත් චන්ද්‍රසිරි, සරත් කුලාංග, දිමුතු චින්තක, දිනේෂ් ජයශාන්ත, අදීශ කාංචන, නිලංගනී පෙරේරා, ප්‍රසාද් වීරප්පෙරුම, ශෙහාන් ශාරුක් සමඟ සජීව මල්මාලආරච්චිගේ රංගනයෙන් දායකවීමට නියමිතය.

රොම්බ තෑන්ක්ස් හවුස් ඔෆ් ඩ්‍රාමාහි ඉදිරිපත් කිරීමක් වන අතර ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රියන්ත රංජන් කටයුතු කරයි.

සේයාරුවින් දැක්වෙනුයේ රොම්බ තෑන්ක්ස් හි පිරිවරයි.