වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රූප පොතේ මතක

රූප පොතේ මතක

රූප පොතේ මතක අද සැරසෙන්නේ සුවිශේෂී ඡායාරූප පෙළකින්. සිනමාවේ පෙළහැර පෑ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක්ම මෙම ඡායාරූපවල දකින්නට ලැබීමත් සුවිශේෂීයි. ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් තමයි එම්. මස්තාන්. අධ්‍යක්ෂවරයෙක් වුණත් ඔහු ඉහළ පෙළේ අති දක්ෂ කැමරා ශිල්පියෙක ලෙසත්.

ක්ෂේත්‍රයේ නමක් දරපු අයෙක්. ඉන්දියාවේ ඉපදුණත් මස්තාන් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාවේදී. ඔහු ඉන්දියාවේ ඉපිද ලංකාවට පැමිණ අධ්‍යාපනය ලබා යළිත් ඉන්දියාවට ගොස් චිත්‍රපට ක්ෂේත්‍රයේ කිරුළු පැළැඳි සිනමාවේදියෙක්. ඔහුගේ ශිෂ්‍ය පරම්පරාව පවා ඉහළ පෙළේ ශිල්පීන් බවට නම් දැරූ අය. අල්ලපු ගෙදර, සූර චෞරයා, ධිවරයෝ, ආත්ම පූජා වැනි විශිෂ්ට නිර්මාණ කළ මස්තාන්, එරට චිත්‍රාගාරවලින් බැහැරව චිත්‍රපට රූගත කිරීම ආරම්භ කිරීමේ පුරෝගාමියා වීම විශේෂයි.

ඉහළ ඡායාරූපය

මස්තාන් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය ආත්ම පූජා. ප්‍රංශයේ මහා ලේඛක ඇලෙක්සැන්ඩර් ඩුමාගේ ‘ද කෝසිකන් බ්‍රදර්ස්’ කතාව තමයි මේ සඳහා පාදක වුණේ. ආත්ම පූජා රූගත කරද්දී ලද විවේකයකදී තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. මස්තාන් ඇතුළුව ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා, සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, වී. වාමදේවන් සහ එඩී ජයමාන්න පෙනී සිටින මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ මන්නාරමේදී.

පහළ ඡායාරූපය

හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනි සී. පෙරේරා, එඩී ජයමාන්න සහ ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස මේ සුපිරි අධ්‍යක්ෂවරයා සමඟ මෙම ඡායාරූපයට පෙනී සිටියේ ඔහු මෙරටින් සමුගෙන යළි ඉන්දියාව බලා යෑමට ප්‍රථම රත්මලාන ගුවන් තොටුපොළේදීයි.