වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




කරළියේ කෝලම් 07 දා නොමිලේ

කරළියේ කෝලම් 07 දා නොමිලේ

මනොෂිකා විජේසූරිය හා කාංචනා විජේසූරියගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කරන ‘කරළියේ කෝලම්’ ප්‍රසංගය ඔක්තෝම්බර් මස 07 පස්වරු 6.30 ට ටවර් හෝල් රඟහලේදී පැවැත්වීමට නියමිතය.

කෝලම් නාට්‍ය කලාවෙන් හා වෙස් මුහුණු කර්මාන්තය හා තොවිල් ශාන්ති කර්ම මගින් ලාංකේය ජනතාවගේ හදවතට සමීප වූ බන්දු විජේසූරිය ප්‍රගුණ කළ පරම්පරාගත සාම්ප්‍රදායික කලාව ඉදිරියට ගෙන යන ඔහුගේ දියණියන් වන මනොෂිකා හා කාංචනා මේ ප්‍රසංගය ඉදිරිපත් කරති.

ඕනෑම අයෙකුට නොමිලේ නැරැඹිය හැකි අයුරින් පැවැත්වෙන ‘කරළියේ කෝලම්’ ප්‍රසංගය සකස්කර ඇත්තේ කෝලම් හි සාම්ප්‍රදායික මුහුණුවර වර්තමානයට ගැළපෙන ලෙස වෙනස් කිරීමෙනි.

එහිදී ගායනය, වාදනය, ඇඳුම් පැළඳුම් නූතන කරළියට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇත.

මෙහි සංගීත නිර්මාණයෙන් නීල් රංජිත් ද, ඇඳුම් නිර්මාණයෙන් ජයසිංහ සේමගේ ද කටයුතු කරති.

‘දිසාපාමොක්’ 07 වෙනිදා පිළියන්දලට එයි

ජගත් කරුණාසේනගේ ‘දිසාපාමොක්’ වේදිකා නාට්‍යය මේ මස 07 වැනිදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගතවේ.

මේ නාට්‍යයෙහි මංගල රාජකරුණා, මිලින්ද පෙරේරා, මෙලනි අශෝකා, සැනට් දික්කුඹුර, සඳුන් කුඹුරුතැන්න, ඩීමන් හෙට්ටිආරච්චි, විමල් ජයකොඩි ආරච්චි, අමිල සඳරුවන්, සුනේත්‍රා ලක්මාලි, බුද්ධික බෝධිනායක, අනුලා දේදුනු, මිල්ටන් සෙබස්තියන්, පද්ම වර්ණ, ඇන්ටන් වේවැල්දෙණිය, සමන් පුෂ්පකුමාර, විශ්ව චතුර, සුපුන් විජේවර්ධන යන ශිල්පීහු රඟති. සංගීතය ජීවන් හඳුන්නෙත්ති ද, අංග රචනය ප්‍රේම් ජයන්ත කපුගේ ද, රංගාලෝකය කරූ සුපර් ලයිට්ස් ද වෙති.