වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




දමිතාට වටිනා මැණීක් ගලක් හමුවෙයි

දමිතාට වටිනා මැණීක් ගලක් හමුවෙයි

ඉසුරුවිමනට ගිය සුන්දර ගමනක වගතුග

දමිතා අබේරත්නට පාරේ තිබිලා වටිනා මැණික් ගලක් හම්බු වෙලා. මේ ගැන වැඩි විස්තර දැනගන්න හෙට හවස ඉසුරු විමනට එන්න.

මෙය පසුගිය සෙනසුරාදාවේ මගේ ජංගම දුරකථනයට පැමිණි කෙටි පණිවුඩයකි.

සහය අධ්‍යක්ෂවරයකු වන සසංක ඉඳුනිල් නමැති මා හිතවතා එය එවා තිබිණි.

අතුරුගිරිය පෝරේ හන්දියට ඇවිත් ඕන කෙනෙකුගෙන් අහන්නකො ඉසුරු විමන කොහෙද කියලා, ටක්ගාලා පෙන්නයි.

ඉසුරු විමන නම් වූ තැන කොතැනදැයි මා යැවූ ප්‍රතිකෙටි පණිවුඩයට ඔහු එලෙස පිළිතුරු එව්වේය.

ඉසුරු විමනට යන්නේ කොහොමද?

පෝරේ හන්දියේදී ගමේ යැයි හැඟෙන තලත්තෑනි පුද්ගලයකුගෙන් මම ඇසුවෙමි.

මේ පාර දිගේම ටිකක් දුර යන කොට දකුණට පාරක් ඇති. ඒ පාරට හැරෙද්දිම ලොකු පොල් වත්තක් මැද ඉසුරු විමන ඇති. මහත්තයා ඉසුරු විමනේ කාව මුණ ගැහෙන්නද?

මං දන්න එක්කෙනෙක්ව.

හොඳයි, හොඳයි, ගොහිං එන්නකෝ. හැබැයි ඉසුරු විමනෙ ඉන්න ලොකු කෙල්ලව එහෙම වැඩිය ගණන් ගන්න එපා. හරිම අවාසනාවන්ත එකියක්.

ඔහු දෙතුන් සැරයක් කාරා කෙළ පිඬක් ගැසීය.

ඔහු කියූ හරුපය තේරුම් ගත නොහැකිව මම ඉසුරු විමන වෙත ආවෙමි.

ඉසුරු විමන වනාහි පැරැණි තාලයට තැනූ මධ්‍යම පන්තියේ නිවසකි. නමෙහි තරමටම ඉසුරුමත් නොවූ එහි වත්තෙහි කෙළවර අයකු වට්ටියක් ද තබාගෙන එක්තරා රිද්මයකට මල් නෙලමින් සිටියි. ඔහු සෙමින් ගීයක් ද මුමුණයි.

ගෝවේ ගෑනු පරාදයි
රූපේ මහද පිනා යයි

මේ අන් කවරෙකුවත් නොව සඳුන් විජේසිරිය. ඔහු මොකද මෙහෙ කරන්නේ.

ආ වග දැන්වීමට මම දෙතුන් පාරක් අඩිය සෙමින් පොළවෙහි ගැස්සුවෙමි.

ආ . . . පුතා කොහොමද?

මං මේ ආවේ දමිතට හම්බ වුණ මැණික් ගල ගැන හොයලා බලන්න.

මැණික් . . .

සඳුන් අයියාගේ මුහුණෙන් දැඩි සිනහවක් එළියට පැනීමට ආසන්නය.

යං යං ඇතුළට.

ඒ බවක් නොපෙන් වූ ඔහු කීය.

ඉසුරු විමනෙහි මැදි කාමරයේ දමිතා සිටියි. රූපා ගෝමස් සහ ගයේෂා පෙරේරා ඇයව මැදි කොටගෙනය.

දමිතා මැණික් ගල කෝ? ඒක විකුණුවද? හම්බුවෙන සල්ලිවලින් මොකද කරන්න හිතාගෙන ඉන්නේ.

මම දමිතට ප්‍රශ්න වැලක් එල්ල කළෙමි.

අපොයි එහෙම විකුණන්න බැහැ.

ඇයි ඒක එච්චරටම වටිනවද?

නෑ . . . නෑ . . . ඒක බොරු මැණිකක්.

දමිතා වෙනුවට එලෙස පිළිතුරු බැන්දේ වෙන අයකි. ඔහුව මා හඳුනා ගතිමි. ඒ අධ්‍යක්ෂ මොහාන් නියාස්ය.

දමිතට මැණික් ගලක් ලැබුණේ ඉසුරු විමන නිසා. ඉසුරු විමන තමයි මගේ අලුත් නාට්‍යය. භාග්‍ය නම් වූ අවාසනාවන්ත යැයි ලෝකයා සිතන තරුණියක වටා තමයි කතාව දිව යන්නේ. දමිතා තමයි භාග්‍යාට රඟන්නේ. ඉසුරු විමනෙහි ඉන්න පවුල තමයි මේ.

මට මං පාර ඇසූ ගැමියා කියූ දේ තේරුණේ දැන්ය.

සඳුන් අයියා මොනවද මේ කලිසම පිටිපස්සේ ගාගෙන ඉන්නේ?

මෙහි පළමු සහාය අධ්‍යක්ෂ රොෂාන් ජයසුන්දර සඳුන් විජේසිරිගේ ශරීරයේ පිටුපස පෙදෙස දැක විස්මය පළ කළහ. ඇයි ඇයි මොකද? අහ් . . . කලිසමේ තීන්ත ගෑවිලා හොඳටම.

හෙට වත්තේ පහළ ෂූට් එකක් තියනවනේ. ඒක නිසා මං කට්ටිය දම්මලා වත්ත සුද්ද කරලා ඔයාලා එන්න කලින් බංකුවල තීන්ත ගෑවා. ෂුවර් එකට සඳුන් අයියා ඒකක් උඩ වාඩි වෙලා. හැබැයි පොඩි කාඩ්බෝඩ් කෑල්ලක ලියලා තිබුණා, වාඩි වෙන්න එපා කියලා. කවුරු හරි ඒක අයින් කරන්න ඇති. මෙතැන සිටි ඉසුරු විමනෙහි නිෂ්පාදක කීය.

දැන් සඳුන් අයියාගේ මුහුණ ජම්බු ගෙඩියක් මෙනි. කලා අධ්‍යක්ෂවරයා සඳුන් අයියාගේ ඇඳුම් අලුත් කළේය.

ඊළඟ සීන් එක තියෙන්නේ ලියෝනිගෙයි ගයේෂාගෙයි. ලියෝනි, ගයේෂාව ඉඹලා ඉසුරු විමනෙන් පිටවෙලා යනවා.

ඉසුරු විමනෙහි ජීවත්වන පවුලේ හිතවතියක ලෙස ලියෝනි කොතලාවල රඟපායි.

ඇක්ෂන් . . .

එම අවස්ථාව දෙතුන් සැරයක්ම රූගත කළ ද නියාස් සෑහීමකට පත් නොවූහ.

කෙසේ හෝ ‘කට්’ යන නද ඇසිණ. ගයේෂා මා වෙත ආවේ කම්මුල දෙපස අතගාමිනි.

ලියෝනි අක්කා මාව දහ අට පාරක් ඉම්බා අනේ . . .

මොහාන් නියාස්

ඇය නිවස තුළට ඉබි ගමනින් ඇඳුණේ කම්මුල් දෙක පිරිමදින ගමන්ය.

බුද්ධික ජයරත්න දර්ශන තලයට ආවේ මේ වෙලාවෙහිය. ඔහු රඟපාන්නේ දමිතාගේ පෙම්වතා හැටියටයි.

අපි දෙන්නා අවුරුදු දහයකට පස්සේ එකට රඟපාන්නේ. මතක ඇතිනේ දෙපත් නයි නාට්‍යය .

බුද්ධික පරණ මතකයන් අවුස්සමින් දමිතා සමඟින් යුගළ සේයාරුවකට සැරසිණ.

බුද්ධික හමුවේ දමිතා තරමක් මිටිය. එහෙයින් නිවසෙහි තිබූ කුඩා බංකුවක් ගෙනාවා. දමිතා එහි නැංගාය.

මා හට ගත හැකි වූයේ සේයා රූ දෙකක් පමණි. බංකුව පෙරළිණ. දමිතා බුද්ධිකගේ ඇඟෙහි එල්ලෙමින් බිම නොවැටී සිටියහ.

තව පොඩ්ඩෙන් මං ඉසුරු විමනේ භාග්‍යාට වෙනවා වගේ හරිම අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙනවා.

දමිතා පපුවට අත තියාගත් ගමන්ය.

ඇයි? ඔයා විතරක් නෙවෙයි මමත් හරිම ඛේදවාචකයකට මුහුණ දෙනවා.

ඒ මොකක්ද?

තව පොඩියෙන් මං පර්වතයකට යට වෙනවා.

බුද්ධිකගේ දඟකාර වචන හමුවේ දමිතා ගස්සා ගෙට ගියේය.

සියල්ල එසේ සිදු වෙද්දී මම මොහාන්ගෙන් නාට්‍යයේ සෙසු නළු නිළියන් ගැන දැනගත්තෙමි.

චන්දික නානායක්කාර, චංචලා වර්ණසූරිය, ඩී. බී. ගංගොඩතැන්න, තාරුකා වන්නිආරච්චි, සුගත් ජානක, නිමාලි කපුගේ, සරත් චන්ද්‍රසිරි, නිල්මිණි කෝට්ටේගොඩ, නුවන් ගුණසේකර, කපිල සිගේරා, ජගත් ඇපලදෙණිය, නාමල් ප්‍රේමතිලක,බුද්ධික අබේරත්න.

නිෂ්පාදනය - දේශමාන්‍ය ඉරාජ් ගුණසේකර, වෛද්‍ය ආර්. කේ. කේ. සියානි.

අංග රචනය - ගයනි සතරසිංහ

සහය අධ්‍යක්ෂණය - රොෂාන් ජයසුන්දර, සසංක ඉඳුනිල්.

නිෂ්පාදන කළමනාකරණය - දීප්ති වගීෂා.

කැමරාව - පී. කේ. ලෙනාඩ්.

සංස්කරණය - අනූෂ සංජීව

කලා අධ්‍යක්ෂණය - බුද්ධික සංජීව.

පිටපත අධ්‍යක්ෂණය - මොහාන් නියාස්.